[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උවදුරු ජය ගැනීමට කායික මානසික පුහුණුව

උවදුරු ජය ගැනීමට කායික මානසික පුහුණුව

තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ඔස්සේ වර්තමාන ලෝකය පුරාම පවත්නා කොරෝනා වසංගත උවදුර ජය ගැනීම පිණිස සියලු දෙනා කෙරෙහි ම පවත්වාගත යුතු කායික හා මානසික චර්යාව පිළිබඳ ව සාකච්ිඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

“කරුණා සීතල හදයං
පඤ්ඤා පජ්ජෝත විහත මෝහතමං
සනරාමර දේවගරුං
වන්දේ සුගතිං ගති නිමිත්තං”

මහා කරුණාවෙන් සිසිල් වූ හදවතක් පැවැතියා වූ, ප්‍රඥාව නැමැති ආලෝකයෙන් ලෝකයේ මෝහය නම් වූ ඝන අන්ධකාරය දුරු කළා වූ, දෙවියන් සහිත ලෝකයාට ම ගුරු වූ හා ගෞරවනීය වූ, සසර දුකින් නිදහස් කොට සුගතිය, මෝක්ෂය, නිවන සාදා දෙන්නා වූ තථාගත බුදුරජාණන් වහන්සේ යනුවෙනුයි.

ඒ තථාගත බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය වෙනත් කිසිදු මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයකුට හෝ කිසිදු ජීවියෙකුට නොතිබුණා වූ ගුණයකුයි. එබැවින් එය මහා කරුණා ගුණය නමින් හැඳින්වෙනවා.

සසර ගමනේ කර්මානුරූප ව ඇවිදින සියලු සත්වයන් දුකට පත්ව ඇති බව, දුකෙහි ම ගිලී ඇති බව මේ උතුම් මනුෂ්‍ය රත්නය නුවණින් අවබෝධ කරගත් සේක. සසර දුකෙන් නිදහස්වන අවබෝධය ඇති කරගෙන, අන් සත්වයන් ද ඒ සසර දුකෙන් නිදහස් කරනවා ය යන අදහස මුලින් ම ඇතිවී ම බෝධිසත්ව උතුමෙකුගේ කරුණා ගුණය හැටියට දක්වනවා.

“බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරෙ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරොඝා මහබ්භයා”

තමන් ද චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් බුදු බව ලබා, අන් අයටත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මාර්ගය කියා දෙන බවයි.

තමන් ද දුකින් පිරුණු සසරෙන් එතෙර, දුකෙන් පෙළෙන අන් සත්වයන්ට ද, ඒ සසර කතරෙන් එතෙර වෙන්නට මඟ පෙන්වා දෙන බවයි. මේ භයානක වූ දුක් ඇති ගමනෙන් නිදහස් වෙන්නට සියලු සත්වයන්ට ම මාර්ගය පෙන්වා දෙන බවයි. මේ මහා කරුණා ගුණබලය අප සරල ලෙස විස්තර කර ගන්නේ නම්, සාමාන්‍ය කෙනෙකුට වැටහෙන ආකාරයෙන් මේ ලෙසිනුයි.

“පරදුක්ඛේ සති සාධූනං
හදය කම්පනං කරෝතීති කරුණා”

අන් අයගේ දුකක් දුටු විට දී හදවතේ ඇති වන කම්පනය හෙවත් උණුවෙන ගතිය කරුණාව නම් වේ.

මුලින් සඳහන් කළ අයුරින් තමාගේ හෝ තමන්ට හිතවන්ත අයට පමණක් නොව, යම් සීමාවකට කොටු වී ඇති එවැනි පිරිසකට පමණක් ම නොව දෙවියන් බඹුන්, මරුන් හා සතර අපායන් හි ද සියලු සත්වයන් කෙරෙහි ය. කෙටියෙන් සඳහන් කරන්නේ නම් කාමරූප, අරූප නම් වූ ත්‍රිවිධ ලෝකයෙහි ම උපන්නා වූ සියලු සත්වයන් කෙරෙහි ඇති කර ගත්තා වූ ඒ කරුණා ගුණය මහා කරුණා ගුණය නමින් හඳුන්වනවා.

වර්තමානයේ මේ ඇති වී පවතින කොරෝනා රෝග උවදුර තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නම් වූ දහම් ඇසින් අප විසින් දැක ගන්නේ කෙසේ ද?

සියලු සත්වයන් සසරෙහි කර්මානුරූප ව ඉපදෙමින් මරණයට පත්වෙමින් යන ගමන ම දුකක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එයට හේතුව නම් මේ තුන් ලෝකයේ ම උපත ලබන සියලු සත්වයන්ගෙන් වැඩි පිරිසක් හෝ සියලු දෙනා ම පාහේ වැඩිපුරම ඔවුන්ගේ අතීත සංසාර ගමනේ උපත ලබා ඇත්තේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායේ බව උන්වහන්සේ විසින් අවබෝධ කර ගැනීමයි. ලෞකික සමාධියකින් බ්‍රහ්ම ලෝකයක ඉපදුණත් බලවත් වූ පිනකින්, කුසලයකින් , දෙව් ලෝකයක, මනුෂ්‍ය ලෝකයක ඉපදුණත් ලෞකික සමාධිය, ධ්‍යානය පිරිහුණු තැන පින අවසන් වූ තැන ඒ සත්වයන් ද නැවතත් සතර අපායේ උපදින බව, ඉපදිය හැකි බව භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ සේක. මේ භයානක වූ සංසාර ගමනේ ගමන් කරන විට පින බලවත් වීම නිසා දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා. ඒ මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. ඒ වගේ ම පිනක මහිමයකුයි. එනමුත් සසර පැවැත්ම ම දුකක් ලෙස දේශනා කළ තථාගත බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ද අනවබෝධයෙන් අකුසල කර්මයන්ට යොමු වුණොත් එය දුක උපදවා ගැනීමක් හැටියට දේශනා කරනවා. තෘෂ්ණාවෙන් බැඳෙන සත්වයෝ අනවබෝධයෙන් කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස්වීම නිසා සසර පවතිනවා. අකුසලයට වඩා කුසලය බලවත් වීම නිසා මනුෂ්‍ය ජීවිතයක් ලබනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් හටගත්ත හැම දෙයක් ම නැතිව යනවා යන මහා කාරුණිකයාණන් වහන්සේගේ මූලික ඉගැන්වීමයි. ඒ කෙරෙහි අනවබෝධයෙන් යුක්තව ප්‍රිය අරමුණුවල ඇළී ඒවා තෘෂ්ණාවෙන් තමා සතු කර ගැනීමත් අප්‍රිය අරමුණුවල ගැටී තරහ, වෛර, ක්‍රෝධ ඇතිකර ගැනීමත් රාග, ද්වේෂ, මෝහ හැටියට ධර්ම කතාවේ පෙන්වා දෙනවා. තෘෂ්ණාවෙන් සසරට බැඳී නැවතත් දුකට පත්වෙන බව පැහැදිලි කරන්නේ මේ ආකාරයෙනුයි.

පළමු ධර්ම දේශනාව වූ "ධම්මචක්කප්පවත්තන" සූත්‍ර දේශනාවේ දී ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, මෝහයෙන් යුතු මනුෂ්‍යා ද මේ ඉපදීම, දිරාගෙන යෑම, ලෙඩ දුක් මරණය ඔස්සේ දුකට ම පත්වෙන බව තේරුම් කොට දීමයි.

ඉපදුණා නම් දිරාගෙන යෑම, ලෙඩ දුක්, මරණය ඔස්සේ ජීවිතය පවත්වා ගැනීමට සිදුවෙනවා. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළේ සසර උපත, පැවැත්ම හා නැතිව යෑම තේරුම් ගත යුතු බවයි. අවබෝධ කර ගත යුතු බවයි. පඨවි ආදී හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස්වෙන පණ ඇති හෝ පණ නැති සියලු වස්තූන් ම හට අරගෙන නැතිව යනවා.

වර්තමානයේ පවතින කොරෝනා උවදුර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් උපත හා සමඟින් ම සියලු සත්වයන්ට මුහුණ දෙන්නට වන ව්‍යාධීන් හි ප්‍රතිඵලයකුයි. මේවා අඩු වැඩි වශයෙන් හෝ සනීප කළ හැකි සනීප කළ නොහැකි ආදී වශයෙන් හෝ පැවැතිය හැකියි. මේ ස්වභාව ධර්මය ඔස්සේ කලින් කලට ජීවිතවලට හෝ සත්වයන්ට මුහුණ දිය යුතු ධර්මතාවයයි.

 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]