වෙසක් අව අටවක 2020.05.14
තිදොර සංවර කරගනිමු
කවර සැප සම්පත් තිබුණ ද, සිතට සතුටක්, සැනසීමක් නොවේ නම්, ඒ ජීවිතය පීඩාකාරී ය.
තැවීමෙන්, දැවීමෙන් යුතු ය. ඒ සිතිවිලි තුළ නිර්මාණය වන බොහෝ ක්‍රියාකාරකම්තුළින්
උපදින්නේ ද පසුතැවීම ම ය.
ජීවිතය සැනසීම උදෙසා ගත කරනවා ද, පසුතැවිල්ලට යොමු කරගන්නවා ද යන තීරණය ඇත්තේ තම
තමන් වෙත ම ය. අන් කෙනකුට උපදෙස් ලබා දීමට පුළුවන. මඟ පෙන්වීමට පුළුවන. හරි වැරැද්ද
මේ යැයි කියා දීමට පුළුවන. එහෙත් අසන්නට, පිළිපදින්නට සූදානම් නොවන තාක් සැනසීම
දුරස් ය.
අපගේ තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය සිතේ සැනසීම පිණිසම ය. ඒ සදහම්
දැනුම යම් යම් ප්‍රමාණයෙන් අප වෙත ලැබී තිබුණ ද ප්‍රායෝගික ව ජීවිතය ට ගලපා නොගැනීම
තුළ අප අතරින් කොපමණ පිරිසක් නම් අසහනකාරී ජීවිතයක් ගත කරනවා ද? සැනසීම උදාකරගත
යුතු තමන් ම යැයි කීවේ එහෙයිනි. බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළේ අපගේ සිත – කය –
වචනය සංවර කර ගන්නා ලෙසට ය. තුන්දොර අසංවර වන තරමට විඳින විපාකය කටුක ය. සමාජය දෙස
විමසිලිමත් නුවණින් මෙනෙහි කර බැලීම වටී. මනුෂ්‍යාට පැමිණෙන කරදර බාධක සියල්ලේ ම
මූලාරම්භය තිදොරෙහි අසංවරය ම ය.
අද අප මුහුණ දී සිටින කොරෝනා වසංගතය මොන තරම් භයානක ද? භෞතික සැප සම්පතින් ආඪ්‍ය,
අප්‍රමාණ ව ධනය තිබෙන, තමන් ම බලවත් යැයි උදම් බස් කියන රටවල දිනකට දහස් ගණනින්
මිනිසුන් මිය යන්නේ ලෝකයට ම පසු තැවීම ඉතිරි කරමිනි. සැනසීම අහිමි කරමිනි. මෙවැනි
භයානක උවදුරකට මං පෙත් විවර වූයේ කාලයක් තිස්සේ මිනිසා සිත, කය, වචනය සංවර කර
නොගැනීමේ ප්‍රතිඵලය නිසා නොවේ ද? අසීමිත ආශාවන් පසුපස අධි වේගයෙන් හඹා යාම තුළ
මනුෂ්‍ය සමාජයට මනුස්සකම අමතක විය.
දැන් අප ආපසු හැරී බැලිය යුතු ය. ඒ මෙතෙක් කළ කී දේ පිළිබඳව ය. මිනිසා තුළ මිනිස්කම
වගා නොකෙළේ නම්, නොමිනිස්කම් මතු වීම වැළැක්විය නොහැකි ය. අප ලක්වැසියන් ලෙස මෙහි
දී යම්තාක් දුරට සතුටු විය හැකිය. දූර දර්ශී පෙර සූදානම, හා රෝග පාලන ක්‍රමවේදය තුළ
අපට ලොවක් දණ ගැස් වූ කොරෝනා වයිරසය මේ තරමින් පරාජය කිරීමට හැකිවුණි. අනාදිමත්
කාලයක සිට බෞද්ධ සංස්කෘතියෙන් ලද ආභාෂයතුළ, බෞද්ධයන් ලෙස මේ රට මිනිස්කම්වලින්
ආරක්ෂා කර ගන්නට අපට හැකි වී තිබේ.
නැණවත් මනුෂ්‍යයා ජීවිතයේ යථාර්ථය වටහා ගැනීමට කල්පනා කරනුයේ බුද්ධිමත්ව ය.
අප නොපමාව කුසල් දහම් වැඩිය යුතු ය. කුසලයට අලස නොවිය යුතු ය. මිනිසුන් වී උපත
ලැබූව ද මෙලොව දී අපට සැප හෝ දුක උරුම වීමට පෙර කළ කුසල-අකුසල හේතුවේ. අප කරන කියන
පාපයන් අකුසලයන් අප පසුපස පැමිණෙන්නේ ගොනු පසු පස යන රිය සක මෙනි. එවැනි තත්ත්වයක
දී ජීවිතයට සැනසීමක් ලද නොහැකි ය. අප රැස් කළ යුතු සෙවණැල්ල සේ පසුපස එන කුසල් ය.
සැනසීම සතුට ඇත්තේ ද එහි ය. |