[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක්සත්ව රට හදමු

එක්සත්ව රට හදමු

කොරෝනා වයිරසය ලෝකය පුරා ම පැතිරී ගිය මහා ව්‍යසනයකි. පුංචි රටවල්, මහ රටවල් ආදී කිසිදු භේදයක්, වර්ග කිරීමක් ඊට නොවී ය.

ඇමරිකාව, වැනි ලොව බලවත් යැයි කියා ගන්නා රටවලට ද භෞතික සම්පත් අතින්, ආර්ථිකමය වශයෙන්, තාක්ෂණික ඥානයෙන් දියුණු යැයි සම්මත රටවලට ද, අපට කළ නොහැකි දෙයක් නැතැයි මාන්නයෙන් උදම් වූ රටවලට ද මේ උවදුරෙන් නම් බේරී සිටින්නට නොහැකි විය. කෘෂි කාර්මික රටක් වූ අපේ ලංකාවට ද මේ උවදුරෙන් බේරී සිටින්නට හැකි වූයේ නැත. එහෙත් වෙනසක් තිබේ. බලවත් රටවල, දියුණු යැයි කියන රටවල මේ භයානක වයිරසය වේගයෙන් ව්‍යාප්ත වුණි. විශාල රෝගීන් සංඛ්‍යාවක් මෙන් ම මරණ සංඛ්‍යාවක් ද වාර්තා විය. දිනෙන් දින වාර්තා වෙමින් ද පවතී. රාජ්‍ය නායකත්වය තුළ වූ දූරදර්ශී ක්‍රියා පිළිවෙත තුළ අපට මේ රෝගය පාලනය කරගන්නට හැකිවුණි. අපගේ සුවිශේෂත්වය වනුයේ එයයි. අපේ ගැමි වහරේ අපූරු කියමනක් තිබේ. ‘එන පොට හොඳ නෑ කෙල්ල ගෙට ගං” යනුවෙන් ය. ඒ පෙර සූදානම හා ආරක්ෂාකාරී බව පිළිබඳව ඉඟියකි.

රෝගියෙක් දෙන්නෙක් වාර්තාවන අවස්ථාවේ ම අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දුර දක්නා නුවණින් ක්‍රමවත් වැඩ පිළිවෙළක් ආරම්භ කළේ ය. එතුමා තනි තීරණ ගත්තේ නැත. අග්‍රාමාත්‍ය තුමා ද සමඟින්, විවිධ උපදේශකයින්, බුද්ධි මණ්ඩල සමඟ සාකච්ඡා කොට මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ජනමාධ්‍ය, ඇතැම් රාජ්‍ය ආයතන නිලධාරීන් ආදී සෑම අංශයකම ක්‍රමවත් දායකත්වය ලබා ගනිමින් ක්‍රියාත්මක කළ හා කරගෙන යමින් තිබෙන්නා වූ වැඩ පිළිවෙළ තුළ ලොව මහා රටවල් කරකියා ගත හැකි දෙයක් නොහැකිව අසරණ ව සිටිය දී අපේ පුංචි රටට මේ භයානක රෝගී තත්ත්වය බොහෝ දුරට පාලනය කර ගැනීමට හැකි වී තිබේ.

මෙය ඉතා ක්‍රමාණුකූල, ඒ වගේ ම සූක්ෂම ව කළ යුතු වැඩ පිළිවෙළකි. මොකද මේ සෑම තැනකදී ම ක්‍රියාත්මක වන්නට සිදු වන්නේ විවිධ ආකල්පයන්ගෙන් යුතු මිනිසුන් සමග ය. ඇතැම් පිරිස් සැඟවුණ ආකාරය අපි දුටුවෙමු. සමහරු එපා, එපා කියද්දීත් සමාජයේ සැරි සරන්නට වුණි. යුද හමුදා දායකත්වය නොවන්නට මේ පිරිස් පාලනය කිරීම ඉතා ම අසීරු වන්නට තිබුණි. ඔවුන් ඉතා ම ඉවසීමෙන්, විනයානුකූලව එම කටයුතු සිදු කළ ආකාරය, කරන ආකාරය ප්‍රශංසනීය ය.

අප කටයුතු කළේ මේ ලෙසට ය. එහෙත් ලෝකයේ අනෙක් බොහෝ රටවල් මේ වයිරසය ව්‍යාප්තිය ආරම්භයේ දී එතරම් ගණන් ගත් බවක් පෙනුණේ නැත. ඇමෙරිකාව වැනි රටවල එක් එක් ප්‍රාන්තවල ආණ්ඩුකාරවරු තම තමන්ට රිසි ලෙස නීති පැනවූහ. රටේ ජනාධිපතිට කරගත හැකි දෙයක් නොවන තරමට ම ඔවුන් බලවත් විය. එහෙත් අපේ රටේ නායකත්වය ක්‍රියාත්මක වුණේ විධිමත් ක්‍රමයකට ය. රටට ම බලපාන එකම නීතියක් ක්‍රියාත්මක වුණි. උඩරටට එක නීතියක්, පහතරටට එක නීතියක් නොවේ. උතුරට එක නීතියක්, දකුණට එක නීතියක් නොවේ. ඒ නිසා මුඵ රට ම මේ මට්ටමින් බේරා ගැනීමට හැකියාව ලැබුණි. එහෙත් අප විමසිල්ලෙන් සිටිය යුතු වේ. ජනතාව ලෙස රෝග පාලනයට ගෙන යන වැඩ පිළිවෙළට උපරිම සහාය ලබා දී මේ උවදුර අපේ පුංචි රටෙන් දුරු කර හරින්නට ඇප කැප විය යුතු වේ.

අප අවධානය යොමු කළ යුතු තවත් අංශයක් වේ. මේ රෝගයත් සමඟ අපේ රටට පමණක් නොව මුළු ලෝකයට ම ආර්ථික පසුබෑමකට මුහුණ දෙන්නට සිදු වුණි. කර්මාන්ත ශාලා, මහා පරිමාණ, සුළු පරිමාණ ව්‍යාපාර බිඳ වැටුණි. අපේ බොහෝ ජනතාවට දැන් ඉතා වැදගත් දෙයක් තේරුම් ගොස් තිබේ. ඒ, කුසීත ව සිටීමේ, ඇඟපත නොවෙහෙසීමේ විපත්තියයි. කාලය අපතේ හැරීමේ දුර්භාග්‍ය සම්පන්න බවයි. එය තේරුම් යාමත් සමඟ සතුටු දායක වෙනසක් ඇති වී තිබේ. දැන් දැන් සෑම ගෙවත්තකම පාහේ එළවඵ, පලතුරු, පලා වර්ග වගා කරන්නට පටන්ගෙන තිබේ. පුරන් කුඹුරු අස්වැද්දෙමින් ඇත. රාජ්‍ය නායකත්වයේ මග පෙන්වීම හා දිරිගැන්වීම ද එහි දී ප්‍රශංසනීය වේ. ඉදිරියටත් එය ශක්තිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමට මග පෙන්වීම අවශ්‍ය වේ. 1970 ගණන්වල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දේශීය කෘෂි නිෂ්පාදනයන් සංවර්ධනය කිරීමේ අගය වටහා ගෙන ඒ අනුව ක්‍රියාත්මක වුණි. ඒ අනුව රටට අවශ්‍ය ආහාර රටතුළ නිෂ්පාදනය කිරීමේ දූරදර්ශී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුණි. එහෙත් ඒ වැඩ පිළිවෙළට අනාගතයක් නොවුණි. ඒ, දේශපාලකයින් තමන්ගේ බලය ලබා ගැනීම වෙනුවෙන් නැවත වාරයක් අපේ ජනතාවට පිටරට ආහාර කවන්නට ගත් උත්සාහය නිසා ය. ඒ සමගම අපේ ගොවි ජනතාවගෙන් වැඩි පිරිසක් අත පය සොළවන්නේ නැතිව මිරිස් කරලේ පටන්, හාල් ඇටයේ පටන් හැමදේ ම පිටරටින් ලැබෙන තුරු බලා සිටින්නට විය. බොහෝ හේන් කුඹුරු වල් බිහි විය. වැඩි දෙනෙකුට අවශ්‍ය වූයේ මඩට බහින්නට නොව, ගත වෙහෙසා ආහාර ටික සපයා ගන්නට නොව හුළං බඹරු යට ඉඳගෙන සැපයි - සැපයි කියමින් පුටුවකට වී රැකියාවක් කරන්නට ය. අද වෙනදා නො ඇසූ විරූ රෝග ය.

මේ අපේ පැවැත්මේ අහිතකර ඵලයන් ය. වැඩ නොකිරීම නිසා සිරුරට ව්‍යායාමයක් නැත. ආහාරයට ගන්නේ වස විස පිරුණු දේ ය.

අද කුස්සියේ පිඟන් කෝප්පවල සිට සියලු දේ ප්ලාස්ටික් ය. මැටියෙන් නිපැයුණ හට්ටිවළං වෙනුවට ඇළුමිණියම් භාණ්ඩ ය. පොල් කොස්ස, පොල් මුඩ්ඩ අමතක කළ අපේ මිනිස්සු පිඟන් කෝප්ප, හැළි වළං සෝදන්නෙත් බටහිරින් ගෙන ආ උපකරණවලිනි. ගමේ ද, නගරයේ ද බොහෝ දෙනා පාට පාට ලෝකයක අතරමං වී ඇති සැටි පුදුම සහගත ය.

මේ පුරුදු හා ඇබ්බැහිකම්වල ප්‍රතිඵල ඉතා බරපතළ ය. ඉවතලන ප්ලාස්ටික්, පොලිතින් මේ මහ පොළවට විෂ සහිතය. තව දුරටත් අප මුළාවේ නොවැටීමට වග බලා ගත යුතු ව ඇත. දැන් මිනිසුන්ට බොහෝ දුරට මේ පැවැත්මේ අහිතකර බව වැටහෙමින් පවතින බව පෙනේ. අපේ ජනතාව තුළ ආකල්ප සංවර්ධනය කිරීමේ ක්‍රමවත් වැඩ පිළිවෙළක අවශ්‍යතාව ද පවතී. ඊට ආරම්භයක් දීමට මේ උදාවී ඇත්තේ ද හොඳ ම වෙලාවකි.

අප ජීවත්වන භූමිය බොහෝ සරු සාර ය. ඉවතලන දඬුවක් වුව නැවත පැළවෙන බිමක් ය. අපේ මව්බිම හැර දමා පිටරටවලට ගිය අය “අප ගෙන්වා ගන්න” යැයි හඬා වැළපෙන අයුරු මාධ්‍ය ඔස්සේ අපි දුටුවෙමු.

අප උපන් මේ බිම පින්බර ය. වෙහෙස මහන්සි වී, ආර්ථිකමය වශයෙන් රට ගොඩ ගන්නට අප හැම උත්සාහවත් විය යුතු ය. අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයතුළ අපට උපදෙස් දී තිබෙන්නේ ධාර්මික ව ධනය උපයන ලෙසටයි. ආර්ථික දියුණුව සලසා ගන්නා ලෙසටයි.

ඒ ධර්මෝපදේශයන් අනුව, සියලු දෙනා එක්සිත්ව, එක්සත්ව, බොහෝ ම අධිෂ්ඨානයෙන්, ධෛර්ය සම්පන්න ව කටයුතු කිරීම තුළින් අපේ අනාගතය යහපත් කර ගැනීමට හැකිවනු ඇත. මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට සංඝයා වහන්සේ ලෙස අපි ආශිර්වාද කරමු. ඒ මේ භයානක උවදුරෙන් රට බේරා ගන්නට දූර දර්ශී ක්‍රමවේදයකට නායකත්වය දීම පිළිබඳවය. ඒ වගේ ම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් විවිධ රාජ්‍ය නිලධාරින් බොහෝ විට තම ජීවිතය පවා පරදුවට තබමින් මේ අවස්ථාවේ තම කාර්යභාරය යුතුකම, වගකීම ඉටු කරනු පෙනේ. ඒ සියලු දෙනාට ද ආශිර්වාද කරමු. පසු නොබා ඉදිරියට ම ගොස් ඉදිරි අනාගතය සරු කරගන්නට මෙත් සිත් පෙරටුව සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]