[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 03 කොටස: පද්මසිරි නාගදීපයට යයි

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 03 කොටස:

පද්මසිරි නාගදීපයට යයි


නාගදීපයේ දීපය

"පැවිදි පින්කමට දින 3ක් දක්වා ආසන්න විය. එහෙත් පැවිදි පින්කම පද්මසිරිට නම් කිසිදු වගක් නොවී ය. ඔහු දිනපතාම කණේරු මල් කැඩුමට සෙස්සන් හා එක් විය. ගිනි ගහන අව්වේ පවා ඔවුහු කණේරු මල් කැඩූහ. මුහුදු සුළං මඳ වශයෙන් ඔවුන්ගේ දාහය නිවාලූවේ ය."

නාගදීප විහාරාධිපති ව වැඩ සිටි රන්දොඹේ සෝමසිරිතිස්ස නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම දිනයේ දී කුල දරුවන් කිහිප දෙනෙක් මහණ කරවන්නට එහි නව විහාරාධිපති ධුරයට පත් බ‍‍්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති නා හිමියෝ කටයුතු කළහ.

නවදගල බීටින් මහතාගේ බාලම පුත‍‍්‍රයා වූ පද්මසිරි දරුවාට කොළඹ දෙමටගොඩ නාගදීප විහාරයේ දින කිහිපයක් නැවතී සිට එහි විහාරාධිපති හිමියන් සමඟ නාගදීපයට පැමිණෙන ලෙස දන්වා බ‍‍්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති නා හිමියෝ නාගදීපයට වැඩම කළහ.

පද්මසිරි දෙමටගොඩ නාගදීප විහාරයේ නැවතුණු දිනට පසු දින සාමණේර හිමිවරුන් සමඟ එක්ව පාරේ යන එන්නන්ට වතුර බටයෙන් ජලය විද නැහැවූ අතර එක්වර ම වැදුණු වේවැල් පහරවලින් ඇද වැටුණි.

ඒ වේවැල් පහර වැදුණේ බ‍‍්‍රාහ්මණවත්තේ සීවලී හාමුදුරුවන් ගෙනි. උන් වහන්සේ ඒ වන විට පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබා දී වැඩම කර තිබුණි. තාත්තාගේ වේවැල් පහරට වඩා එයින් පද්මසිරිට රිදුණි. පද්මසිරි දුවගොස් හැඬුවේ ය.

එහෙත් පද්මසිරි ඇතුළු සාමණේර හිමිවරුන්ගේ දැඟලිල්ල එතැනින් නතර වූයේ නැත. සිවු දෙනාට තවත් අයෙක් එක් විය. ඒ විහාරස්ථානයට දානය ගෙන එන කොලූ ගැටයෙකි. මේ පස් දෙනා ගැන සීවලී හිමියන්ට අසල් වාසීන්ගෙන් මෙන්ම අවට වෙළෙඳසල්වලින් ද පැමිණිලි ගලා එන්නට විය.

බ‍‍්‍රාහ්මණවත්තේ සීවලී හාමුදුරුවන්ගේ වේවැල් පාර පද්මසිරිට පන්සල එපා කෙළේ ය.

එහෙත් ඒ සමඟම නාගදීපයට යන දිනය උදාවිය.

1973 ජූලි මස නාගදීපයට යාම පිණිස පද්මසිරි සීවලී නා හිමියන් සමඟ රාත‍‍්‍රී තැපැල් දුම්රියෙන් යන්නට විය. ඒ වෙන් කළ නිදන ආසනවල ය.

පන්සලේ දී තිබුණු මහා සැරපරුෂ බව ගමනේ දී සීවලී හිමියන්ගෙන් පද්මසිරි දුටුවේ නැත. උන් වහන්සේ තමන් ආරක්ෂිත ව රැගෙන යන බව පද්මසිරිට වැටහී ගියේ ය.

රාත‍‍්‍රිය මුළුල්ලේම තැපැල් බෙදමින් පැමිණි දුම්රිය යාපනයට ළඟාවූයේ හිමිදිරියේ ය. යාපනයේ නාග විහාරයෙන් උදෑසන දානය වැළඳූ සීවලී හිමියන් පද්මසිරිට ද අවශ්‍ය සියලූ පහසුකම් ලබා දෙන ලදී. යාපනයේ සිට නාගදීපය බලා යන කරිකුට්ටුවාන් දක්වා යන ගමන අද මෙන් පහසු නොවූ එකල ගමන් කළ කබල් වෑන් රථයට සෑහෙන වේලාවක් ගත විය. රාත‍‍්‍රිය පුරාම කොළඹ සිට යාපනයට දුම්රියෙන් පැමිණීම නිසා මෙන්ම අබලන් පාරේ ගැස්සි ගැස්සී පැමිණීම නිසා කරිකුට්ටුවාන් ජැටියට පැමිණෙන විට පද්මසිරිට හොඳටම වෙහෙස වී තිබුණි.

මුහුද මැද පෙනෙන දූපතට යන්නට එදා විනාඩි 45ක් පමණ ගත විය. පද්මසිරි සීවලී හිමියන් සමඟ නාගදීපයට පැමිණියේ ඒ අයුරිනි.

ඒ පද්මසිරි නාගදීපයට පැමිණි ප‍‍්‍රථම අවස්ථාවයි. නාගදීපයේ පරිසරය පද්මසිරිට පුදුමාකාර වෙනසක් දැනුණි. ජැටියේ සිටම විහාරය දක්වා සුදුවතින් සැරසී මල් පහන් දෝතින් රැගෙන පිය නඟන වන්දනාකරුවන්ය. ඒ වන්දනාකරුවන්ට එදා මහා සිසිල් පැන් දන්සලකි. ඒ මිහිරි දොඩම් දන්සලකි. පද්මසිරි දන්සල දෙස බලමින් නා හිමියන් සමඟ පසුපසින් ගියේ ය. එතැන දී නවදගල ගමේ තමන් දන්නා අබේසිරි නමින් හැඳින්වෙන තැනැත්තෙක් හමු විය. ඔහු සීවලී හිමියන්ට වැඳ නමස්කාර කර පද්මසිරි දෙසට හැරුණේ ය.

”පද්මසිරි එන බව මම දැනගෙනයි හිටියේ”

දන්සලෙන් දොඩම් වීදුරුවක් බොන්නට දිව ගිලෙන තරම් පිපාසයක් ද පද්මසිරිට තිබුණි. එහෙත් සීවලී හාමුදුරුවන් ඉදිරියට වැඩම කිරීම නිසා පද්මසිරිට දන්සලේ නැවතී සිටින්නට නොහැකි විය. නාගදීපයේ නායක හිමියන් එළිමහනේ හාන්සි පුටුවක අසුන් ගෙන සිටියහ. නාගදීපයේ නාහිමියන්ට ලැබුණු ගරු සැලකිල්ල දුටු පද්මසිරිට ආඩම්බරයක් ද ඇති විය. උන් වහන්සේට වැඳ නමස්කාර කර පද්මසිරි විහාරයට ගියේ ය. ඒ අලූත්ම නවාතැනේ තමන් ද සාමාජිකයකු බව ඔහුට අවබෝධ විය.

විහාරස්ථානයේ බොහෝ කටයුතු සිදු කරන්නට සිටි සින්නදොරේ කැඳ වූ නා හිමියන් පද්මසිරිට කාමරයක් සපයා දෙන ලෙස දැන්වී ය. පද්මසිරි ඔහු පස්සෙන් ගියේ ය. එකල නාගදීප විහාරයේ ඇතුළත කොරිඩෝ රැසකි. ලෙහෙසියෙන් එහි කාමරයක් සොයා ගන්නට අපහසු ය. සින්නදොරේ කලූවරේ පද්මසිරි කැඳවාගෙන යන අතර පද්මසිරි දෙස හැරී බැලූවේ ය. පද්මසිරිට එක්වරම ආලවක නාට්‍යයේ ආලවක යකා මතක් වුණේ ය. ඔහු තරමක් තිගැස්සුණේ ය. බුලත් හපා දත් අතර රත් පැහැයෙන් යුක්ත ඔහුගේ දත් අඳුරේ දිස්වන්නේ කැඩුණු පොල් කැබලි මෙනි.

කාමරයට ගොස් ඇඳුම් මාරු කරගෙන පැමිණි පද්මසිරිට කතා කළ නාගදීප නා හිමියෝ ඔහුගෙන් ගමනේ තොරතුරු විමසූහ.

”ගමේ අබේසිරි දන්සලේ ඉන්නව දකින්න ඇතිනෙ. ගිහින් කතා කරන්න”

පද්මසිරි පිම්මේ දිව ගියේ ය. දොඩම් පිරවූ වීදුරුවක් පද්මසිරිට අබේසිරිගෙන් ලැබුණේ ය. පද්මසිරි උගුරට දෙකට එය අවසන් කෙළේ ය. ඒ සමඟම

අබේසිරිගෙන් තවත් වීදුරුවක් ලැබුණේ ය. පද්මසිරි බීම සටන අතහැරියේ වීදුරු 6ක්ම බී බඩ අතගාමිනි.

නාගදීප විහාරයේ පේ‍‍්‍රමරත්න, හෙක්ටර් හා දයාවංශ යන තිදෙනා පන්සලේ ආවතේව කරන්නට සිටියහ. ඒ පිරිස සමග දවසේ හති වැටෙන තුරු දඟලන්නට ඔබමොබ යන්නට පද්මසිරිට හැකි විය. පැවිදි වන්නට ආවාට ඒ බව පද්මසිරිට වගේ වගක් නැති විය. කෙසේ වුවත් පන්සලේ දී ඔහු එහි ගෞරවය රැකෙන පරිදි කටයුතු කෙළේ නවදගලදී ලද පන්සල් ආභාසය නිසා වන්නට ඇත.

පද්මසිරිට අමතර ව නාගදීප නා හිමියන්ගේ ඥාති පුත‍‍්‍රයකු වූ රන්දොඹේ අබේසිරිද, පද්මසිරි සමගම පැවිදි වන්නට නාගදීපයට පැමිණ සිටි අයෙකි.

නාගදීප වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන්ට මල් විකිණීම නාගදීපයේ තරුණයින්ගේ එක් ආදායම් මාර්ගයක් විය. ඒ අය සමඟ එක්වන්නට පේ‍‍්‍රමරත්න ඇතුළු තිදෙනා සමඟ පද්මසිරිද අලූතින් එක් විය. ඔවුන් මල් කඩන්නට ගියේ විහාරයට සැතපුමක් පමණ දුරින් පිහිටි නාගදීපයේ කනත්තට ය. පද්මසිරි හෝ අන් අයට ඒ වෙනුවෙන් මුදල් ලැබුණේ නැත. ඔවුන් එවැන්නක් බලාපොරොත්තු වූයේ ද නැත. එහෙත් ඔවුන්ට විවිධ රසකැවිලි ඇතැම් දිනවල වෙඬ් පවා ලැබුණේ ය. ඒවාද බඩගින්නට හෝ ආසාවට නොව කොලූකමට ලබාගත් ඒවා ය.

පද්මසිරිගේ සහ රන්දොඹේ අබේසිරිගේ පැවිදි පින්කම ඉහළින් සැමරිය යුතු බවට නාගදීපයේ සිටි සියලූ ද්‍රවිඩ ජාතිකයන් එක සිතින්ම සිතා කටයුතු කරන අයුරු පද්මසිරිට දැක ගත හැකි විය. එය දෙමළ ජනතාවගේ ද උත්සවයක් සේ ඔවුහු සිතූහ. නාගදීපයට ආලෝකයක් බව ඔවුහු දැන ගත්හ. ගුවන් විදුලි සංස්ථාව මෙන්ම රූපවාහිනිය නොතිබූ එකල චිත‍‍්‍රපටි සංස්ථාවෙන් පැමිණෙන බවද ආරංචි විය.

පද්මසිරිගේ පැවිදි පින්කමට සතියක් දක්වා කාලය ළංවුණි. පින්කමට සතියක් පමණ විට ගමේ අය නාගදීපයට පැමිණෙන්නට විය.

පැවිදි පින්කමට දින 3ක් දක්වා ආසන්න විය. එහෙත් පැවිදි පින්කම පද්මසිරිට නම් කිසිදු වගක් නොවී ය. ඔහු දිනපතාම කණේරු මල් කැඩුමට සෙස්සන් හා එක් විය. ගිනි ගහන අව්වේ පවා ඔවුහු කණේරු මල් කැඩූහ. මුහුදු සුළං මඳ වශයෙන් ඔවුන්ගේ දාහය නිවාලූවේ ය.

දෙමළ තරුණයන් ගස් නැඟ මල් කැඩූ අතර විහාරයේ සිටි කොල්ලන් එකතුව මල් ඇහිලූවේ ය.

 වෙසක් අව අටවක පෝය 

  වෙසක් අව අටවක පෝය
මැයි 14 බ්‍රහස්පතින්දා පූර්ව භාග 6.51න් අව අටවක ලබා 15 සිකුරාදා පූර්ව භාග 08.22 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.

මීළඟ පෝය 22 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]