[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිනිසත් බවට අර්ථයක් ගෙන දීම

මිනිසත් බවට අර්ථයක් ගෙන දීම

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වරෙක මෙලොව ඇති අති දුර්ලභ වූ කරුණු සතරක් පිළිබඳව දේශනා කොට වදාළ හ. මිනිසත් බව ලැබීම හා දිවිරැකුමක්, ධර්ම ශ්‍රවණයත් එසේ ම බුදුවරයෙකුගේ පහළ වීමත් යනු එම අති දුර්ලභ වූ කරුණු සතරයි.

සත්ත්වයා විසින් මෙලොව වශයෙන් සිදුකරනු ලබන කුසලාකුසල කර්මයන්ගේ ප්‍රතිවිපාක වශයෙන් සංසාර චක්‍රය පුරාවට විවිධාකාර වූ සැප හා දුක් විපාකයන්ට ගොදුරු වීමට ඔවුන්ට සිදු වේ. එලෙස සංසාර ගමන තුළ අප විසින් සිදු කරන ලද අතීත කුසලයන්ගේ විපාක වශයෙන් අප මෙලොව මිනිසුන් ලෙස උපත ලබා තිබේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම හෙවත් මිනිසෙකු ලෙස මෙලොව උත්පත්තිය ලැබීම අතිශයින්  දුෂ්කර වූ කරුණක් බව බුදුන් වහන්සේ අවස්ථා ගණනාවක දී විවිධාකාරයෙන් දේශනා කොට තිබේ.

ඉහත දක්වන ලද කරුණු සතර අතුරින් දිවිරැකුම හෙවත් මනා දිවිපැවැත්මත්, සද්ධර්ම ශ්‍රවණයත් බුදුන්වහන්සේ නමකගේ පහළවීමත් යන කරුණු තුන වඩාත් ඵලදායී වන්නේ ද මනුෂ්‍යත්වය ලද විටෙක පමණි. මිනිසත් බවින් තොර වූ තිරිසන් ආදී භවයන්හි උපත ලද විට මනා දිවිපෙවෙතකට හිමිකම් කීමටත් දුර්ලභ වූ සද්ධර්මය ශ්‍රවණය කිරීමටත් එසේ ම බුදුවරයෙකුගේ පහළ වීම තුළ නිර්වාණගාමී ප්‍රතිපදාව වෙත යොමු වීමටත් අපට හැකියාවක් නොලැබේ. එබැවින් එවන් දුර්ලභ වූ කාරණාවන්ට උපකාරී වන හෙයින ් මනුෂ්‍යත්වය හෙවත් මිනිසෙකු ලෙස මොලොව ඉපැදීම අතිශයින්ම දුර්ලභ බව පැහැදිලි වේ.

බුදු දහමට අනුව නිමක් නොමැති මෙම සංසාර ගමනෙහි කෙළවර නිවන් අවබෝධය යි. නිවන යනු ප්‍රාර්ථනාවෙන් හා කුසල් සම්පාදනයෙන් පමණක් ලැබිය හැකි තත්ත්වයක් නොව ප්‍රඥාව මූලික කොට ගෙන සසර ගමනෙහි අවබෝධයෙන් වැඩිය යුතු වූ ප්‍රතිපදාවකි. එලෙස නිවන් මග වැඩීමට නම් අපාගත වූ සත්ත්වයන්ට මෙන් ම තිරිසන් ආදී පහත් තත්ත්වයන්ට පත්වූවන්ට කිසිසේත් හැකියාවක් නොලැබේ. දිව්‍ය ආදී අතිශයින් කාමභෝගීත්වයට නැඹුරු වූ භවයන් තුළ කුසලයට මෙන් ම ධර්මයට යොමු වීමට ඇති ඉඩකඩ ඉතා අල්ප ය. දෙව්ලොව තුළ කුසලයට ඉඩක් නොමැති තරම් ය. එහෙයින් ධර්මයට අනුව නිවන් අවබෝධය කෙරෙහි වඩාත් සුදුසු වන්නේ මිනිසත් බවයි. සසර ගමන තුළ කුසලය මූලික වශයෙන් උපකාරී වන්නේ දුගතියෙන් තොර වූ නිවන් මග වැඩීම පිණිස යෝග්‍ය වූ උපතක් ලැබීම සඳහා ය. මෙලොව මනුෂ්‍යයන් වශයෙන් උපත ලද අප සැම අද වන විට පසුවන්නේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලසීමාවක ය. එහෙයින් නිරන්තරයෙන් සද්ධර්මය ශ්‍රවණය කිරීමටත් කුසලයන්හි යෙදීමටත් අපට හැකියාවක් ඇති හෙයින් අප සැවො ම භාග්‍යවන්ත ය. මිනිසත් බව ලද අප සැමට යහපත හා අයහපත නිවැරදි ව නිශ්චය කොට කටයුතු කිරීමට හැකියාවක් ඇත. මනුෂ්‍ය හෙවත් මිනිස් යන්නෙහි අර්ථය එලෙස උසස් වූ මනසකින් යුක්ත වන බවයි. මිනිසත් බව ලැබීම කණ කැස්බෑවෙකු වියසිදුරෙන් අහස දකින්නාක් මෙන් අතිශයින් දුෂ්කර වූ කටයුත්තක් බව තථාගතයන ් වහන්සේ දේශනා කොට තිබේ.

වියගස යනු ශක්තිමත් දැවයකින් නිමවන කල්පවත්නා වස්තුවකි. බොහෝ කලක් ප්‍රයෝජන ගෙන කාලාන්තරයක් ගතවීමෙන් දිරායෑම නිසා ඉවත දමන ලද එබඳු වියගසක් වර්ෂාවකට හසු ව දිය පහරකට අහම්භයෙන ් වැටී ඒ ඔස්සේ සාගරයට ගසා ගෙන යාමත් එහි දී ඉතා අහඹු ලෙස කණ කැස්බෑවකු එහි වියසිදුරෙන් අහස දැකීමත් යනු මිනිස් ජීවිතයක් ලැබීමේ අපහසුතාව විග්‍රහ කොට දැක්වීම පිණිස උන්වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද උපමාවයි. වියගසක් දිරායාම නිසා ඉවත දැමීමත් එය දියපහරක් ඔස්සේ සාගරයට එක්වීමත් කණ කැස්බෑවෙකු එහි වියසිදුරින් අහස බැලීමත් යනු අහම්භයෙන් සිදුවන්නා වූ ද එසේ ම කාලාන්තරයක් තවන්නා වූ ද එක් වරක් හෝ සිදුවීමෙහි සම්භාවිතාව ඉතා අල්ප වූ සංසිද්ධියකි. මිනිසත් බව ලැබීම ඒ හා සමාන කොට දක්වා තිබීමෙන් එහි ඇති දුර්ලභ බව අපට මනා ව අවබෝධ කර ගත හැකි ය.

කලෙකිනි බුදුකෙනෙකුන් උපදින්නේ - දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ - සුදනෙනි කිම වීරිය නොකරන්නේ යන අතීත දහම් කවිය තුළ මිනිසත් බවෙහි වටිනාකම මනා ව පැහැදිලි කර දක්වා තිබේ. බුදුවරයෙකු ලොව පහළවන්නේ අතිශය කලාතුරකින ි. මිනිසත් බව ලබාගැනීම ද අතිශය ින ් දුෂ්කර වූ කාර්ය්‍යයකි. මෙම කරුණු දෙක සම්පූර්ණ වූ විට සසර දුක කෙළවර ක ිරීම හෙවත් නිවන් අවබෝධය ලද හැකි ය. පසේ බුද්ධත්වය හැරුණු කොට බුද්ධෝත්පාද කාලයකදී සෝවාන් ආදී මාර්ගපල තුළින් නිවන් අවබෝධය ලැබීමට මිනිසත් බව වඩාත් උපකාරී වේ. එහෙයින් අර්හත්වය සඳහා හේතු සාධක වන්නේ අන් කිසි දිව්‍ය සම්පත්තියක් නොව මනුෂ්‍යත්වය ම බව පැහැදිලි වේ.

මිනිසත් බවෙහි වටිනාකම ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙයාකාරයෙන් දැක්විය හැකිය. මිනිසත් බව ලද අපට අපගේ සිතැඟියන්ට අනුව කටයුතු කිරීමේ හැකියාව පවතී. මෙලොව යහපත් වූ අර්ථසම්පන්න සැපවත් දිවිපෙවෙතක් ගතකිරීමටත් එ් තුළිත් ලෞකික සුව වින්දනයටත් අපට හැකියාව

තිබේ. එසේ ම කුසලයෙහි යෙදීමටත් ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමටත් ඒ තුළින් නිවන් අවබෝධය ලැබීමටත් මනුෂ්‍යයන් වශයෙන් අපට හැකිය. එය ලෝකෝත්තර වශයෙන් මිනිසත් බවෙහි ඇති වටිනාකමයි. එබැවින් මනුෂ්‍යත්වය යනු සත්ත්වයාගේ මෙලොව පරලොව දෙලොව අභිවෘද්ධියත් නිර්වාණාවබෝධයත් පිණිස උපකාරී වන තත්ත්වයකි. සසර, සැඩ පහර සහිත නදියකට උපමා කොට දක්වන්නේ නම් එයින් එතෙරට යාමට උපකාරී වන පහුරක් ලෙස මිනිස් ජීවිතය අපට හඳුන්වා දිය හැකිය. තොටියා දක්ෂ වන තරමට ම සැඩ පහරින් එතෙරට යාම ද සිදු වේ. එලෙස මිනිසත් බව ලද අප ද ඒ පිළිබඳ මනා වූ අවබෝධය ඇති ව දක්ෂ ව කටයුතු කරන තරමට ම අප ට ද නිවන නැමැති එතෙරට යාමට හැකි වනු ඇත. පෙර කළ කුසලයන්ගේ බල මහිමයෙන් මිනිස් බව ලද මුත් ළාමක වූ අකුසලයන්හි නිරත වීම තුළින් මෙලොව මෙන් ම පරලොව දිවිය ද විනාශයට පමුණුවාගන්නා පිරිස් නෑතරම් අපට දක්නට ලැබේ. පිනට ලද මිනිසත් බව තුළින් සසර කෙළවර කර ගන්නවා වෙනුවට අනවබෝධය නිසා අපාගතව තව තවත් සසර දිගු කරගැනීමට ද ඇතැමුන් කටයුතු කරනු අපට පෙනේ. එහෙයින් මිනිසත් බව ලද අප සැමවිට ම ධර්මයට යොමුවීමටත් ඒ තුළින් ලබන ලද මිනිස් දිවිය අර්ථවත් කර ගැනීමටත් වග බලාගත යුතු ය. අද වන විට ලොව පුරා පැතිර පවතින වසංගත රෝග තත්ත්වය මනුෂ්‍ය ජීවිතයෙහි වටිනාකම මෙන් ම ඒ තුළ පවතින දැඩි අවිනිශ්චිත, අනිත්‍ය ස්වභාවයත් අනාත්ම ස්වභාවයත් පිළිබඳ ව මුළු ලොවට ම මනා අවබෝධයක් ලබා දීමට සමත් වී තිබේ. නිලය, ධනය, බලය කොපමණ ඇතත් මරුගෙන් ගැළවීමට ඒ කිසිවක් අපට උපකාරී නොවන බව අද සියල්ලන්ට ම පසක් වී හමාර ය. ජීවිතය යනු තණ අග පිනිබිඳක් වැනි වූ නිරතුරු අවිනිශ්චිත බවින් යුක්ත වූවකි.

එය අපට අවශ්‍ය පරිදි පවත්වාගත නොහැකි මම ය මාගේ ය යනුවෙන් ගතනොහැකි අතීත කර්මයන්ගේ අනුසාරයෙන් සකස් වූවකි. එබැවින් ජීවිතය පිළ ිබඳ යථා අවබෝධයෙන් යුතු ව දහමට අනු ව තම දිවිපෙවෙත සකසා ගැනීම අප සැමගේ වගකීමයි. එය අප වෙනුවෙන් කිසිවෙකුටත් කළ හැක්කක් නොවේ. බුදුවරයෙක්ට වුව ද කළ හැක්කේ මග පහදා දීම පමණකි.

බුද්ධත්වය යනු යම්කිසි සත්ත්වයෙකුට සැමතින් ම ලැබිය හැකි උත්තරීතර ම තත්ත්වයයි. එය ද ලැබිය හැක්කේ මිනිස් භවය තුළින් පමණකි. එබැවින් මිනිසත් බව අතිශයින් ම දුර්ලභ යැයි බුදුන් වහන්සේ පෙන්වා වදාළහ. එබඳු දුර්ලභ වූ මිනිස් බව ලැබූ මනුෂ්‍යයන් වන අප ධර්මානුකූල ව කටයුතු කරමින් න ිවන් අවබෝධය පිණිස වෙහෙසීම තුළින් එසේ පිනට ලද මිනිසත් බව අර්ථ සම්පන්න කරගැනීමට නිරන්තරයෙන් වග බලාගත යුතු ය. බෞද්ධ ශ්‍රාවකයින් ලෙස අපගේ ශාස්තෘ වූ සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප හට දැක්විය හැකි ගෞරවය ද එයම ය.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]