[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නැණ පුබුදුවා සැදැහැ වඩන මඟ

නැණ පුබුදුවා සැදැහැ වඩන මඟ

බුද්ධ ධර්මය භක්තිගෝචර ආගමක් නොව බුද්ධිගෝචර ජීවන මාර්ගයකි. බුදු දහමෙහි රහස් නැත. බුදු දහමෙහි අන්තර්ගතය විමසන්නට, ප්‍රශ්න කරන්නට, සාකච්ඡා කරන්නට පූර්ණ නිදහස හිමිව ඇත.

එසේ කරන්නහුට සම්බාධක පමුණුවන්නේ ද නැත. ප්‍රශ්න කිරීම හා සාකච්ඡා කිරීම අපායගාමී වරදක් ද නොවේ. ආගම් ඉතිහාසයෙහි බුදුරජාණන් වහන්සේ තරම් චින්තන නිදහස ඇගැයීමට ලක් කළ වෙනත් ශාස්තෘවරයෙකු නැතැයි කීම අතිශයෝක්තියක් ද නොවන්නේ ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම විවෘත වූ තරමට ම බබළන්නේ ය. වැසුණු තරමට ම එහි බැබළීමක් නොවන්නේ ය යනු බුද්ධ දේශනාව යි. නිදහස් චින්තනයෙන්, විමසීමෙන් හා පරීක්ෂා කිරීමෙන් තොරව ගෞරවය, භක්තිය හා බිය පදනම් කරගෙන කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් දෙවියන් වහන්සේ තුළ ඇතැයි විශ්වාස කිරීම හා ඇදැහීම භක්තිය යි. ලොව පවත්නා සියලු ආගම්වලට පදනම වී ඇත්තේ භක්තිය යි. බුදු දහමේ ඇත්තේ භක්තිය නොව ශ්‍රද්ධාව යි.

තුන් රුවන් සරණ යෑම බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් පිළිබඳව සිතේ ඇතිවන ප්‍රසාදය, ගෞරවය, බුද්ධිගෝචර පිළිගැනීම හා කම්ම, කම්මවිපාක පිළිබඳව ඇතිවන විශ්වාසය හෙවත් පිළිගැනීම ශ්‍රද්ධාව වේ. සිල්වත්, ගූණවත්, නැණවත් පුද්ගලයකු තුළ තෙරුවන් කෙරෙහි සැබෑවට ශ්‍රද්ධාව පිහිටියා වන්නේ සියලු සසර දුක් දුරු කොට නිවන් පසක් කර ගැනීමට බුදුරජාණන් වහන්සේ එකම අසහාය ශාස්තෘන් වහන්සේ හැටියට පළමුව ඇතිකර ගන්නා විශ්වාසය යි. උතුම් වූ සද්ධර්මය සංසාර විමුක්තිය සඳහා පිළිගැනීම යි. දහම් මඟ අනුගමනය කර සසර දුක් කෙළවර කොට නිවන් පසක් කළ ආර්ය සංඝරත්නය ආදර්ශදායකයන් ලෙස ද, එසේ ම සසර දුකින් මිදීම පිණිස පිහිටාධාර වන මඟ යැයි සතුටු සිතින් පිළිගැනීම යි. තමන් කරනු ලබන යහපත් (කල්‍යාණ ) හෝ කරනු ලබන අයහපත් (පාප ) ක්‍රියාවන්ට අනිවාර්යයෙන් ම හොඳ හෝ නොහොඳ යහපත් හෝ අයහපත් ප්‍රතිඵලයක් ලැබෙනවා කියන විශ්වාසය ඇතිකර ගැනීම යි. එනම්, කර්ම හා කර්මඵල විශ්වාස කිරීම යි. මේ පස් කරුණු කෙරෙහි නියමාකාරයෙන් කරුණු දැන ගෙන සිතෙහි ඇතිකර ගන්නා වූ බලවත් විශ්වාසය ශ්‍රද්ධාව නම් වේ. ප්‍රධාන වශයෙන් බෞද්ධයකු සේ පිළිගන්නේ කර්මය සහ පුනරුත්පත්තිය පිළිගැනීම නිසයි.

ලොව වටිනාම වස්තුව

ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේ ගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ මිනිසාට ඇති වටිනාම වස්තුව කුමක් ද යන්න යි. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ - සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං - මිනිසාට ඇති ඉහළම වස්තුව නම් ශ්‍රද්ධාව යි. සද්ධා මූලිකා සබ්බේපි කුසලාධම්මා - සියලුම කුසල් දහම්වලට මුල් වන්නේ ශ්‍රද්ධාව යි. ලෝකියලොකුත්තර විපාක සුඛං ආවහති - ලෞකික පමණක් නොව ලෝකොත්තර සුවය ගෙන දීමට ශ්‍රද්ධාව මුල් වේ. සද්ධා ධුරෙන පටිපන්නානං ජාති ජරාදි දුක්ඛං පටිබාති - ශ්‍රද්ධාවෙහි පිහිටි තැනැත්තා ජාති ජරාදි දුක් නැති කරයි. එපමණක් නොව ගුණයෙන් දිළිඳුකම - ගුණදාළිද්දියං වූපසමේති - නැති කර ගුණවත්කම ඇති කරයි. තුන්තරා බෝධිය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අත්‍යවශ්‍ය වූ සතිසම්බොධ්‍යංගාදී බෝධිපාක්ෂික ගුණ රත්නයන් ලැබීමට හේතු වේ.

ආර්ය ධන හත

සද්ධාධනං සීලධනං - හිරි ඔත්තප්පියං ධනං

සුතධනං ච චාගෝ ච - පඤ්ඤා මේ සත්තමං ධනං ශ්‍රද්ධා ධනය, ශීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, ශ්‍රැත ධනය, චාග ධනය, ප්‍රඥා ධනය යන මේ ආර්යධන හත බුදුරජාණන් වහන්සේ, බුද්ධශ්‍රාවකයන්ගේ උතුම් ධනය විය යුතු බවත් වදාළ සේක. ශ්‍රද්ධාව හා ප්‍රඥාව ගුණ යුවළකි. සාර්ථක ජීවිතයක පදනම නම් ශ්‍රද්ධාව හා ප්‍රඥාව දෙක සමසේ පිහිටා සිටීම යි. ශ්‍රද්ධාව අඩුව ප්‍රඥාව බලවත් වූ විට . බලවපඤ්ඤා මන්දසද්ධෝ කේරාටික පක්ඛං භජති . ඒ පුද්ගලයා කෛරාටිකයෙක් වෙයි. ප්‍රඥාව අඩුව ශ්‍රද්ධාව බලවත් වූ විට ඒ තැනැත්තා නුවණ මඳ බැතිමත් පුද්ගලයෙක් වේ. බුදු සසුනෙහි ඇති ගුණ රුවන් උපදවා ගැනීමට නම් ශ්‍රද්ධා ප්‍රඥා දෙක සමව තිබිය යුතු ය.

පදනම් විරහිත පිළිගැනීම

හේතු යුක්ති සහගත නොවන භක්තිය මත පදනම් වූ පදනම් විරහිත පිළිගැනීම හා විශ්වාසය අමූලිකා ශ්‍රද්ධාව නම් වේ. යම් කරුණක් සම්බන්ධයෙන් ඇතිවන මෙම විශ්වාසයට ශක්තිමත් වූ මුලක්, පිළිගත හැකි පදනමක් නොතිබීම විශේෂ ලක්ෂණය යි. එසේ මන්ධානුකරණයෙන් යුතුව පිළිගැනීම ද විශේෂ ලක්ෂණයකි. හේතු යුක්ති සහගතව ශක්තිමත් මුලක් ඇතිව කරුණු සහිතව බුද්ධිය මෙහෙයවා විමසීමෙන් යුතුව පිළිගැනීම ආකාරවතී ශ්‍රද්ධාව නම් වේ.

යම් ඉගැන්වීමක් පරම්පරාවෙන් පැමිණි නිසාවත්, ඇදුරු පරපුරෙන් ආ නිසාවත්, පොත පතෙහි තුබූ නිසාවත්, වේද මන්ත්‍ර ශාස්ත්‍රයන්හි සඳහන් ව තුබුණු නිසාවත් මෙය ම සත්‍යය වේ. සෙස්ස බොරුවේ යැයි යනාදි වශයෙන් ගෞරවයෙන් යුතුව විමසීමෙන් තොරව යම් නිගමනයකට එළැඹීම, පදනම් විරහිතව යුක්ති සහගත නොවන ආකාරයෙන් පිළිගැනීමකි. එසේ කිරීම කණවැල අල්වාගෙන යන අන්ධයින් මෙනි. මුලින් කණවැල අල්වාගෙන යන අන්ධයා ද මැද ගමන් කරන අන්ධයා ද ඒ පසුපස යන අන්ධයා ද මෙනි. ඔහුට පැහැදිලි දර්ශනයක් නැත. එසේ ම නිවැරදි පිරිසිදු ගමන් මගක් ද නැත. ගමනෙහි ඉලක්කයක් ද නැත. අමූලික ශ්‍රද්ධාවේ ස්වභාවයත් මේ හා සමාන ය. ශ්‍රද්ධාව චෛතසිකයකි.

සද්දහන ලක්ඛණ සද්ධා, සම්පසාදන ලක්ඛණ සද්ධා, සම්පක්ඛන්ධන ලක්ඛණ සද්ධා, ඕකප්පන ලක්ඛණ සද්ධා යැයි ශ්‍රද්ධාව සිවු වැදෑරුම් වේ. තෙරුවන් කෙරෙහි නොදැනුවත්කම නිසා හෝ බලපවත්වන සැකය නිසා හෝ නුවණ මඳකම නිසා හෝ කෙලෙස් වලින් තොරව තෙරුවන් ගුණ යථාවිධියෙන් දැන සිතෙහි ඇතිවන භක්තිය, විශ්වාසය පිහිටුවා ගැනීම සද්දහන ලක්ඛණ සද්ධාව නමී. සක්විති රජදරුවන් ළඟ ඇති මැණික් අතර බොර වූ දියෙහි දැමූ සැණින් දිය පහදවන උදකප්‍රසාදමාණික්‍ය යැයි මැණිකක් ඇත. එම මැණික ජලයෙහි බහාලූ කෙණෙහි කැළැඹී තුබුණු ජලය වහා ප්‍රසන්න වන්නේ ය.

එම ජලය මතට වැටෙන හිරු සඳුගේ ප්‍රතිබ්ම්බය වුවත් කැඩපතින් මුහුණ විනිවිද පෙනෙන්නාක් මෙන් මොනවට පැහැදිලිව පෙනේ. එමෙන් ම ලෝභාදී අකුසල ධර්මයන් ගෙන් සිත කැළඹුණ විට එය පිරිසිදු කළ යුත්තේ ශ්‍රද්ධාව ඉපිදවීමෙනි. ඒ සඳහා තෙරුවන් ගුණ පිළිබඳ අවබෝධයක් මෙන් ම කුසල් අකුසල් හඳුනා ගැනීමේ නුවණක් තිබිය යුතු ය. එබඳු ශ්‍රද්ධා චිත්තයෙන් යුක්ත පුද්ගලයා නිර්වාණාධිගමය පිණිස උත්සාහවත් කරන අතර කුසල් දහම්හි අප්‍රමාදව කටයුතු කරයි. මේ අනුව පැහැදිලි වන්නේ සිතෙහි හා අනෙක් චෛතසිකයන්ගේ පවත්නා ගති හා අපිරිසිදුකම් නැති කිරීම සම්පසාදන ලක්ඛණ ශ්‍රද්ධාව නම් වේ.

මහා සැඩ දිය පහර ඇති, දිය සුළිවලින් යුත්, දරුණු කිඹුලන්ගෙන්, දැති මෝරුන්ගෙන් හා දිය රකුසන් ගෙන් ගහණ ජලාශයක් වෙත පැමිණි අභීත රණකාමි පුද්ගලයකු කඩුවක් රැගෙන පැමිණ බියපත්ව ගඟින් එතෙර මෙතෙර වීමට නොහැකිව රැඳී සිටින පිරිස වෙත පැමිණ, බිය නොවන්න, බිය වීමට කාරණා කිම ? යනුවෙන් පවසමින් දියට බැස අමෝරා ගත් කඩුවෙන් බියකුරු සතුන් මර්දනය කැර මෙතෙර සිටින පිරිස එතෙරටත්, එතෙර සිටින පිරිස මෙතෙරටත් පහසුවෙන් පමුණුවයි ද, එමෙන් ම සසර අනාදිමත් කාලයක සිට චිත්ත සන්තානයෙහි පවත්නා නීවරණ ධර්ම මැඩ පවත්වා, සසරින් එතෙරවීමක් වේද, එමෙන් ම චිත්ත සන්තානයෙහි පවත්නා යහපත් හැඟීම් නැති කිරීමට නැගී එන විරුද්ධ සිත් හා සිතිවිලි මැඩ පැවැත්වීම සම්පක්ඛන්ධන ලක්ඛණ ශ්‍රද්ධාවේ ලක්ෂණය යි. තෙරුවන්ගේ ඇති ගුණ තතු නියමාකාරයෙන් දැන කිසිවෙකුටත් මොනයම් ආකාරයකින් හෝ වෙනස් කළ නොහැකි පරිදි තෙරුවන් ගුණ පිළිබඳව දැඩි සේ සිත්හි ඇතිකර ගන්නා පැහැදීම් ඕකප්පන ලක්ඛණ සද්ධා නම් වේ.

ආගමන සද්ධා, අධිගම සද්ධා, චල සද්ධා, අචල සද්ධා යැයි ශ්‍රද්ධාව නැවතත් ප්‍රභේදගත වේ. බුදුබව පතන බෝසත්වරුන්ගේ මුල් පැතුමෙහි පටන් ජාතියෙන් ජාතියට කඩ නොකොට දියුණු වෙන පවතින ශ්‍රද්ධාව ආගමන සද්ධා නම් වේ. අධිගම ශ්‍රද්ධාව නම් සෝවාන් මාර්ගඵලාවබෝධය කළ උතුමන්ගේ සිත් සතන්හි පිහිටි ලෝකෝත්තර ශ්‍රද්ධාව යි. ලෞකික කුසල් සිත්වල යෙදෙන ශ්‍රද්ධා චෛතසිකය තෙරුවන් කෙරෙහි සිත පහදවන හෙයින් ලෞකික සද්ධා නම් වේ. පුහුදුන් සිත් සතන්හි පිහිටි මෙම ශ්‍රද්ධාව චල සද්ධා නම් වේ. තෙරුවන් කෙරෙහි ගුණ දැන ඇති වූ පැහැදීම අචල ප්‍රසාදය වෙයි. නොසෙල්වෙන, නිතර නිතර බිඳී නොපවතින හෙයින් අචල සද්ධා යැයි ද කියනු ලැබේ. අවෙච්චප්පසාදය ඇති පුද්ගලයා සැබවින් ම සෝතාපන්න පුද්ගලයකි. ඔහුගේ ගති නියත ය. නියත සම්‍යග්දෘෂ්ටික ය. සත්පුරුෂ ආශ්‍රය ඇති ඔහු යෝනිසෝමනසිකාරයෙන් යුතුව තිවිධ පුණ්‍යාක්‍රියාවන්හි යෙදෙයි.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]