සියලු ශක්තීන් පරදවන
සිතේ ශක්තිය
බළංගොඩ ශ්‍රී ධර්මානන්ද
පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු ධර්මයන් කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. ඒ
සංසාරය හා නිර්වාණය ලෙසයි. සංසාරය යනු භව ගමන තුළ මැරි මැරී ඉපදෙමින් ගමන් කිරීමයි.
මේ භව ගමන තුළ ගමන් කිරීමේ ක්‍රියාවලිය නතර කිරීම නිර්වාණය ලෙස හඳුන්වනවා.
බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය තුළින් පෙන්නුම් කළේ මේ සංසාරයත්, නිර්වාණයත්
කියන කරුණු දෙකයි. මෙම කරුණු දෙකම එකතු කළොත් අප එයට කියන්නේ සිත කියලයි. මේ අනුව
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ එකම එක දෙයයි. ඒ අපේ සිත. අප එයට කියනවා සිත
පිළිබඳ විග්‍රහයක් කියා. මුළු ධර්මය තුළින් ම පෙන්නුම් කර ඇත්තේ මේ සිත පිළිබඳ ව
කරන විග්‍රහයයි.
මේ ලෝකයේ නොයෙක් ශක්තීන් තියෙනවා. ඒ සියලු ශක්තීන්ට වඩා තමන් සතු චිත්ත ශක්තිය ඉතා
ප්‍රබලයි. අවුරුදු හතළිස් පහක් පුරා මේ සිතේ ඇති ප්‍රබල ශක්තියක් පෙන්වා දීම තමයි
බුදුරජාණන් වහන්සේ සිදු කර ඇත්තේ. සිතේ අවස්ථා දෙකක් පවතිනවා. ඒ භාවිත සිත හා
අභාවිත සිතයි. භාවිත සිත යනු වඩන ලද සිතයි. සිත හරියට නිවැරැදිව පාවිච්චි කරනවා
නම්, එයට අපි කියනවා භාවිත සිත කියා. ඒ වගේ ම සිත සංයත නම් සංවර නම් කුසල් පැත්තට
යොමුවෙන අයුරින් එය ක්‍රියාත්මක වන්නේ නම්, ඒ සිත භාවිත සිතක්. යහපත් පැත්තට යොමු
නොකර අයහපත් පැත්තට සිත යොමු කරනවා නම් ඒ සිත අභාවිත සිතක් බවට පත්වෙනවා. ඒ සිතේ
සංවරයක් නැහැ. ඒ සිතේ සංයතභාවයක් නැහැ. පාලනයක් නැහැ. ඒ සිත අකුසල් සිතිවිලිවලින්
යුක්තයි. අපේ සිතේ පහළවන සිතිවිලිවල ස්වරූප දෙකක් දැකගන්න පුළුවන්. එනම් ඒ
නිෂේධනාත්මක සිතිවිලි. අනෙක් සිතිවිල්ල ධනාත්මක සිතිවිල්ලයි. මට බැහැ කම්මැලියි යන
අලස හැඟීමෙන් යුක්ත සිතිවිලිවලට අප කියන්නේ නිශේධනාත්මක සිතිවිලි කියායි. මට
පුළුවනි. ඒ දේ කරන්න. මට හැකියාව තිබෙනවා. මේ අයුරින් වීර්යවන්ත ව උද්යෝගිමත්
සිතිවිලිවලට කියනවා ධනාත්මක සිතිවිලි කියා.
ලෞකික ජීවිතයේ දී මිනිසාගේ දියුණුව රඳා පවතින්නේ මේ කරුණු දෙක මතයි. යම් කිසි
කාර්යයක දී මට බැහැ මේක අමාරු දෙයක් යනුවෙන් සිතන්නා දියුණු ගමනකට යන්නේ නැහැ. එය
ඔහු තුළ පවතින නිශේධනාත්මක සිතිවිලිවල ප්‍රතිඵලයයි. මේ දේ මට කරන්න පුළුවන්. මහන්සි
වී උත්සාහයෙන් මේ ගමන යමු. ඉලක්කයක් ඇතිව, අරමුණක් ඇතිව, උත්සාහයෙන් ක්‍රියාත්මක
වෙමු. ඒ ධනාත්මක සිතිවිලිවලින් යුක්ත ගමනකි.
දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ පාද මූලයේ දී සුමේධ තවුසාණන් ඇති කරගත්තේ ධනාත්මක
චින්තනය යි. එනම් අධිෂ්ඨානයයි. ‘මම ද කවදා හෝ බුදුවරයෙක් වෙමි’යි. යන සිතිවිලි
තමන්ගේ යටි සිත තුළ ඇති කර ගැනීමෙන් අපේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමේ
ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබිණි. ඒ ඉලක්කයට යන ගමනේ දී බාධක අභියෝග හමුවෙන්නට
පුළුවන. ඒ සියල්ලට ම මුහුණ දී ඉදිරියට ගමන් කිරීමට හොඳ චිත්ත ශක්තියක් අප තුළ
වර්ධනය කර ගත යුතුයි.
සිද්ධාර්ථ කුමාරයාට බුදු වෙන්න යන ගමනේ දී මොනතරම් ප්‍රශ්න හැල හැප්පිලි අභියෝග
පැමිණියා ද? ඒ කිසිවකින් තම ගමන නැවතුණේ නැත. ආපසු හැරුණේ ද නැත. අධ්‍යාපනය ලබන
ශිෂ්‍යයෙක් ගත හොත් ඔහුගේ ඉදිරි ගමනට නිශේධනාත්මක සිතිවිලිවලින් තොරව ධනාත්මක
සිතිවිලි ඇති කර ගැනීම ඉතාම වැදගත් ය. මට බැහැ, මට අමාරුයි යන සිතිවිලි නො සිතා මට
පුළුවන්. මම කොහොම හරි විභාගය ඉහළින් සමත් වෙනවා යන අධිෂ්ඨානයෙන් ක්‍රියාත්මක
වුවහොත්, එහි සාර්ථක ප්‍රතිඵල දැක ගන්නට පුළුවනි.
අප අද මුහුණ දෙන කොරෝනා වයිරසය ගැන බැලුවොත් මා මේ විෂබීජය ඇතුළු කර ගන්නේ නැහැ. මා
මේ රෝගය හදා ගන්නේ නැහැ. යන අධිෂ්ඨානයෙන් යුක්තව ඒ සඳහා අදාළ වෛද්‍ය උපදෙස්
පිළිපදිමින් නිතරම සිහි කල්පනාවෙන් කටයුතු කරන්නේ නම් එම රෝගයෙන් බේරී සිටීමට
පුළුවන. අපි හැම දෙනාම සිතේ තිබෙන මේ ශක්තිය පිළිබඳව අවබෝධයෙන් යුක්තව කටයුතු කළ
යුතුයි.
සිතේ මේ නිවැරැදි හොඳ පැත්තට බාධා කරන කරුණු පහක් අපේ ධර්මය තුළ පෙන්නුම් කර ඇත. මේ
කරුණු පහෙන් අපේ සිත දුර්වල කරයි. අක්‍රිය කරයි. එමෙන් ම අපේ සිත කිළිටි කරයි.
මෙයින් එකක් තමයි සිතට එන කාම සිතිවිලි හා රාග සිතිවිලි. එතැන දී සිත හැඟීම්වලට බර
වී ක්‍රියාත්මක වෙයි. දැනීමට, බුද්ධියට තැනක් නැතිවෙයි. හැඟීම්වලට බර වීම නිසා සිතේ
සංවරභාවය, සංයතභාවය, තැන්පත්භාවය නිවැරැදිව තීරණ ගැනීමේ හැකියාව නැතිව යයි.
හැඟීම්වලට වහල් වීමෙන් වැරැදි මඟට යොමු වෙයි. මේ අනුව සිත කිළිටි වෙයි. විකෘතිභාවයට
පත්වෙයි.
දෙවෙනි කරුණ වන්නේ, සිතට එන තරහ, ක්‍රෝධ, වෛර සිතිවිලි එතනදීත් සිතේ ප්‍රකෘති
ස්වභාවය නැතිව වී සිත කිළිටි වේ. මෙහිදීත් දැනීම, බුද්ධිය නැති වී හැඟීම්වලට සිත
යටවේ. ඔහු ලෝකය දෙස බලන්නේ හැඟීම්වලට බරවයි. ඒ අනුව ඔහු කරන දේ දැනීමෙන්,
බුද්ධියෙන්, සිහියෙන් තොරව හැඟීම්වලට බරව කරන ක්‍රියාකාරම් බවට පත්වෙනු ඇත.
අප සංසාරයට බැඳ තබන ප්‍රධාන ගැට දෙක ඇලීම හා ගැටීමයි. ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන්
තුළින් අපි සමහර දේ කෙරෙහි ඇලෙමු. සමහර දේ සමඟ ගැටෙමු. මෙහි දී ක්‍රියාත්මක වන්නේ
අප තුළ ඇති කෙලෙස් ය. කෙලෙස් පවතින ස්වභාවය අවස්ථා තුනකින් පෙන්නුම් කර ඇත. නිවන්
දකින තුරු අප සෑම දෙනාම තුළ මේ කෙලෙස් පවතී. මේ කෙලෙස් අක්‍රිය ව, නිහඬ ව,
නිද්‍රෝපගතව පවතින කෙලෙස් ස්වභාවය අප හඳුන්වන්නේ අනුසය අවස්ථාව ලෙසයි. අප හැම දෙනාට
ම ඇලෙන එනම්, කාමුක, රාගික සිතිවිලි මෙන් ම ගැටෙන සිතිවිලිවලින් එනම් තරහ, ක්‍රෝධය,
වෛරය වැනි සිතිවිලි ද ඇතිවෙනු ඇත. නමුත් ඒවා මතු නොවී පවතින අවස්ථාවල එම සිතිවිලිවල
ස්වභාවය අනුසය ලෙස හඳුන්වනවා. සිත ගිලන් බවට පත් කරන, සිත කිළිටි කරන, තුන්වන කාරණය
වන්නේ අලස බවයි. මේ අලස බව සිතට ආ විට සිත කිළිටි වේ. කුමක් ද වන්නේ කියා දැනීමක්
නැතිව යයි. මෙතන දී ක්‍රියාත්මක වන්නේ හැඟීමයි. අපේ සිත කිළිටි කරන හතරවෙනි කරුණ
සිතෙහි පවතින “වික්ෂිප්තභාවයයි”. මෙයින් අදහස්වන්නේ සිතේ තැන්පත් ගතිය නැති වී එහා
මෙහා දුවන අවුල් වූ ස්වභාවක් අප සිත තුළ ඇතිවීමයි. එසේ ම සිතේ ඇතිවන පසුතැවිලි
ස්වභාවයයි.
සිත කිලිටි කරන පස්වන කාරණය “සැකය යි”. සැක කරන ආකාර දෙකක් ඇත. එකක් සකාරණ සැකය යි.
අනෙක අකාරණ සැකයයි. කිසිම දෙයක් කිසිම හේතුවක්, කිසිම කාරණයක්, නැතිව යම් කිසි
දෙයක්, පිළිබඳ ව හෝ පුද්ගලයකු පිළිබඳව හෝ සැක කිරීම අකාරණ සැකය යි. කරුණු සහිත ව
හේතු සහිතව යම් කිසි දෙයක් පිළිබඳව, පුද්ගලයෙකු පිළිබඳ ව කරන සැකය සකාරණ සැකය යි.
අකාරණ සැකයේ දී දැනීම බැහැර වේ. හැඟීම් ක්‍රියාත්මක වෙයි. හැඟීම්වලට බරවන විට
නිවැරැදි ව සිතීමේ හැකියාව නැතිව යයි. සකාරණ සැකය බුදු දහම පිළිගෙන ඇත. සිත
කිළිටිකරන සැකය ලෙස බුදු සමයේ දක්වා ඇත්තේ ඉහත දැක් වූ අකාරණ සැකය යි. කරුණු සහිත ව
සකාරණව සැක කිරීම බුද්ධි වර්ධනයට මාර්ගයකි. මෙහි දී ක්‍රියාත්මක වන්නේ දැනීමයි.
මේ ආකාරයට ආශාව නිසා, තරහව නිසා, සිතේ ඇතිවන අලසකම නිසා සිතේ වික්ෂිප්තභාවය හා
පසුතැවිල්ල නිසාත් අකාරණ සැකය නිසාත් අපේ සිත කිලිටි වන බව බුදු සමය පෙන්නුම් කර
ඇත. නිතරම අපේ සිත කිලිටිවන්න නොදී ලස්සන ප්‍රසන්න පැහැදිලි ජලය ඇති විලක් මෙන්
තබාගත යුතු බව බුදුරදුන් පෙන්වා දී ඇත. විලෙහි මඬ නැත්නම් ජරාව නැත්නම්, උල්පත්
ජලයෙන් පිරිසුදු නිල්වන් ජලදහරාවකින් යුක්ත නම් එම විලෙහි පතුල පෙනේ. පතුලේ එහාට
මෙහාට යන මාළුවන් මෙන් ම ගල් කැබැලිති දැක ගන්නට පුළුවන. එය විනිවිද දැකිය හැකි
පොකුණකි. නමුත් මේ විලට හැම පැත්තෙන් ම අපිරිසුදු වතුර ගලා ආවොත් ඒ ලස්සන විල
මඩවලක් බවට පත්වෙනු ඇත. ඒ මඩ වතුර පිරි විල දෙස කිසිවෙකු බලන්නේ නැත. එහි ලස්සන
ප්‍රසන්නභාවයක් නැත. ඒ විලට මඬ ජරාව නො ඒම සඳහා වටේ ආරක්ෂිත ව බැඳ සකස් කරගත හොත් ඒ
විලේ ඇති ප්‍රසන්නභාවය ආරක්ෂා කරගන්නට පුළුවන. මේ අයුරින් ම අපේ සිත නැමැති පොකුණට
කෙලෙස් නැමැති අපිරිසිදු ජලය , ජරාව, මඬ එන්න නොදී ඉන්ද්‍රියයන් සංවර කරගත හොත් සිත
නැමැති පොකුණ ලස්සනට ප්‍රසන්නව තබා ගන්නට පුළුවනි.
- දීපා පෙරේරා |