[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සතහට සෙත සැලසූ දුකට වෙදාණෝ

සතහට සෙත සැලසූ දුකට වෙදාණෝ


රෝග වර්ග දෙකකි. කායික රෝග හා මානසික රෝග යනුවෙනි. වෛද්‍යවරුන් අතර ශ්‍රේෂ්ඨත ම මානසික වෛද්‍යවරයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය.

සිය එක ම පුතු වෙනුවෙන් උපන් දාරක ස්නේහයෙන් ළයෙහි, බුර බුරා නැඟෙන සෝ ගිනිදල්ලෙන් දැවි දැවී, නිසලව සිටින සිය පුතු සුවපත් කරදෙන මෙන් හඬා වැළපෙමින් බුදුහිමියන් වෙත ආ කිසාගෝතමියට උන්වහන්සේ අප්‍රමාණ ව කරුණාවන්ත වූහ. උන්වහන්සේ පිළියම් කළේ, ප්‍රතිකාර කළේ මිය ගිය පුතුට නොවේ. මිය ගිය පුතු නිසා රෝගී වූ මවට ය. විශේෂත්වය නම්, නැවතත් එවන් රෝග නො සෑදෙන තැනට ම ප්‍රතිකාර කිරීම ය. මනෝ විද්‍යාත්මක බවෙහි තිබෙන වැදගත්ක ම එය යි.

වර්තමානයේ උද්ගත වී ඇති භයානක කොරෝනා වයිරසය ඉදිරියේ ලෝකය හැසිරෙන ආකාරය අපි දුටුවෙමු. බටහිර ලෝකයට ධනය භෞතික සම්පත් ය. මානව සම්පතට එතරම් අගයක් නො වන්නේ ය. අපගේ ධනය මුදල නොවේ. මිනිසා රැකුණොත් ආර්ථිකය ගොඩනඟා ගත හැකි වන්නේ ය. ඒ නිසා ප්‍රමුඛත්වය දෙන්නේ මානව සම්පත රැක ගැනීමට ය. ඒ අපේ සුවිශේෂත්වය යි. සම්බුදු දහමට අනුව ‘සන්තුට්ඨි පරමං ධනං’ අපගේ පරම ධනය සතුට ය. ඒ සතුට සොයා යන ගමනේ ප්‍රමුඛත්වය හිමිවනුයේ ආධ්‍යාත්මික ගුණධර්ම සංවර්ධනය කෙරෙහි ය.

තමන් වහන්සේ වෛද්‍යවරයෙක් වන බව බුදුරජාණන් වහන්සේ ම එක් අවස්ථාවක ප්‍රකාශ කළහ. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ සුනක්ඛත්ත සූත්‍රයේ දී උන්වහන්සේ දේශනා කරන්නේ

“සුනක්ඛත්ත, මම සම්මා සම්බුද්ධ පමණක් නොවෙමි. මම වෛද්‍යවරයෙක්මි. එපමණක් ද නොවේ.

මම ශල්‍ය වෛද්‍යවරයෙක් ද වෙමි.” යනුවෙනි. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන්නේ ගැඹුරු ධර්මය, ගැඹුරින් දේශනා කළාට තේරුම් ගත නොහැකි බැවිනි. උන්වහන්සේ අනුගමනය කළ පිළිවෙත ජනවහරේ වචන, ජන සමාජයේ ක්‍රියාකාරකම් උපමාවට ගනිමින් ධර්මය පැහැදිලි කිරීම ය. සරලව කියන දෙයින් සාමාන්‍ය මිනිසුන්ට ගැඹුරෙන් කියන කරුණු තේරුම් ගත හැකි විය.

මෙහිදීත් බුදුරජාණන් වහන්සේ එසේ ධර්ම කරුණු ධාරණය කරවීම සිදු කළේ කතාවක් උපයෝගී කරගෙන ය.

එක් මිනිසෙක් සතුරන්ගේ හී පහරකට ලක්වුණි. හිතවත්තු වෛද්‍යවරයකු කැඳවූහ. වෛද්‍යවරයා ශල්‍ය කර්මයකින් රෝගියාගේ විෂ ඉවත් කළේ ය. රෝගියා සුවපත් වුණි. එහෙත් වෛද්‍යවරයා ඔහුට තවත් උපදෙස් දුන්නේ ය. නැවත විෂ මතු නො වීම සඳහා ය. ඒ අපත්‍ය ආහාර ගැනීමෙන් වැළකීම ය. එළිමහනේ සුළං වදින තැන්වල නො සිටීම ය. එසේ වුවහොත් දුහුවිලි ආදිය ගැටී නැවත විෂ මතුවීමට පුළුවන් බැවිනි. එහෙත් රෝගියා වෛද්‍ය උපදෙස් පිළිගත්තේ නැත. එහෙයින් මරණයට පත්විය.

මෙලෙස ම තවත් පුද්ගලයෙකුට සතුරෙකු විසින් හීයක් විදිනු ලබයි. ඔහුට ද වෛද්‍යවරයෙකු කැඳවයි.ප්‍රතිකාර කරයි. සුවපත් වෙයි. වෛද්‍යවරයා තවත් පෙරකී රෝගියාට සේ ම මොහුට ද උපදෙස් ලබා දෙයි. ඔහු ඒවා අකුරට පිළිපැද සම්පූර්ණ සුවය ලබයි.

බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන ලද්දේ අපගේ සිත්තුළ ඇති රාග, ද්වේෂ, මෝහාදී විෂ දාන, ශීල, භාවනා නම් ඖෂධවලින් ඉවත්කර හරින බවයි. එවිට ඒ විෂ නැවත මතු නොවේ. උන්වහන්සේගේ ධර්මය නමැති ඖෂධය පානය කිරීම තුළින් ම තමයි මේ රෝග මුළුමනින් ම උදුරා දැමිය හැකි වන්නේ, නැවත මතු නො වන ලෙස. ඒ නිවන ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෙස අප ලබන්නා වූ පරම ලාභය නිරෝගී බවයි. අපගේ සෑම කටයුත්තක් ම සාර්ථකව ඉටු කර ගන්නට නම්, නිරෝගී බව අත්‍යවශ්‍ය ය. එය ශාරීරිකව වගේ ම මානසික ව ද තිබිය යුත්තකි.

‘ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාසා පරමා ඤාති
නිබ්බානං පරමං සුඛං

මේ ගාථාවෙන් ගම්‍ය වන්නේ ඉතාම වටිනා පණිවුඩයකි.

ශාරීරික නිරෝගී බව අවශ්‍ය ය. මානසික නිරෝගී බව, සතුට අවශ්‍ය යබුදුරජාණන් වහන්සේ සෑම මොහොතක ම අපේක්ෂා කළේ තම ශ්‍රාවක පිරිස නිරෝගීව සිටිනු දැකීමට ය. ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා හා සමාන යැයි ඇතැම් අය සම්පූර්ණයෙන් ම වැරැදි අර්ථකතනයක් කරති. ඒ උත්තම බුදුරජාණන් වහන්සේට රෝගියෙක් සමාන කරන්නේ කෙසේද? ‘යො භික්ඛවේ මං උපට්ඨහ්‍යෙය සො ගිලානං උපට්ඨහ්‍යෙය’ යනුවෙන් මහා වග්ග පාලියේ සඳහන් වේ.

‘මහණෙනි, යම් කිසිවෙක් මගේ අනුශාසනා පිළිගෙන කටයුතු කරන්නේ නම් ඔහු ගිලනාට, රෝගියාට උපස්ථාන කරන්නෙකි. යන්න එහි නිවැරැදි අර්ථය යි.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි එක් විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමක් උදරාබාධයක් වැළඳී මළ මුත්‍ර ගොඩෙහි ම වැතිර සිටියහ. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ විහාර චාරිකාවේ වැඩම කළහ. ඒ භික්ෂුව දුටු බුදුරජාණන් වහන්සේ “ඔබට වැළඳී තිබෙන රෝගය කුමක් ද? උපස්ථාන කරන්නට කිසිවෙක් නොවේද?”යි විමසූහ.

තමන් අනෙක් අයට උපස්ථාන නො කළ නිසා මේ දුක්බර තත්ත්වය උදා වූ බව ඒ භික්ෂුව කීය. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ම දෑතින් ජලය වත් කොට, ඒ භික්ෂුව පිරිසුදු කළහ. උන්වහන්සේ ඒ භික්ෂුවගේ හිස පැත්තෙන් අල්ලා, අනෙක් හාමුදුරුවරු පා පැත්තෙන් අල්ලා ඇඳක සැතපවූහ. මේ අවස්ථාව මොන තරම් සංවේදී ද? එහිදී බුදුරජාණන් වහන්සේ අනෙක් භික්ෂූන් වහන්සේ අමතා දේශනා කළේ ‘මහණෙනි, නුඹලාට දැන් මව්පියන් නැත. නුඹලා ඔවුනොවුන්ට උපස්ථාන කර ගන්නවා හැර වෙන කවරෙක් නම් උපස්ථාන කරන්න ද?” යනුවෙනි. මේ බුද්ධෝපදේශ අද අප මුහුණ දී සිටින රෝග තත්ත්වයන් හමුවේ ද අපට ලබාදෙන පණිවිඩය මොන තරම් වටිනවා ද? ඔවුනොවුන්ට ඇප උපකාර කරන්නට, ඔවුනොවුන් රැක බලා ගන්නට, එකිනෙකාගේ ආරක්ෂාව තහවුරු කරන්නට මේ දෙන පණිවිඩය මොන තරම් ප්‍රබල ද?

එමෙන් ම බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය වූයේ ගිලනුන්ට උපස්ථාන කිරීම ඇගයීමට ලක් කළා සේ ම රෝගයන්ගෙන් වැළකී සිටිය යුතු බවට ද අනුදැන වැදෑරීම ය. උපන් රෝගයට පිළියම් කිරීමට වඩා රෝග නූපදින අයුරින් හැසිරීම පවත්වා ගැනීමේ උපදේශය අද කො තරම් නම් ප්‍රායෝගික ද? රාජ්‍ය නායකත්වයේ සිට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිට ජනතාවට උපදෙස් දෙන්නේ රෝගයෙන් වැළකී සිටීමට ය. එසේ නො වැළකීම නිසා සමාජයට වන බරපතල හානිය ලෝකය පුරා මියයන දස දහස් ගණනින් වූ මිනිස් ජීවිතවලින් ම පැහැදිලි ය.

සරල ජීවිතයක, වටිනාකම අන් කවරදාටත් වඩා අද අපට දැනේ. අල්පේච්ඡතාවය අගය කළ බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේට අනුදැන වදාළේ දවසකට එක් වේලක් වැළඳීම යි. නිරෝගී බව, ආබාධ අවම වීම, සිරුරේ සැහැල්ලු ගතිය, පහසු විහරණය ආදී බොහෝ යහපත් ප්‍රතිඵල එයින් ළඟාකරගත හැකිඒ වගේ ම භික්ෂූන් ය.වහන්සේට අනුදැන වදාළ වත් පිළිවෙත් ගිහියාට ද අනුගමනය කළ හැකි ය. ආචාරශීලී බවට, සෞඛ්‍ය සම්පන්න බවට, ජීවිතයේ ක්‍රමානුකූල බවට ගිහි පැවිදි භේදයක් නැත. බුදුරජාණන් වහන්සේගේ වැසිකිළියෙහි පහන් වනතුරු පහනක් දැල්වුණ බව සඳහන් ය. යම් සිදුවීමක් නිසා රාහුල පොඩිහාමුදුරුවන්ට ඒ වැසිකිළියේ රැයක් ගත කරන්නට සිදුවිය. එසේනම් එම වැසිකිළිය මොන තරම් පවිත්‍ර විය යුතු ද? අනුරාධපුර යුගයේ විහාරාරාමවල වැසිකිළි ආශි‍්‍රතව කළ කැටයම්, මල්කම්, ලියකම් කියාපාන්නේ ද ඒ වායෙහි පවිත්‍ර බව මොනතරම් ද යන්න යි. මේ කැටයම් නිසා කිසිවෙක් යෝග්‍ය තැන මිස, අයෝග්‍ය තැනක, බාහිර ව මළ මුත්‍ර බැහැර කරන්නේ නැත. ජල පරිභෝජනයේ දී ද උන්වහන්සේ වත් පිළිවෙත් සමූහයක් දේශනා කොට වදාළහ. පැවිදි සමාජයට සේ ම ගිහි සමාජයට ද මේවා ඉතා වටිනා උපදේශයන් ය. අද අප මුහුණ දෙන වසංගත රෝග මිනිසා විසින් ඒ උපදෙස් නො තකා සිදුකළ පාරිසරික විනාශයන්ගේ ප්‍රතිඵලය.

සම්බුදු දහම ලෞකික ජීවිතය සේ ම ලෝකෝත්තර ජීවිතය ද පිණිස ය.

ලෝක සත්ත්වයාගේ බව දුක නිවීම පිණිස ය. උන්වහන්සේගේ ධර්මයෙහි මූලික පරමාර්ථය, චතුරාර්ය සත්‍යය ඉගැන්වීමේ දී පෙන්නුම් කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක ලක්ෂණය රෝගය හඳුනා ගැනීම, රෝගයට හේතුව හඳුනා ගැනීම, රෝග නිවාරණය හඳුනා ගැනීම, රෝග නිවාරණයට අවශ්‍ය ප්‍රතිකාර හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ය. උන්වහන්සේ සත් හට වන බව දුකට වෙදාණන් වන්නේ එහෙයිනි.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]