[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප‍‍්‍රතිපදාවන් තුළින් ආධ්‍යාත්මික සුවය ලබමු - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා

ප‍‍්‍රතිපදාවන් තුළින් ආධ්‍යාත්මික සුවය ලබමු - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා

 

බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ දඹදිව විසාලා මහනුවර තුන්බියකින් ඇළලී ගිය බවත්, උන්වහන්සේගේ අනුශාසනා පරිදි කළ පරිත්‍රාණ දේශනයෙන් ව්‍යසනය දුරු වූ බවත්, බුදු දහමේ උගන්වන ප‍‍්‍රතිපදාවන් අනුගමනය කරමින් අපටද මේ වෙසක් සමයේ නිරෝගී සුවය සහ ආධ්‍යාත්මික සහනය අත්කර ගත හැකි බවත් විශ්වාස කරන්නේ යැයි උතුම් වෙසක් සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසා සිටී.

එම පණිවුඩයේ මෙසේද දැක් වේ.

අසිරිමත් සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය ලෝකවාසී මෙන්ම ශ්‍රී ලංකාවාසී සමස්ත බෞද්ධ ජනතාවගේ අතිඋතුම් ආගමික මංගල්‍යය සලකුණු කරයි. අප රටේ බොදු සැදැහැවත්හු අනාදිමත් කාලයක සිට බුද්ධාලම්භන ප‍‍්‍රීතියෙන් යුතුව, පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වෙමින් වෙසක් සමය ගත කරති. ලොව පුරා බොදුනුවනට සේම අපටද මෙවර වෙසක් උලෙළ නිමිත්තෙන් වත් පිළිවෙත් පිරීමට සිදුව ඇත්තේ මානව සංහතියම වසංගතයකට මුහුණ පා ඇති මොහොතකය. මෙබදු විපත් මිනිස් ඉතිහාසයේ විරල නැත.

පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් පැවැත්වීමට මහා සංඝරත්නයේ මඟ පෙන්වීම සහ ආශිර්වාදය ලැබී තිබේ. එබැවින් නිවසේ සිට සම්මා සම්බුදුරජාණන්වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාවෙන් යුතුව ආගමික වතාවත්හි නිරතවීමට අපට පිළිවන.

”තං ච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො
විපාකං පටිසෙවති”

”යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නොවේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටින් යුක්තව විඳීන්නේ ද, ඒ ක්‍රියාව කළ හැටි යෙහෙකි” යනුවෙන් ධම්මපදයේ එන ඉහත ගාථාවෙන් කියැවෙයි.

මේ වෙසක් සමයෙහි බුදුන් වහන්සේ දේශනා කළ පරිදි පසුතැවිල්ලට හේතු වන දේ නොකිරීමෙන් අපේ ඉදිරි මඟ යහපත්ව සකසා ගත හැකිය.

මේ ආපදාපන්න මොහොතේ බොදු වත් පිළිවෙත් සේම කොරෝනා නිවාරණ පිළිවෙත්ද පිළිපදිමින් රටත් ජනතාවත් සුවපත් කිරීමට අධිෂ්ඨාන කර ගනිමු. මෙවර වෙසක් මංගල්‍යය ශ්‍රී ලංකා වාසීන්ගේත්, ලෝවැසි ජනයාගෙත් නිදුක් නිරෝගී දිවියට හා ආධ්‍යාත්මික සැපතට හේතු වේවායි ප්‍රාර්ථනා කරමි.

 වෙසක් පුර පසළොස්වක පෝය 

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 06 වනදා බදාදා අපරභාග 07.44 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 07 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය 14 වනදා
බ්‍රහස්පතින්දා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

First Quarterපුර අටවක

මැයි 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]