බුදු සිරිත මනසට නඟමු
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ජීවත්වීම යනු මුළුමණින් ම අභියෝගවලට මුහුණ දීමකි. එය උපතේ සිට මරණය දක්වා බැඳී
පවතී. දරුවෙකු බිහි කිරීම, උපන් දරුවා ලෙඩ දුක්වලින් බේරාගැනීම, පෝෂණය කිරීම, දැනුම
ලබා දීම ආදිය පමණක් නොව ඔහු අසත්පුරුෂ ඇසුරින් මුදවා යහපතෙහි යෙදවීම ආදී වශයෙන්
මිනිසෙකුගේ බාල අවදිය සම්බන්ධයෙන් පවතින අභියෝග රාශියකි.
එසේම තුරුණු වියට පත් වූ කල්හි විවාහ ජීවිතය, වෘත්තිය හා සමාජ වගකීම් ආදිය සමඟ ද
බැඳුණු අභියෝග රැසකි. මහලු වියට පත් වූ කල කාංසිය, පාළුව, රෝගාබාධ හා මරණය පිළිබඳ
අභියෝග සමුදායකි.
මෙසේ බලන කල්හි ජීවත්වීම යනු අභියෝග සමඟ කෙරෙන ගනුදෙනුවකි. අභියෝග දිනූ කල්හි සතුට
හා සොම්නස ද එය අර්බුදයක් වූ කල්හි අසතුට හා කළකිරීම ද මිනිසා වැළඳ ගනී. මේ
හැරුණුවිට මෙකල පවතින කොවිඩ් 19 වසංගතය වැනි ව්‍යසනාපන්න අවස්ථාවන් ද මිනිසා මුහුණ
දෙන්නා වූ දරුණු අභියෝගයන් වේ.
උකටලීබව
අභියෝග හමුවේ අකම්පිත ව ඒවා ජය ගැනීමේ නොවරදින මඟ ලොවට හෙළිකළ ලොව උතුමාණන් වහන්සේ
නම් බුදුරජාණන් වහන්සේ ම ය. උන්වහන්සේ ජීවිත ගැටලුවලට සාර්ථක ව මුහුණ දුන් ආකාරය
බුද්ධ චරිතයෙන් මෙන්ම උන්වහන්සේගේ දේශනාවන්ගෙන් ද පැහැදිලි වේ. ජාතක කථාවන්හි
දැක්වෙන පරිදි එබඳු අවස්ථා අපමණ වේ. වරක් ගැල්නායකයෙකු ලෙස ක්‍රියාකළ අවස්ථාවක දී
පන්සීයක් පමණ වූ තම පිරිස සමඟ මරු කතරක දී ජලය හා ආහාර අවසන් වීමෙන් මාරාන්තික
අභියෝගයකට මුහුණ දුන්හ. එහිදී සියලු දෙනා එකී අභියෝගයට ප්‍රතිචාර දැක්වූයේ එකිනෙකාට
ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ජීවිතාශාව අතහැර දමා ගැල් යටට වී නිදා ගැනීමෙනි.
බෝසතාණන් වහන්සේ තමා තනිවම බිම කැණ ගැඹුරු වළක් හෑරූහ. එහිදී මහත් ගලක් මතුවිය. ඒ
මත්තෙහි කන තබා සිය සාම්ප්‍රදායික ඥානය මෙහෙයවා ජලය ඇති බව දත් බෝසතාණන් වහන්සේ
සෙසු පිරිස දිරිමත් කොට ගල බිඳ ජලය මතු කොට සියලු දෙනාගේ ජීවිත සුරක්ෂිත කළහ.
මෙයින් පැහැදිලි වන්නේ අභියෝගයක් පැමිණි කල අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරනු විනා
උකටලී වී කල්පනා නිමග්න ව කාලය ගෙවීම ප්‍රතික්‍රියාව නොවන බවයි.
අභියෝග තේරුම් ගැනීම
බුදුන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පැවැත්වූ තම පළමු ධර්ම දේශනාවෙන්ම පැහැදිලි කළ
කරුණ වන්නේ ද මෙයයි. ජීවිතයේ ලැබෙන අභියෝග රාශියකි. ඒවා ඉපදීම, වියපත්වීම, ලෙඩවීම
යනාදී විසින් ඒවා අනේක විධ වේ. ඒවා දුක යනුවෙන් අප විසින් හඳුනාගනු ලැබේ. පළමුවෙන්ම
අවබෝධ කොට ගත යුතු වන්නේ එය දුකක් බව හෝ අභියෝගයක් බව තේරුම් ගැනීම ය. දෙවනුව එයට
හේතුව විශ්ලේෂණාත්මකව දැන ගත යුතු ය. තෙවනුව එය නැති කර ගැනීමේ වටිනාකමත් අවසාන
වශයෙන් ඒ සඳහා ඇති ක්‍රමවේදයත් හඳුනා ගනිමින් ක්‍රියාකළ යුතු ය. ලෞකික අලෞකික
කවරාකාර වූ හෝ අභියෝගයක් සම්බන්ධයෙන් මෙය යථාර්ථයක් වේ.
පිළියම් නොසෙවීම
කොරෝනා වයිරසය මුළු ලෝකයටම අභියෝගයක් වී ඇති ආකාරය සිතන්න. දහස් ගණන් මිනිසුන් මෙම
අභියෝගය හමුවේ අසරණව මිය යන බව අපි දකිමු. සමහරු මෙම අභියෝගයට විසඳුම් සොයනු වෙනුවට
එය බුදු දහමේ උගන්වනු ලබන කර්මයට පවරා පිළියම් අත්හරිනු ලබන අවස්ථා ද අපි දකිමු.
එහෙත් බුදුදහම අනුව මුළුමහත් විශ්වයේ සියලු අභියෝගයන්ට හේතු දෙකක් ඇත. ඉන් එකක්
ස්වභාවික හේතු වන අතර අනෙක සදාචාරමය හේතු වේ. කොවිඩ් 19 වසංගතය, සුනාමි ව්‍යසනය,
භූමිකම්පා, ජලගැලීම්, අකුණු, සුළිකුණාටු යනාදී දේ අන්‍යොන්‍ය ලෙස ප්‍රතිබද්ධ
විශ්වීය සංසිද්ධීන් හා ක්‍රියා නිසා ස්වභාවිකව හටගන්නා දේවල් ය. වැසි කාලයේ ඇඟට
සීතල දැනීම පෙර කර්මයක් නොවේ. අප හොඳ වුවත් නරක වුවත් එයට මුහුණ දීමට සිදුවේ. ඒ
සඳහා අප විසින් කළහැක්කක් නැත. දෛවයට පැවරීම ධර්මය නොවේ. මෙබඳු ස්වභාවික අභියෝග
ජයගැනීම සඳහා බුද්ධිය මෙහෙයවා ස්වභාවික සංසිද්ධීන්ට අවනත වී ප්‍රතික්‍රියා
දැක්වීමෙන් ක්‍රියා කළයුතු බව බුදුදහම පෙන්වා දෙයි. නිදසුනක් ලෙස මුඛාවරණ පැළඳීම,
දූරස්ත සමාජ සංසරණය, විෂබීජ හරණය යනාදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රම වත්මන් වසංගතය
පිටුදැකීමේ ක්‍රමය ලෙස අපට කියා දී ඇත. බුදුරජාණන් වහන්සේ මෙකී විනය පුරුදු
භික්ෂූන් වහන්සේලාට නියම කොට ඇත්තේ මෙබඳු ව්‍යසනයන් පිටුදැකීමේ උපාය මාර්ගයක්
වශයෙනි. කෑම බීම්, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන් ආදිය පිළිබඳ බුදුරදුන් වදාළ දේ ඉහත කී
කරුණ සනාථ කරනු ඇත. එබැවින් ස්වභාවික විපතක දී කළයුතු දේ කරනු විනා ඒවා කර්මයට හෝ
දෛවයට පවරාදීම ධර්මය නොවේ.
සදාචාරමය හේතු හා ඵල යනු මිනිසා සිතන, කථාකරන හා ක්‍රියාකරන ආකාරය (කර්ම) නිසා
ඇතිවන ප්‍රතිඵල (කර්මවිපාක) අත්විඳීන ආකාරයයි. කොරෝනා වසංගතයෙන් ජයගැනීම සඳහා
මිනිසුන් ක්‍රියා කරන ආකාරය ගැන සිතන්න. වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා වෙනත් බොහෝ අය
තම ජීවිත ද නොසලකා සියලු ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නීති රීති රකිමින් වෙනත්
මිනිසුන් මරණින් ගළවා ගැනීමටත්, ඔවුන්ගේ කුසගිනි නිවීමටත්, සිත් සැනසවීමටත් තම සිත
කය වචන මෙහෙයවති. ඒ නිසාම ලක්ෂ සංඛ්‍යාත ගණනක් මිනිස්සු මරණින් බේරෙති. ඒ අතර තවත්
සමහරෙක් නපුරු ලෙස සිතා, තම කායික හා වාග් ශක්තිය ද මෙහෙයවා ක්‍රියා කිරීමට (අකුසල
කර්ම) රුචි කරති. ඒ අනුව මත් පැන් පෙරති. තැන තැන අවිදිමින් රෝගය පතුරුවති. කූට
වෙළදාම් කරති. සරලව විසඳාගත හැකි ගැටලු වෙනුවෙන් කෑකෝ ගසමින් වෛරය පතුරුවති. එහි
ප්‍රතිඵලයක් ලෙස සියල්ලෝ විපතෙහි වැටෙති. මෙබඳු වූවෝ මෙලොව නොයෙක් ව්‍යසනයන්ට මෙන්ම
පරලොව දුගති කරා ද යති. අකුසල කර්ම විපාක ලෙස එය ඉගැන්වේ.
බුද්ධිය මෙහෙයවීම
බුදුදහම අනුව මෙබඳු ව්‍යසනවලින් අප ලබන කායික වේදනාවන් ස්වභාවික හේතු නිසා හටගැනෙන
අතර ඒවාට අප ප්‍රතික්‍රියා දක්වන ආකාරය අනුව කර්ම සිදුවේ. කර්ම විපාක අත්විඳීමට
සිදුවනුයේ අප දක්වන ප්‍රතික්‍රියාවේ ධනාත්මක හෝ ඍණාත්මත බව අනුව ය. අප විසින්
තේරුම්ගත යුතු කරුණක් ඇත. එනම් සියල්ල කර්මයට නො පැවරිය යුතු බව ය. බුදුන් වහන්සේ
මජ්ක්‍ධිම නිකායේ දේවදහ සූත්‍රයෙහි එසේ සිතීම (සබ්බං තං පුබ්බෙකතහෙතු) බුදුදහම නොවන
බවත් එය මිථ්‍යාදෘෂ්ටියක් බවත් පෙන්වා දුන්හ. එසේම සංයුත්තනිකායේ සීවක සූත්‍රයේදී
මෙබඳු ස්වභාවික හේතු නිසා (ඔපක්කමිකානි) ලෙඩ දුක්, හිරිහැර, කරදරවලට මුහුණ දීමට
සිදුවන බවත් පෙන්වා දුන්හ. එබැවින් අප විසින් තේරුම් ගත යුතු වන්නේ අභියෝග ඉදිරියේ
දී අවබෝධයෙන් හා සංයමයෙන් ක්‍රියාකිරීමේ අවශ්‍යතාව බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා
දී ඇති බවයි.
ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පැමිණීම සඳහා සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ ලෞකික වූ ද
අලෞකික වූ ද අපමණ අභියෝගයන්ට මුහුණදුන් ආකාරයම මනසට නැඟිය හැකි ප්‍රබල කරුණකි.
ස්වභාවික සංසිද්ධීන් නිසා පමණක් නොව මිනිස් වර්ගයාගෙන් ද, දිව්‍ය මාර සේනාවන්ගෙන් ද
උන්වහන්සේට අපමණ බාධක පැමිණියේ ය. එහෙත් උන්වහන්සේගේ රෝම කූපයකුදු කම්පා කිරීමට ඒ
කිසිවකට නොහැකි විය. සියල්ල කරුණාව, මෛත්‍රිය, හා බුද්ධිය මෙහෙයවා උන්වහන්සේ
ජයගත්හ. එපමණක් නොව ලොව සදාතනික අභියෝග ජය ගැනීමේ මඟ බුද්ධිමතුන් ඉදිරියේ විවර කොට
තැබූහ. එබැවින් ව්‍යසනාපන්න අවස්ථාවෙහි බුදුසිරිත මනසට නගමු. අභියෝගයට දිරිමත්ව
මුහුණ දෙමු. |