පරිසරයයි අවුරුද්දයි
දෙකටන, රජහේන
ගුණසිරි සදහම් නිකේතනයේ අනුශාසක
ජාතික අධ්‍යාපන ආයතනයේ කථීකාචාර්ය
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
පරිසරය අපට සියල්ල දෙයි, ඒ කිසිදු වර්ගීකරණයක් නොකර සියලූ දෙනාටයි. පරිසරයට එරෙහිව
අප කටයුතු කළොත් පරිසරය අපට ද
දඩුවම් කරයි. අද මුළු මහත් ලෝකයම සුසුම්ලමින් ජීවිත අවදානමකට ලක්ව, භුක්ති විඳින්නේ
මිනිසා පරිසරයට කරන ලද හානියේ ප‍්‍රතිඵල නොවේදැයි යළි යළිත් සිතා බැලිය යුතුය
එරබදු මල් හිනැහෙනවා
රබන්් සුරල් හැඩ වෙනවා
කොවුල් නාද පැතිරෙනවා
අවුරුද්දත් එළඹෙනවා
මේ බක් මාසයයි. බක් මාසය අපට විශේෂයෙන් වැදගත් වෙන්නේ සිංහල හා දෙමළ අවුරුද්ද
උදාවෙන නිසයි. ලෝකය පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික කොවිඞ් 19 රෝගය නිසා, අපට ද
නිවෙස්වලට වී සිටීමට සිදුව තිබේ ඉහත කවියෙන් දැක්වෙන්නේ අවුරුද්ද සමීප වන විට,
පරිසරයේ ඇතිවන සූදානමයි.
ඔබ මා පමණක් නොව ලොව හැම දෙනාම යහපත් පරිසරයක් බලාපොරොත්තු වෙති. එසේම පරිසරය
හැමදෙනාගේම ජීවිත වලට ඍජුවම බලපාන බවද බොහෝ දෙනා දනිති. නොගැලපෙන පරිසරය පුද්ගලයාගේ
පරිහානියට බලපාන අතර, යහපත් පරිසරය හැම අතින්ම දියුණුව කෙරෙහි බලපායි. මිනිසාට
පරිසරය එතරමටම බලපෑමක් ඇති කළත්, මිනිසා පරිසරය යහපත් කරලීමට හා සුරක්ෂිත කිරීමට
දක්වන සැලකිල්ල හා උනන්¥ව ප‍්‍රමාණවත්ද?
පරිසරය යන වචනය ඉතා පුළුල් ක්ෂේ්ත‍්‍රයක් ආවරණය වන පරිදි විග‍්‍රහ කළ යුත්තකි. මේ
පිළිබඳ දීර්ඝ හැඳින්වීමක් වෙබ්ස්ටර්ගේ අන්තර්ජාතික ශඛ්ද කෝෂයේ දැක්වෙයි. සාරාංශ
වශයෙන් එය මෙසේ දැක්විය හැකිය. සත්වයාගේ ජීවත්වීම හා වර්ධනය කෙරෙහි බලපවත්වන සියලූ
බාහිර සාධක සහ බලවේගයන්ගේ සමුච්චය හෙවත් එකතුව, පරිසරය ලෙස අර්ථ දැක්විය හැකිය. එය
මූලික වශයෙන් භෞතික, සමාජයීය හා ජීව විද්‍යාත්මක යනුවෙන් කොටස් කර ගත හැකිය. මෙහි
භෞතික පරිසරයට පස, දේශගුණය ආදිය ද, සමාජයීය පරිසරයට මිනිස් ක‍්‍රියාකාරකම් නිසා
උද්ගත වන සියල්ල ද, ජීව විද්‍යාත්මක පරිසරයට ස්වාභාවික ශාක වර්ග හා සත්ත්ව විශේෂයන්
ද ඇතුළත් වෙයි. සමාජ පරිසරය නැවත කොටස් කීපයකට බෙදා ගත හැකිය. ඒ අනුව ගොඩනැගිලි,
මහාමාර්ග, උපකරණ ආදිය සමාජ භෞතික පරිසරය වශයෙනුත්, හීලෑ කරගත් සතුන් හා හදා වඩාගත්
ශාක, සමාජ ජීව විද්‍යාත්මක පරිසරය වශයෙන් ද දැක්විය හැකි බවයි. එමෙන්ම මිනිස්
චර්යා, ආචාර ධර්ම, භාෂාව ආදිය සමාජ මනෝ විද්‍යාත්මක පරිසරය වශයෙන් ද එහි දැක්වෙයි.
බුදු සමයට අනුව පරිසරය ලෙස සැලකෙන්නේ, භෞතික පරිසරය, ජීවමය පරිසරය, සමාජමය පරිසරය
හා භෞතික ශරීරයයි. ඒ අනුව බෞද්ධ නිර්වචනය, මුලින් දක්වන ලද අර්ථ දැක්වීමට වඩා
පුළුල් බවක් පෙන්වන්නේ, ඊට භෞතික ශරීරය ද ඇතුළත් කිරීම නිසයි.
පරිසරය පුද්ගලයාගේ දියුණුවට මෙන්ම පරිහානියට ද හේතු වෙන එක් සාධකයක් බව, බුදු සමය
පිළිගනී. බෝසත් අවස්ථාවේදී ගයා ශීර්ෂයට පැමිණි තමන්ට, එහි තිබුණු රමණීය භූමියත්,
ප‍්‍රසාද ජනක වන ලැහැබත්, ගලා බසින ගංගාවත් ඒ වගේම හාත්පස ගොදුරු ගමෙනුත් සමන්විත
පරිසරය, ප‍්‍රධාන වීර්යය වැඞීමට යෝග්‍ය පරිසරයකැයි හැඟුණු බව, බුදු රජාණන් වහන්සේම
අරිය පරියේසන සූත‍්‍රයේ දක්වති. භාවනා කිරීම පිණිස කිමිකාලා නදිය අසබඩ පිහිටි රමණීය
අඹ වනයට යාමට මේඝිය නම් තෙරුන් වහන්සේ, බුදු රජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියත්,
තථාගතයන් වහන්සේ ඊට අවසර නොදුන්හ. ඒ එකී පරිසරය අපේක්ෂිත පරමාර්ථය සපුරා ගැනීමට
යෝග්‍ය නොවන බව දැනගත් නිසයි. එහෙත් මේඝිය භික්ෂුව දෙතුන් වරක්ම ආයාචනාත්මකව තමන්ට
එහි යාමට ඉල්ලා සිටි නිසා අවසර ලබා දුන්හ. ටික කලක් එහි ගොස් භාවනා කළත්්
උන්වහන්සේට තම සිත එකඟ කර ගැනීමට නොහැකි වූ බැවින්, ආපසු එන්නට සිදුවිය. පුද්ගල
අපේක්ෂා සාධනයට හෝ නොවීමට පරිසරය කරන බලපෑම මෙයින් පැහැදිලි වෙයි.
මිනිසා දුක පිළිකෙව් කරයි. එහෙත් දුක ඔහුට උරුම වූවකි, එනිසා ඔහු ස්වභාව ධර්මය
එලෙසින්ම පිළි නොගෙන, සුදුසු පරිදි සකසා ගෙන වෙනස්කර, උපරිම ප‍්‍රයෝජන ගැනීමට අදහස්
කරයි. ඒ සඳහා කටයුතු කරයි. මිනිසා ලබාගෙන තිබෙන විද්‍යා හා තාක්ෂණික දැනුමත්, එහි
ව්‍යාප්තිය හා කාර්මික විප්ලවයත්, පරිසරය කෙරෙහි මිනිසාගේ බලපෑම වැඩි කිරීමට
හේතුවිය. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔහු ගොඩ නඟාගත් පරිසරය, ස්වාභාවික පරිසරය සමග
ගැටීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් පරිසරයේ තුල්‍යතාව අවුල් වී යාමෙන්, පාරිසරක ගැටලූ
මතුවිය. මිනිසුන් පරිසරය පිළිබඳ අවධානය යොමු කිරීමට පෙළඹුණේ එයින් පසුව ය.
යහපත් පරිසරයක් නැති තැන, මිනිසාට ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි බව වටහා ගත්
බුදුරජාණන් වහන්සේ, සිය චරිතය තුළිින් මෙන්ම දේශනාවෙන් ද පරිසරයේ ඇති වටිනාකම මෙන්ම
පරිසරය ආරක්ෂා කර ගැනීමේ අගය ද ලොවට පෙන්වා වදාළහ. ජාතක පාලියේ ඇතුළත් මේ දේශනාව ඊට
කදිම සාක්ෂියකි.
යස්ස රුක්ඛස්ස ඡුයාය
නිසීදෙය්‍ය සයෙය්‍ය වා
න තස්ස සාඛං භඤ්ජෙය්‍ය
මිත්ත දුඛ්භෝහි පාවකො
ගසක සෙවණෙහි හිඳගෙන හෝ නිදා ගෙන සිටි කෙනෙක්, ඒ ගසෙන් අත්තක් කැඞීම ද නොකළ යුතුය,
එසේ කැඩුවොත් ඔහු මිත‍්‍ර ද්‍රෝහියෙකි, පව් කාරයෙකි.
ස්වභාව ධර්මය මිනිසාගේ ප‍්‍රයෝජනය සඳහා මවන ලද්දක්යැයි කියමින්, සොබා දහම විනාශ කළ
සමාජයකට, ඔවුන්ගේ දෘෂ්ටියෙහි ඇති දෝෂය පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ, මිනිසාට
මෙන්ම අන් සතුනට ද මිහි තලය මත ජීවත්වීමේ අයිතිය ඇති බව මිනිසා තේරුම් ගත යුතු යැයි
ද පෙන්වා දුන්හ. සොබා දහමට සතුරු නොවී මිතුරු වීම තුළින්, මිනිසාට බියෙන් සැකෙන්
තොරව ජීවත්වීමට හැකි බව, මෙත්ත සූත‍්‍රයේ නිදානය තුළින්ම පසක් කළහ. එහි දැක්වෙන
පරිදි බවුන් වැඞීමට කැළයට ගිය ස්වාමින් වහන්සේලා, ගහ කොළ, සතා සිවුපාවා, ඇළ දොළ
ආදියට ආදරය කිරීමෙන්, මෙත් සිත පැතිරවීමෙන්ම, බියෙන් සැකෙන් තොරව තම අභිලාෂයන්
ඉටුකර ගත්හ
හැම දා පින් වැඩෙන පින්කම් ඇතුළත් කොට දේශනා කරන ලද, වනරෝප සූත‍්‍රයේද ඇතුළත්
වන්නේ, පරිසර සාධක කීපයකි. එහි දැක්වෙන්නේ, වතු උයන්වතු වැවීම, කැලෑ වැවීම, මාර්ග
සැකසීම, ජල පහසුව සැලසීම හා නිවාස තනාදීම හැමදා පින් වැඩෙන පින්කම් බවයි. වර්තමානයේ
යටිතල පහසුකම් සැපයීම, රුක් රෝපණය, මාර්ග සංවර්ධනය, පානීය ජල පහසුකම් සැපයීම හා
නිවාස ඉදි කිරීම යනුවෙන් හැඳින්වෙන්නේ එකී කරුණු කීපයයි. පරිසරය සංවර්ධනය කිරීම
නිති පින් වැඩෙන පින්කමක් බවත්, පරිසරය වැනසීම බරපතළ පාපයක් බවත් මෙයින් අවධාරණය
කෙරෙයි.
ලෝකය පුරා පැතිර පවත්නා කොවිඞ් 19 වසංගත තත්වය නිසා, දහස් ගණනකට ජීවිත අහිමිව තිබේ.
ලක්ෂ ගණනක් රෝගයෙන් පීඩා විඳිති. හැම දෙනාම බියෙන්, තැති ගැන්මෙන් පෙළෙති. මෙවැනි
අවාසනාවන්ත තත්ත්වයකට ලෝකයට මුහුණ පෑමට සිදුව ඇත්තේ, අන් කවරක් නිසාවත් නොව, මිනිසා
විසින් පරිසරයට කරන ලද හානියේ අතුරු ඵලයක් නොවන්නේද? ස්වභාව ධර්මයේ
ක‍්‍රියාකාරකම්වලට එරෙහිව ලෝකයේ රටවල්, එකිනෙකා පරයා තරගකාරීව නැගී සිටීමට ක‍්‍රියා
කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ දුහුවිල්ල, අධික දුමාරය හා විෂවායු වැනි දේවලින් වායු
ගෝලය දුෂණය වීමත්, මිනිසාට මෙන්ම සත්වයින්ටත් අහිතකර විෂ සහිත රසායන ද්‍රව්‍ය වැඩි
වැඩියෙන් ජලයට මුදා හැරීම නිසා ජල දුෂණයක් ඇතිවීමත්, රසායනික පොහොර භාවිතය තුළින්
පසෙහි ජීවත් වූ කෘමීහු විශාල වශයෙන් විනාශ වී යාමත්, වනගහනය විනාශ කර දැමීම හා මස්
මාංශ වලට ඇති ගිජු බව නිසාම ලක්ෂ ගණනින් සතුන්ගේ ජීවිත විනාශ කිරීමත්ය. පරිසරයට
දරාගත නොහැකි තරමට මිනිස් ක‍්‍රියාකාරකම් උග‍්‍ර වූ බව රහසක් නොවේ.
කොසොල් රජතුමා දුටු සිහින 16 ක් පිළිබඳව බෞද්ධ පොත් පත්වල සඳහන් වේ. එහි 10 වෙනි
සිහිනය හැටියට දැක්වෙන්නේ, පිසින ලද බත් හැළියක එක කොටසක් අමුයි, තව කොටසක් ඉදී
ඇත්තේ බාගෙටයි. තවත් කොටසක් හාල් වශයෙන්ම තිබේ. මේ හීනයේ ඵල විපාක ලෙස තථාගතයන්
වහන්සේ හෙලිකරන්නේ, අනාගතයේ ලෝකය පාලනය කරන පාලකයෝ ද ඔවුන්ගේ අනුගාමිකයෝ ද අධාර්මික
වෙති, හොරකමට යොමුවෙති, පොදු දේපළ විනාශ කරති, බොරුවෙන් රට පාලනය කරති, අල්ලස්
ගනිති, එනිසා දෙවියෝ ද කෝපවෙති. නිසි කලට අව් වැසි නොලැඛේ, භවභෝග පාළුවට යයි,
වසන්ගත රෝගාදිය පැතිර ගොස් ජනතාව පීඩාවට පත්කරමින් ගම් දනවු විනාශ වෙයි. මේ ඔබ දුටු
සිහිනයේ ප‍්‍රතිඵලය බවයි. මෙහි දැක්වෙන්නේ මිනිස් ක‍්‍රියාකාරකම්වල අනිසි ඵල වශයෙන්
ලෝකයේ මිනිසාටත් ජීවත්වීමට නොහැකි වාතාවරණයක් ගොඩ නැගෙන බවයි.
පරිසරය අපට සියල්ල දෙයි, ඒ කිසිදු වර්ගීකරණයක් නොකර සියලූ දෙනාටයි. පරිසරයට අප
එරෙහිව කටයුතු කළොත් පරිසරය අපට ද දඩුවම් කරයි. අද මුළු මහත් ලෝකයම සුසුම්ලමින්
ජීවිත අවදානමකට ලක්ව, භුක්ති විඳින්නේ මිනිසා පරිසරයට කරන ලද හානියේ ප‍්‍රතිඵල
නොවේදැයි යළි යළිත් සිතා බැලිය යුතුය.
සිංහල හා දෙමළ අවුරුද්ද පරිසරයත් සමග බැඳුණු සිරිත් විරිත් වලින් සමන්විත උත්සවයකි.
මෙවර හැම දෙනාටම තම පවුලේ සාමාජිකයින් සමග නිවසටම වී අවුරුදු සැමරීමට අවකාශ සැලසී
තිබේ. දෙමාපිය ¥දරු සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, අගහිඟකම් ඇති අයට උදව් කිරීමටත්
නැකතට පවුලේ හැම එකතුව ගෙවත්තේ එළවළු, පලතුරු පැළ සිටුවීමටත් යොදාගතහොත්, හැමදා
හැමෝටම අවුරුදු උදාවේවි. |