දහම සනාථ කළ සොබාදහමේ පාඩමක්
ප්‍රංශයේ ජේතවනාරාමාධිපති
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක
මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමි
සොබාදහමේ ස්වභාවික ක්‍රියාවලියට විෂම වූ දෑ මිනිසුන් අතින් සිදුවන විට සොබාදහමේ
සංයුතිය පුපුරා ගොස් එමගින් ලෝකයට අත්විඳින්නට වෙන්නේ
අතිශය අමිහිරි ප්‍රතිඵලයන්ය.
කොරෝනා වයිරසය නිසා ලෝකයේ රටවල් රැසක ජනතාව භීතියට පත්ව ඇති බව නොරහසක්. විශේෂයෙන්ම
යුරෝපයේ රටවල් රැසක ජනතාව මරණ බියෙන් ජීවත් වෙනවා. සල්ලි ජීවිතේම කියලා හිතපු
මිනිස්සු දැන් මුදල් ස්පර්ශ කරන්න පවා බය වෙලා. ඇමරිකාව හා යුරෝපය මිහිපිට ඇති
දිව්‍යලෝක සේ සිතූ මිනිස්සු අද ඒ දිව්‍යලෝකවලින් පණ බේරාගෙන එළියට පැන යන්නට පොර
කනවා. නවීන විද්‍යාව, බටහිර බෙහෙත් පෙත්තට මෙන්ම අතිනවීන බටහිර සෞඛ්‍යය සේවයට
සියල්ල කළ හැකි යැයි පුරසාරම් දෙඩූ මිනිස්සු අද ඇසට නොපෙනෙන සියුම් වයිරසයක්
ඉදිරියේ පරාජය වී අවසන් හුස්ම පොද රැක ගන්නට ප්‍රබල සටනක නිරත වෙලා. බණ අහන්න,
භාවනා කරන්න, පිනක් දහමක් කරන්න, මලක් පහනක් පුදන්න තියා හුස්ම ගන්නවත් වෙලාවක්
නැතැයි කියා මහා අවිවේකී ජීවන ගමනක හැල්මේ දිවූ මිනිසුන් අද හුස්ම ටික පරිස්සම්
කරගන්නට දවසේ වැඩි කාලයක් කැපකරනවා. සොබාදහම මේ සියල්ල නිහඬව බලා සිටී. නවීන
විද්‍යාව නමැති කෘෘර අවියෙන් සොබාදහම තළා පෙළා සිය අණසකට නතුකොට ගෙන සිරකර තබන්නට
වෙර දැරූ මිනිසා නමැති සිත්පිත් නැති සත්වයා සිරකර තබන්නට, නිවසට කොටුකර
තබන්නට,ලෝකයම තම අණසකට යටත් කරගන්නට සොබාදහම අද සමත් වී තිබෙනවා.
සොබාදහම මිනිසාට මෙලෙස සැලකුවේ අද ඊයේ නොවේ. මීට වසර 673කට පෙරත් යුරෝපය මෙවැනිම
දරුණු වසංගත තත්ත්වයටකට මුහුණදුන්නා. එදා යුරෝපය පුරාම පැතිරී ගිය මහාමාරිය වසංගතය
හඳුන්වනු ලැබුවේ කළුමරණය (Black Death) ලෙසයි. එහිදී යුරෝපයේ සිටි මිලියන 20ක ජනතාව
මිය ගිය නිසා එය ලෝක ඉතිහාසය තුළ ඇතිවුණු දරුණුම වසංගතයක් ලෙසින් සලකනු ලබනවා.
මහාමාරිය නම් රෝගය යර්සීනියාපෙස්ටිස් නම් කුඩා බැක්ටීරියාවක් මඟින් ආසාදනය වුණු
අතර, මීයන් මත වෙසෙන මැක්කන් විශේෂයක් උන්ගේ ප්‍රාථමික වාහකයා වුණා. එම මැක්කාට
බැක්ටීරියාව ආසාදනය වුණු විට උන්ගේ බඩවැල් එම බැක්ටීරියාවෙන් පිරී ගියත් මැක්කාට
ඉන් කිසිදු හානියක් වුණේ නැහැ. නමුත්, එලෙස බැක්ටීරියාව ආසාදනය වුණු මැක්කා තමා
වෙසෙන මීයාගේ ලේ උරාබීම ආරම්භ කළ විට උන්ගේ බඩවැල් බැක්ටීරියා වෙන් පිරී තිබීම
හේතුවෙන් උරා බිව් රුධිරය රඳවාගතනොහැකිව වමනය කරනු ලැබුවා. එම වමනය සමඟින් පිටතට
පැමිණි බැක්ටීරියාව, මැක්කා ලේ උරා බිව් සිදුරින් මීයාගේ සිරුර තුළට ඇතුළු වී මීයාව
ආසාදනය කළා. එලෙස ආසාදිත තත්ත්වයට පත්වුණු මීයා මත වෙසෙන සියලුම මැක්කන්ට සහ එම
මැක්කන් විසින් ලේ උරා බොන සියලුම මීයන්ටද රෝගයක්ෂණයෙන් වැළඳුණා. රෝගය වැළඳීමෙන්
ටික දිනකට පසුව ආසාදිත මීයා මියයාමෙන් පසුව මැක්කා ආදේශකයක් ලෙස මිනිසා සොයා ගියා.
මැක්කා මිනිස් ලේ උරා බීමේදීද ඉහත ක්‍රියාවලියම සිදුවුණු නිසා රෝගය මිනිසාට
ඉක්මනින්ම ආසාදනය වුණා. එම අවදියේ මෙම රෝගයේ රෝගකාරකයා මීයන් සහ ඔවුන්ගේ සිරුරුවල
සිටි මැක්කන් බව සොයාගෙන තිබුණත්, පසු කලෙක මේ පිළිබඳව අධ්‍යයනය කළ ඔස්ලෝ සහ ෆෙරාරා
විශ්වවිද්‍යාලයන්හි පර්යේෂක කණ්ඩායමක් පවසා සිටියේ; මිනිස් සිරුරුවල සිටි උකුණන් සහ
මැක්කන් වැනි පරපෝෂිත සතුන්ද මෙම වසංගතයට විශාල හේතුවක් වුණු බවයි.අදාළ බැක්ටීරියාව
මිනිස්සිරුරට ඇතුළු වී දින 2-7 අතර කාලයක් ගතවන විට රෝග ලක්ෂණ මතුවීම ආරම්භ වුණා.
එහිදී වසා පද්ධතිය ආසාදනය වීම නිසා පළමුව ඉකිලි සහ කිහිලි ප්‍රදේශවල සියුම් ගෙඩි හට
ගනු ලැබුවා. ඉන් පසුව ක්‍රමයෙන් විශාල වුණු එම ගෙඩිවල සැරව පිරීමෙන් පසුව පුපුරායාම
නිසා මහා තුවාල බවට පත් වුණා. එලෙස තුවාල සෑදී ටික දිනකට පසුව අධික ලෙස ලේ වමනය
ගොස් මිනිසුන් මිය යාම බියුනෝනික මහාමාරිය ලෙසින් හැඳින්වුණා.
එලෙස රෝගයට ගොදුරු වුණු පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයේද අදාළ බැක්ටීරියාවන් වාසයකළා.
එමනිසාම බැක්ටීරියාව කෙළ බිඳිති මඟින් හෝ කැස්සත් සමඟ අවට සිටින සියලුම දෙනා වෙත
පැතිර යාම භයානක තත්ත්වයක් බවට පත් වුණා. එලෙස කෙළ බිඳිති මඟින් රෝගය ආසාදනය වුණු
විට එම පුද්ගලයා මත සැරව ගෙඩි හට නොගත් අතර, උග්‍ර කැස්සක් පමණක් අඛණ්ඩව පැවතුණා.
එලෙස දිගින් දිගටම පැවති කැස්ස උත්සන්න වීමෙන් පසුව කැස්සත් සමඟ ලේ පිටව ගිය
මහාමාරිය රෝග ප්‍රභේදය නියුමෝනික මහාමාරිය ලෙසින් හැඳින්වුණා. එම මහාමාරිය ප්‍රභේද
දෙකටම වඩාවඩාත් දරුණු වුණේ සෙප්ටිසීමික මහාමාරියයි. එහිදී රෝගය වැළඳුණු පුද්ගලයාගේ
රුධිර සංසරණ පද්ධතිය බැක්ටීරියාවෙන් පිරීපැවතුණු නිසා ඇඟිලි සහ කකුල් කළුපැහැයට
හැරී පණපිටින් සිටියදීම කුණු වී හැලීයාම වේදනාත්මක සිදුවීමක් වුණා. එලෙස විශාල
වේදනාවකට මුහුණදෙන ආසාදිත පුද්ගලයා දින කිහිපයකින් මරණයට පත්වන විට කළු ගැසී කුණු
වී විරූපී තත්ත්වයකට පත්ව සිටි නිසා මෙම මහා වසංගතය කළු මරණය ලෙසින් හැඳින්වුණා.
මෙම වසංගතය උපත ලබා ඇත්තේ ද චීනයේයි. ඉන්පසුව චීනයේ සිට නෞකා 12ක් කළු මුහුද හරහා
ගොස් ඉතාලියේ සිසිලි වරායට ඇතුළු වුණා.
එලෙස ගමන් කළ වෙළඳ නෞකාවල සිටි මීයන් සහ මැස්සන් මඟින් මෙම දරුණු වසංගතය යුරෝපයට
ඇතුළු වුණු බවට මතයක් පවතිනවා.එදා මෙම වසංගතය ඉතාලියට ඇතුළු වීමෙන් පසුව මුළු
යුරෝපය පුරාම පැතිරී ගියේ ඉතාමත් වේගයෙන්. ඉතාලියට ඇතුළු වුණු වසංගතය ඉතාලියේ සිට
වයඹට සංක්‍රමණය වී පිළිවෙළින් ප්‍රංශය, ස්පාඤ්ඤය, හා පෘතුගාලය යන රටවල් ගිලගනු
ලැබුවා. ඉන් නොනැවතුණු මෙම වසංගතය එංගලන්තය හා ස්කොට්ලන්තයද විනාශ කරමින් ජර්මනිය
හරහා ස්කැන්ඩිනේවියානු රටවල් වෙතටද පැතිරීගියා. එලෙස සමස්ත යුරෝපයම භීතියට පත් කළ
මෙම වසංගතය 1350 වසර වනවිට මිලියන 20 කට දිවි අහිමි කරමින් සමස්ත යුරෝපයම අකර්මණ්‍ය
කරන්නට සමත් වුණා. මේ හා සමානවම ලෝකයට සුවිශාල බලපෑමක් කළ තවත් වසංගතයක් උතුරු
ඇමරිකා මහද්වීපයට අයත් රටක් වන මෙක්සිකෝවේදී 16 වැනි සියවසේදී පැතිරී ගියා. ඉතාමත්
දරුණු ලෙස මෙක්සිකෝව පුරා පැතිරී ගිය මෙම වසංගතය නිසා වසර 56ක් තුළ මිනිසුන් මිලියන
20-25 අතර පිරිසක් මරණයට පත්වුණා. එහිදී මෙක්සිකෝවේ සිටි සමස්ත ජනගහනයෙන් 80%කට වඩා
මිය යාම ඉතාමත්ම කනගාටුදායක සිදුවීමක් වුණා. සොබාදහම මිනිසාට උරුම කර දුන් අතීත රෝග
විපත් පිළිබඳ මෙහිදී දීර්ඝව කරුණු ගෙනහැර දැක්වූයේ අද ලෝකයම සලිත කර ව්‍යාප්ත වන
මාරාන්තික කොරෝනා වයිරසයේ බියකරු බව වඩාත් තහවුරු කිරීමටය.
සොබාදහමේ ස්වභාවික ක්‍රියාවලියට විෂම වූ දෑ මිනිසුන් අතින් සිදුවන විට සොබාදහමේ
සංයුතිය පුපුරා ගොස් එමගින් ලෝකයට අත්විඳින්නට වෙන්නේ අතිශය අමිහිරි ප්‍රතිඵලයන්ය.
කලින් කලට ලොව පුරා පැතිරී යන වසංගතයන් ඊට කදිම නිදසුන්ය. බුදුරජාණන් වහන්සේ
අංගුත්තර නිකායේ ධම්මික සූත්‍රයෙන් පෙන්වා වදාළේ සොබාදහමේ කුරිරු හැසිරීමට
පුද්ගලානුබද්ධ ක්‍රියාදාමයන් ඍජුව බලපාන බවයි.
එදා මෙදා තුළ මනු සතා කළ කී බොහෝ දෑ සොබාදහමෙන් අපට උරුම කරදෙන මේ ව්‍යසනයන්ට මුල්
හේතුව වූ බව සිතා සොබාදහම ඉක්මවා නොයන්නට දැන් කාලය එළඹී ඇති බව සැමදෙනා සිතට ගත
යුතු කරුණකි. එනිසා අපි ගතින් මෙන්ම සිතින් ද සොබාදහමට ඇලුම් කරමු. යහපත් සිතුවිලි
වාතලයට මුසුකරමු. සතාසිවුපාවට ද මෙත් සිත පතුරවමු. මේ අසීරු අවදානම් අවස්ථාවේදී අප
එකිනෙකාගේ ජීවිත ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත් වෙමු. රටේ සම්මත නීති අණපනත්වලට
කීකරු ලැබූ මේ දිගුකාලීන විවේකය අනර්ථය පිණිස නොයොදා අර්ථවත් කායික මානසික විවේකයක්
සඳහා යොදවමු. |