ස්වභාවිකව ලැබුණු ප්‍රතිශක්තිය
අපට අහිමි වුණේ ඇයි
මැලේසියාවේ
ප්‍රධාන සංඝනායක
සෙන්තුල් ශ්‍රී ලංකා බුඩිස්ට් ටේම්පල් විහාරාධිපති හා
මහා කරුණා පදනමේ අධ්යක්ෂ
බූටාවත්තේ සරණංකර නා හිමි
කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය මේ වන විට ලෝකයටම විශාල ගැටලුවක්ව ඇති රෝගයකි.
චීනයෙන් ඇරැඹි මේ වසංගතය අද වන විට ලෝකය පුරා ව්‍යාප්ත වීමට හේතු සාධක වූයේ
මිනිසාගේ ක්‍රියාකාරකම් බව අමුතුවෙන් පැවසිය යුත්තක්ද නොවේ. මේ අවස්ථාවේදී අප ඒ
සඳහා මුහුණ දිය යුත්තේ කෙසේද යන්න හා ඉදිරියේදී මෙවන් වසංගත රෝග තත්ත්වයකට අප මුහුණ
දිය යුත්තේ කෙසේද යන්න ගැන පවා අප අවබෝධයෙන් කටයුතු කළ යුතු වේ.
විශේෂයෙන්ම අප මේ අවස්ථාවේ අවබෝධ කරගත යුත්තේ ලෝකයේ දියුණු යැයි සම්මත රටවලට පවා මේ
රෝගය පාලනය කර ගැන්ම විශාල ගැටලුවක් වූයේ ඇයිද යන්න සම්බන්ධවයි. ශ්‍රී ලංකාවේ වුවද
දිනකට රෝගීන් දෙතුන් සියයක් බැගින් වාර්තා වන්නට වුවහොත් එය පාලනය කර ගැනීම අපහසු
වන බව මෙහිදී පෙන්වා දිය යුතුයි. එයට ප්‍රධාන හේතුව මේ වයිරසය රෝගය සුව කිරීමට මේ
දක්වා ස්ථිර ඖෂධයක් නොමැති වීමයි.
වසර 2500කට පෙර බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් පරිදි මේ සඳහා අප කළ යුත්තේ
මනසින් නොවැටී සිටීම මෙන්ම සැම විටම අදාළ විශේෂඥ උපදෙස් පිළිපැදීමයි. වෛද්‍යවරුන්ගේ
මතය වන්නේද ඕනෑම රෝගයක් පාලනය කර ගැන්මට ඖෂධ කෙතරම් උපකාරී වුවත් රෝග සුවවීමට මනස
නිරවුල්ව තබා ගැනීම හේතු සාධක වන බවයි. ඇතැම් දරුණු අසනීප පවා සුව කර ගැන්මට මානසික
ඒකාග්‍රතාවය බෙහෙවින් ඉවහල් වන බවත් මෙහිදී පෙන්වා දිය යුතුයි.
තුන් වේලෙන් දෙවේලක් ප්‍රමාණවත්
එසේම ආසියාතික රටවල් දේශීය ආහාර පාන අනුව නිරෝගීභාවය රැක ගත් බවත් මෙහිදී පෙන්වා
දිය යුතු වේ. ඒ අතුරින් ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවැතගෙන ආ දේශීය ආහාර පාන රටාවෙන්
ස්වයංවම ප්‍රතිශක්තියක් ජනතාවට ලැබුණු බවද අප අවබෝධ කර ගත යුතුය. අද පෙරුම්කායම්,
වෙනිවැල්ගැට, කොත්තමල්ලි, ඉඟුරු සොයමින් අප දිවයන්නේ ඇයි? වෙනදා බිම වැටී තිබුණත්
අතින්වත් අල්ලන්නේ නැතුව කොස්සෙන් අතු ගා දමන වෙනිවැල්ගැට කැබැලි අද ඇතැමුන් ආරක්ෂා
කරන්නේ රන් අභරණ ආරක්ෂා කරන ලෙසින් වීම තුළින්ම අපට මේ තත්ත්වය වටහා ගත හැකිය.
අතීතයේ සිට අප කොත්තමල්ලි, බෙලිමල්, පොල්පලා ඖෂධ ලෙසින් නොව උදය සවස පානයන් ලෙසින්
එක් කරගත් බව අපගේ අතීතයේ ජන ජීවිත තුළින් පැහැදිලි වේ. එමෙන්ම ආහාරයට කොත්තමල්ලි,
සුදුළූණු, සූදුරු, මහදුරු, ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කර ගත්තේ ආහාරයේ රසටත් වඩා
ඒ තුළින් ලැබුණු ප්‍රතිශක්තිය නිසයි. ගැමියන් විද්‍යාඥයන් පෝෂණවේදීන් නොවුණත් ඔවුන්
එදා දේශීය ආහාර ලබා ගත්තේත් කුළුබඩු ඒ සඳහා යොදා ගත්තේත් ඒ තුළින් ලද ශක්තිය නිසයි.
විශේෂයෙන්ම සරල ආහාර රටාවකට හුරු වී සිටි හෙයින් නිරෝගී දිවියක් ගත කරන්නට හැකියාවද
ලැබුණි. එහෙත් අද බහුතරයක් ක්ෂණික ආහාරවලට හුරුවීම තුළින් සිදුවූයේ ස්වභාවිකවම අපට
ලැබුණු ඒ ප්‍රතිශක්තිය අපට අහිමි වීමයි.
සුදුසු දේ පමණක් අනුගමනය කරන්න
ශ්‍රී ලංකාවේ මෙන්ම චීන පාරම්පරික වෛද්‍යවරුන් පවා අද පිළි ගන්නේ තේ වැනි
පානයන්ගෙන් මෙවන් වසංගත රෝගයන් සඳහා ප්‍රතිශක්තිය ලැබුණු බවයි.
අද බටහිර රටවල් විසින් විවිධ පර්යේෂණ සිදු කර අපේ දේශීය ඖෂධයන්හි අඩංගු ගුණ
අන්තර්ජාලය හරහා පළ කළ විට ශ්‍රී ලංකාවේ ජනතාවත් එම පානයන් සදහා හුරුවීම අරඹා තිබේ.
සීතල වතුර පානය පවා අතීතයේ සිට දේශීය ජනතාව අනුමත කළ දෙයක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රී
ලාංකීය ජනතාව උණුවතුර පානය අගය කළ බවද මෙහිදී සිහිපත් කළ යුතුය.
අද ලෝකයේ කොවිඩ් 19 රෝගයට පවා උණුවතුර පානය අනුමත කර තිබීමෙන්ම එහි අගය වටහා ගත
හැකිය.
මේ ලෙසින් අපට තේරුම් ගත හැක්කේ තේරුම් ගත යුත්තේ ආහාර රටාවද ලෝකයේ ඕනෑම රටක
ජනතාවකගේ සෞඛ්‍ය කෙරෙහි බලපාන බවයි. ආහාර රටාව මෙන්ම ප්‍රමාණය ගැනත් අප අවබෝධ කරගත
යුතුය. බුදුරජාණන් වහන්සේ විසින්ද දේශනා කර වදාළේ තවත් ආහාර පිඬු කිහිපයක් ගැනීමට
හැකියාව තිබියදී ආහාර ගැනීම නැවැත්වීමෙන් නිරෝගී සිරුරක් පවත්වා ගත හැකි බවයි.
එමෙන්ම ආහාර වේල් කිහිපයක් නොලැබුණත් ජීවිතයට එයින් කිසිදු හානියක් සිදු නොවේ.
වසර 25කට පමණ පෙර මැලේසියාවේ හයිලන්ඩ් නැමැති කුළුණක් කඩා වැටුණි. එම කොන්ක්‍රීට්
තට්ටුවලට යට වී සිටි අයෙක් දින 6කට පමණ පසුව සොයා ගත් අතර ඔහුගේ දිවි රැක ගැන්මද
අසීරු නොවීය. එයින් අපට තේරුම් යන්නේ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ පරිදි යම්
අයකුට දින කිහිපයක් හෝ නිරාහාරව සිටිය හැකි බවයි.
මේ අවස්ථාවේ ලෝකයේ සියලුම ජනතාව විසින් කළ හැකි, කළ යුතු ප්‍රධාන කාර්යයක් ලෙස ආහාර
පාලනයද තිබෙන බව අවබෝධ කර ගත යුතුය. විශේෂයෙන්ම තුන්වේලම වෙනුවට වේල් දෙකක් ගැනීමට
පුරුදු වනවා නම් ඒ හරහා ශරීරයට සැලකිය යුතු සුවයක්ද ලැබෙන අතර ආහාර අඩුවෙන්
ගැනීමෙන් ඉතාම සෞඛ්‍ය සම්පන්නව කටයුතු කළ හැකිය.
ශ්‍රී ලංකාවේ ජනතාව රෝගීවන්නේ ආහාර අඩු වීම නිසා නොව ආහාර වැඩියෙන් ගැනීම නිසා බව
වෛද්‍යවරුන් විසින්ද පෙන්වා දී ඇත.
මස් මාංශ භාවිතයද යම් ප්‍රමාණයකින් හෝ අඩු කිරීමද මෙහිදී යම් ආකාරයක නිරෝගී සිරුරකට
ඉවහල් වනු ඇත. බුදුරජාණන් වහන්සේ විසින් අනුභව නොකළ යුතු ලෙස දක්වන ලද මාංශ ඇතුළුව
මාංශ වැඩියෙන් අනුභවය චීන ජනතාව විසින් සිදු කිරීම යම් අයුරකින් හෝ රෝග ව්‍යාප්තියට
හේතු වන්නට ඇති නමුත් චීන ජනතාව ඒ ආහාර රටාවට හුරු වී ඇත්තේ අද ඊයේ නොවන බවද අප
අමතක නොකළ යුතුයි.
කෙසේ වුවත් ඇතැමුන් පණ පිටින් වානරයන්ගේ ගෙළ සිඳ එයට වයින් දමා රුධිරයද සමග පානය
කිරීම වැනි ඉතාම අශිෂ්ට ආකාරයේ කටයුතු සිදු කරනු ලබන අතර ඒ අවස්ථාවේදී එම
සත්ත්වයන්ගේ වේදනාවෙන් හටගන්නා ටොක්සීන වයිරසයක් වී ශරීරයට එකතු වීමට ඉඩ ඇති බව
වෛද්‍ය මතයද වී තිබේ. එම නිසා එම මාංශ අනුභවය සම්බන්ධයෙන්ද අප මෙහිදී ආපසු හැරී
අවධානයෙන් බැලිය යුතුය.
ගෝලීය වශයෙන් සිදුව ඇති මේ වසංගත තත්ත්වයටද අප විසින් සිදු කළ යුත්තේ පරිසරයට අනුගත
ලෙසින් දිවි ගෙවීම බව මෙහිදී පෙන්වා දිය යුතු වේ. අද වුවද අපට නාගරික
විහාරස්ථානයන්හි හා ගම්බදට වන්නට ඇති විහාරස්ථානයන්හි සිටින විට ඇතිවන මානසික
හැඟීම, කුරුල්ලන් වැනි සතුන්ගේ හඬ නිසා ඇතිවන මානසික තෘප්තිය ගැන අපට අමුතුවෙන්
වටහා දිය යුතු නැත. පාරිසරික වෙනස ඉතා පැහැදිලිය.
වර්තමානයේ ඇතැම් පුද්ගලයින් උදෑසනම නිවසන් එළියට බැස තණකොළ පාගමින් ගමන් කරනු අපට
දක්නට ලැබේ. අතීතයේ ගැමියන් පාවහන් නොපළඳිමින් ගමන් කිරීම නිසා දෙපා පොළොවේ ගැටීම
නිසා ස්නායු නිසි පරිදි ක්‍රියාකරමින් ශරීර සෞඛ්‍ය නිසි පරිදි පවත්වා ගැනීමට විශාල
පිටිවහලක් විය.
එහෙත් අද පාවහන් නොගලවන තත්වයට පත්ව ඇති ඇතැම් අයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතා බලන්න.
භාවනාවද මෙහිදී අපට දීර්ඝායුෂ මෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවියකට වඩාත් උපකාරී වේ.
ගෝලීය වශයෙන් වුවද සියලු ලෝකවාසීන් සිදු කළ යුත්තේද තම රටේ දේශීයත්වයට අනුව කටයුතු
කිරීමයි. අනෙක් රටක සංස්කෘතිය හෝ පාරිසරික සාධක ඔස්සේ යාම අපට සුදුසු වන්නේ නම්
පමණක් අප අනුගමනය කළ යුතුය.
එම නිසා අපට හුරු උරුමයට අනුව අප කල් ගෙවන්නේ නම් කුමන හෝ වසංගත තත්ත්වයකට අපට
මුහුණ දිය හැකිය. එහිදී ඒ පිළිබදව දැනුම ඇති විශේෂඥයන් විසින් ලබා දෙන උපදෙස්ද අප
පිළිගත යුතු වේ.
සංවාදය - තාරක වික්‍රමසේකර |