දුරුතු අමාවක 2020.01.24
ධර්මා ලෝකය ලබමු
මූසිකා සූත්‍ර දේශනය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ සතරවන නිපාතයේ ය. පාලියෙන්
“මූසිකා” සිංහලයෙන් ‘මීයා’ ය. බුදුරජාණන් වහන්සේ මූසිකා සූත්‍රයේ දී මීයන් වර්ග
සතරකට බෙදා දක්වා ඇත.
සමහර මීයෝ තමන්ටම යැයි මී ගුලක් සාදා ගනිති. එහෙත් එහි විසීමක් නොවේ. ඒ පළමු වර්ගය
යි.
තවත් පිරිසක් තමන්ටම යැයි ගුලක් නොහදති. කොතැනක හෝ ජීවත්වෙති. ඒ දෙවැනි වර්ගයයි.
තෙවැනි කොටසට අයත් මීයෝ ගුල් නොහදති. ජීවත් වන්නෝ ද නොවෙති.
සිව්වැන්නෝ තමන්ටම යැයි ගුලක් සාදති. එහි ම සුවසේ ජීවත්වෙති.
“මූසිකා” නම් අපට ඉතා හුරු පුරුදු සත්ත්ව විශේෂයකි. මේ සුලබ සතා උපමාවට ගනිමින්
තථාගතයන් වහන්සේ මේ සමාජය ගැන අපූර්ව විවරණයක් ලබා දෙයි. තම තමන් ගැන හොඳින් විමසා
බලා, තමන් කවර කොටසකට අයත් දැයි දැන ජීවිතය නිවැරැදි කර ගන්නට එය ඉතා ප්‍රයෝජනවත්
ය.
බුදුරජාණන් වහන්සේ මීයන් කොටස් සතරකට බෙදා දැක්වූවා සේ මේ මිනිස් සමාජය ද කොටස්
සතරකට බෙදා දැක්වූහ. එහි දී උන්වහන්සේ මී ‘ගුල’ උපමා කළේ ධර්මයට ය.
සමහර මිනිසුන් ධර්මය හොඳින් ඉගෙන ගනිති. බණ දහම් ශ්‍රවණය කරති. කියවති. ධර්මය
පිළිබඳ මනා දැනුමකින් යුතු වෙති. එහෙත් දහම නොපිළිපදිති. ඒ එක් කොටසකි.
තවත් පිරිසක් ධර්මය ගැන නොදනිති. ඉගෙනීමක් ද නැත. එහෙත් ඔවුන්ගේ පැවැත්ම ධර්මානුකූල
ය.
තවත් පිරිසක් වෙති. ඔවුහු ධර්මය නොදනිති. ඉගෙනුම ද නොලබති. ධාර්මික පැවතුම් ඇත්තෝ ද
නොවෙති.
අනෙක් පිරිස ධර්මය මනාව දනිති. දැහැමි ව දිවි ගෙවති.
මේ අපූර්ව උපමාව අපගේ ජීවිතයට මොන තරම් වැදගත් ද? ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්
ශ්‍රවණය කරන්නට ලැබෙන, ඉතාමත් පුණ්‍යවන්ත කාලයකය අප ජීවත් වන්නේ. පුන පුනා එය
සිහිපත් කරන්නේ නිරන්තරයෙන් සිහි තබා ගන්නටය. ධර්මය දැන, ඉගෙන ඒ මග ගමන් කරන
පුණ්‍යවන්තයෝ බොහෝ වෙති. ඔවුහු තමන්ට හිත වූවෝ ය. අනුන්ට ද හිත වූවෝ ය. අවෛරී ය.
කාරුණික ය. මුදිතා ගුණ ඇත්තෝ ය. අටලෝ දහමෙහි කම්පා නොවන්නෝ ය. ලෝ තතු මනාව දැන
ජීවිතය හසුරුවන්නෝ ය. සම්බුදු දහමේ පරම සුවය වන උතුම් නිවන් මග ප්‍රාර්ථනා කරන්නෝ
ය. සමාජය සුගන්ධවත් කරන්නේ ද, ආදර්ශවත් වන්නේ ද ඒ උතුම් මිනිසුන් ම ය. ඔවුහු ඝණ
අන්ධකාරයේ දිදුළන පුන් සඳක් වැනි ය. සෞම්‍ය ය සිසිලස. රැයෙහි බිය දනවන, අනතුරු
උපදවන ඝණ අන්ධකාරය බඳු මනුෂ්‍යයෝ ද වෙති. ධර්මය මනාව දැන ඉගෙන හොඳ ධර්මාවබෝධයක්
තිබුණ ද, ඔවුහු ඒ උතුම් සදහම් මග නොයති. දැනුම වදනට ය. නැතිනම් පෙනුමට ය. හැසිරීම
රෞද්‍ර ය. සිතිවිලි දරුණු ය. එහෙයින් ම තමන් දැවී, අනුන්ද දවති. දහම් දැනුමෙහි
කොතරම් දක්ෂ වුව ද එවැන්නන්ට අත්වන ප්‍රයෝජනයක් නැත. උතුම් නිවන්මඟ ඔවුන්ට බොහෝ දුර
ය .
නිරන්තරයෙන් සදහම් ශ්‍රවණය වුව ද, මිනිසුන් දහම් මගට ප්‍රවිශ්ඨ වී සිටිනවා යැයි
පෙනුණ ද සමාජයේ අධාර්මික පිරිස් බහුලයැයි කෙනෙක් අර්ථගන්වන්නේ මේ නිසා ය.
සුපසන් ආලෝකය අප ඉදිරියේ ම ඇත. ඒ ධර්මාලෝකය යි. අඳුරේ අතපත නොගා ඒ ආලෝකය වෙත යන්නට
පමා නොවිය යුතු ය. සදහම් ශ්‍රවණයෙන්, කියවා දැන ඉගෙන ගැනීමෙන් ලබන ධර්මාවබෝධය
ජීවිතයට ප්‍රායෝගික කරගත යුතුව ඇත.
මේ මනුසත් බව ලැබුණේ සසරේ කළ මහා පුණ්‍ය මහිමයකට ය. මිනිසුන් ලෙස අප කළ යුතු ඒ
පුණ්‍ය ශක්තිය තව තවත් වැඩිදියුණු කර සසර මග කෙටි කර ගන්නවා විනා සිතින්, කයින් ,
වචනයෙන් අකුසල් කොට, පව්කම් කොට සතර අපාගත වීමට මග පාදා ගැනීම නොවේ.
කෙනෙකුගේ ගමන් මග, දෙලොව රැකවරණය තවත් කෙනකුට තීරණය කළ නොහැකි ය. තමන් යන මග තෝරාගත
යුතු තමන් ම ය. ඒ මග සදහම් මග ය.
‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි’ ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරනු ලබයි.
අපි ඒ සදහම් මග දැන යමු. |