[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් දම් ගොතන්නා සේ කුසල් දම් කළ යුතුය

මල් දම් ගොතන්නා සේ කුසල් දම් කළ යුතුය

යථාපි පුප්ඵරාසිම්හා
කයිරා මාලා ගුණේ බහු,
එවං ජාතෙන මචෙචන
කත්තබ්බං කුසලං බහුං”

ධම්මපද ගාථා අංක 53 (සිවුවන පුෂ්ප වර්ගයේ 10 ගාථාව)

“දක්ෂ මල්කරුවෙකු (නෙළාගත්) මල් රැසකින් බොහෝ මල් දම් ගොතන්නේ යම් සේ ද , (මනුලොව) උපන් මිනිසා විසින් කළ යුත්තේ බොහෝ කුසල් ම ය.

යථාඅපි – යම් සේ, පුප්ඵරාසිම්හ – මල් රැසකින් (එබඳු මල් රැසකින් මල් මාලා ගොතා පල ලබනු කැමැති (දක්ෂ) මල්කරු ඒවායින් තැලුණු, පෙති හැලුණු, නැටි කැඩුණු හා සුවඳින්, පැහැයෙන්, හැඩෙන් වටිනාකමින් අඩු මල් තෝරා ඉවත් කොට සුවඳවත් සිත් අලවන වටිනා දෑසමන්, බෝලිද්ද, තුවරල, සපු, දුනුකේ, කොඳ ආදී මල් තෝරා

බහුමාලගුණෙ- බොහෝ මල් මාලා

කයිරා- ගොතන්නේ ය.

එවං ජාතෙන මචෙවන එමෙන් මිනිස් ලොව උපන් මිනිසා විසින් කළයුත්තේ පව්, දුරු කරමින් බොහෝ කුසල් ම ය. (තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව අපි මනුසත් බව ලබා ඇත්තේ ඒ සඳහා වෙමු. අපි ඉපිද ඇත්තේ “අෂ්ට දුෂ්ට ක්ෂණ” ධර්මයකින් මිදී වෙමු. මේ නපුරු අටය අවස්ථාවගෙන් මුදවා මිනිස් මවු කුසයකට අප ආවේ පෙර ද අපි පින්කර ඇති හෙයින් වෙමු. එහෙයින් පිනෙන් උපන් අපි පින් ම කළ යුතු වෙමු. මේ මනුලොව හැර පහසුවෙන් පින් කළ හැකි වෙනත් එකදු ලෝකයක් සක්වළ නැත. මේ සක්වළ අපේ ධර්මය අනුව ලෝක 31 ක් තිබේ. පෙර ජාතිවල කළ පිනෙන් අපේ උපත සිදුවීමේ දී වළක්වා ගෙන ඇති නපුරු අවස්ථා අට කවරේ ද? 1.නරකය (නිරයේ 136 කි) 2. පේ‍්‍රතලොව (7 කි) 3. තිරිසන් ලොව ඉපදීමෙන් වළක්වා ඇත. 4.සසර දීර්ඝ ආයුෂ ඇති සතර අරූප ලෝක හා බඹලොව අසංඥතලයෙහි ඉපදීම, 5.මෙලොව තුනුරුවන් නැති ප්‍රත්‍යන්ත දේශයක ඉපදීම 6.අංගවිකල උත්පත්තියක් ලැබීම 7.බලවත් මිථ්‍යා දෘෂ්ටික මව් කුසයකට යාම, 8.සද්ධර්මය නැති අබුද්ධෝත්පත්ති කාලයක ඉපදීම වළක්වා අපි මේ මව්කුසයට ආවෙමු. එහෙයින් පිනෙහි කුසලයෙහි නොයෙදෙන්නෝ මනුෂ්‍යයන් විය නොහැක.

බහුං කුසලං කත්තබ්බං ( බොහෝ කුසල කුළ යුතු ය. (ධර්මයේ ගැඹුරට ගියවිට පෙනෙනුයේ පින්කම් ද නොකරන්නහුට කුසල් ද කළ නොහැකි බව ය.

පින්කම් කරන්නා මනුෂ්‍යත්වයට සුදුස්සෙකු වේ. මේ සුදුසුකම ලබන්නේ දස පුණ්‍ය ක්‍රියාවෙහි බැඳීමෙනි. 1. දීමට පුරුද්දක් නැත්තේ ද ? ඔහු මනුෂ්‍යයකු නොවේ. (දාන) 2. කය, වචනය හික්මවා නො ගත්තෙක් මනුෂ්‍යකමට සුදුසු නැත. (සීල) 3. සිතිවිලි හා සිත සංවර කර නො ගත්තෙකු (භාවනා) 4. යහපත් දෙය ඇසීමට රුචියක් නැත්තා (බණ කීම) 5.තමා යහපතෙහි හැසිරෙමින් අන් අය ද යහපත්හු කිරීමට උත්සාහ කිරීම (බණ කීම) 6. හොඳ වැඩක් කිරීමේ දී තම ඤාති මිත්‍රාදීන් ද සම්බන්ධ කරවා ගෙන සතුටු කරවීම, (පින්දීම) 7.එවන් අවස්ථාවක දී ඊර්ෂ්‍යාවෙන් තොරව හැකි අයුරින් උදව් කොට තමා කළ යහපත් ක්‍රියාවක් සේ තම සිත සතුටු කර ගැනීම (පින් අනුමෝදන් වීම) 8. උපස්ථාන කළ යුතු යමෙක් වේ ද, කරුණා සිතින් එසේ කිරීම 9.තම කුලයේ ජ්‍යෙෂ්ඨයන් වූ මව් පිය /වැඩිහිටි පැවිදි උතුමන් පිදීම හා 10.අයහපත් සිතිවිලි, ක්‍රියාකාරකම්වලින් මිදීම (මිථ්‍යාදෘෂ්ඨියෙන් මිදීම) මේ පින් කරන්නහු දස අකුසලින් මිදෙයි . දස කුසලයෙහි හැසිරීමට සුදුස්සෙක් වේ.

විශාඛා මහා උපාසිකා කථා වස්තුව

පඤ්ච කල්‍යාණයෙන් හෙබි විශාඛා තරුණ සිටු කුමරිය රථයේ නැගී ආපසු මාලිගාවට යද්දී ඒ පිටුපසින් බමුණෝ ද ගියහ. ධනඤ්ජය සිටුතුමා බමුණන් දැක ආ ගිය සියලු තොරතුරු විමසා දුවගේ කැමැත්ත ලැබූ පුණ්‍යවර්ධන සිටු කුමාරයා හා මිගාර පිය මහ සිටුවරයා ගැන ද විස්තර ඇසූහ. වත්කම් අතින් අසමාන වුවත්, තම දුවට ආරක්ෂාව ලැබේ නම්, එය ප්‍රමාණවත් යයි කියා හා බමුණන් නවතාගෙන ආගන්තුක සත්කාර ඉහළින් ම කොට පිටත්කර හැරියේ ය. ඉතා සතුටින් මිගාර සිටු හමුවට ආ බමුණෝ සියලු විස්තර කී හ. ධනඤ්ජය සිටු මහා ධන සිටුවරයෙකුයි දැන සිටි මිගාර සිටු ඉක්මනින් ලේලිය තම නිවසට කැඳවා ගෙන ඒ මේ සිතින් කොසොල් රජුට පළමුව ම ගොස් දැන් වී ය. රජු ද, මේ මහා කුලය මවිසින් බිම්සර රජුගෙන් ලබා ගෙන සාකේත නුවර පදිංචි කරවූ කුලගෙයයි කියමින් ඔබගේ මඟුල් පෙරහරට මමත්, එන්නෙමියි දැන් විය.

එසේම වූහ. සාකේතයට අඩ යොදුනක් තිබිය දී කොසොල් රජු මිගාර සිටු සහිත මහ පෙරහර ආ බව ධනඤ්ජය සිටුහට දන්වා යැවූ විට අවශ්‍ය සියලු පහසුකම් ඔවුනට සලස්වා දුව කැඳවා ඒ පිරිස සිටු මාලිගය ආ විට කළ යුතු ආගන්තුක සත්කාර සංවිධාන කරන ලෙස පැවැරී ය. ඇය ඉතාමත් මැනවින් සේවකයන් යොදවා සියල්ල සූදානම් කළාය. ධනඤ්ජය පිය සිටු ද මෙදින රන්කාසි,රිදී,මුතු, මැණික්, පබලු, පළිගු යොදා තම දුවගේ ගෙල පළඳවාලීමට සුදුසු මේල පළඳනාවක් (මහාලතා පසාධනභණෙඩත) සෑදීමට රන්කරුවන්ට නියම කළේ ය. මේ පළඳනාව හිස පැළැදිවිට මුළු සිරුරම වැසී දෙපා උඩුපතුල තෙක් වැටෙයි. (මෙයට අටුවාවේ බොහෝ විස්තර ඇත.) මෙය විශාඛාවන් කාශ්‍යප බුදුරදුන් දවස දහසක් භික්ෂූන් ට සිවුරු පිණිස රෙදි , නූල්, ඉදිකටු හා පඬු පූජා කළ පිනේ ආනිශංස වේ. එදා ද මැය කිකී රජුගේ දියණිය කි.

මංගල්‍යයේ සියලු කටයුතු අති උත්කර්ෂවත් අන්දමින් කුලසිරිත් නො ඉක්මවා සිදු විය. නැවත දායාද වශයෙන් මගේ දුවට කිසිදු අඩුපාඩුවක් නො වන ලෙසින් රන් කහවනු පිරවූ කරත්ත පන්සියයක් රන් බඳුන්, රිදී බඳුන්, පටස, කසීසළු, ගිතෙල් බඳුන්, හැල් සහල් පිරවූ හා නගුල් හීවැල් උදළුතල, දෑකැති පැටවූ කරත්ත පන්සියයක් පන්සියයක් බැගින් සිටුතුමාට දුන්නේ ය. (දෑවැදි දීමේ විස්තර ද තව බොහෝ ය) මෙයට පෙරදා තම කාමරයට දුව ගෙන්වා ළඟාකරවා ගෙන “දුව නුඹ හෙට සිට ස්වාමිකුලයක වසන්නියක් බව සිත තබා ගෙන මෙසේ හැසිරිය යුතුය යි දස අවවාදයක් ද දුනි.

1.ඇතුළත ගිනි කිසිදා පිටතට නො දෙනු. (මාමා, නැන්දම්මා, ස්වාමියාගේ වරද වේ නම් ගෙන් ගෙට ගොස් නො කියන්න. ගෙය ගිනි ගනී) 2. පිටත ගිනි ඇතුළට නො ගන්න (කලින් තිදෙනා හා ගෙයි වසන අනෙක් අය ගැන පිට අය කියන දොස් වේ නම් නිහඬ වන්න නැතහොත් ගෙය ගිනි ගනී. ) 3. දෙන්නන්ට ම දෙන්න (ණයක් ලෙස යමක් දෙන්නේ නම් ආපසු දෙන අයට පමණක් දෙන්න) 4.නො දෙන්නන්ට නො දෙන්න. (එසේ ණය නො දෙන්නන්ට ආපසු නො දෙන්න) 5.දෙන්නහුටත්, නො දෙන්නහුටත් දෙන්න. (දිළිඳු නෑ මිතුරන් පැමිණ යමක් ඉල්ලූවිට ආපසු දුන්නත් නො දුන්නත් දෙන්න) 6. සුවසේ හිඳින්න (උතුමන් වැඩිහිටියන් ගැන සිතා නැවැත නො නැගිටිය යුතු තැනක වාඩි වෙන්න) 7.සුවසේ කෑ යුතුය. (ගෙදර වැඩිහිටි හා දැසි දස් ගැනැත් සොයා බලා ආහාර ගන්න) 8.සුවසේ නිදන්න. (නැන්දා, මාමා, ස්වාමියා වෙනුවෙන් කළ යුතු පිළිවෙත් සපුරා ගේ දොර පිරිසුදු කර දොරගුලු බලා හැමට පසුව නිදන්න) 9.ගිනි පුදන්න. (ගෙදර නැන්දා, මාමා, ස්වාමියා ගිනිකඳු සේ ය. සර්පයන් සේ ය සලකා ඔවුනට යටත්ව බිය සුලුව වාසය කරන්න) 10. ඇතුළත දෙවියෝ වඳින්න. (නැන්දා ,මාමා, සැමියා දෙවිවරු යයි සිතා ගරු සැලකිලි කරන්න)

මේ ඔවදන් පිළිපැද්ද විශාඛාවන්ගේ චරිතය තුළින් ලබා ගත් ප්‍රයෝජන රාශියක් මේ අටුවා කථාවේ දිගට කියැ වේ. ගිහි පැවිදි කලණ මිතුරන් හමුව දැනගන්නට උනන්දු වන්න. මිගාර සිටු පවුල මිථ්‍යා දෘෂ්ඨික ය. මේ මංගල්‍යය නිමිතිකොට මිගාර සිටු ද සිටු ගෙදරට ආර්යයන් වහන්සේ කැඳවා දානයක් පිළියෙල කොට ලේලියටද පැමිණ රහතුන් වැඳ පින් සිදුකර ගන්න යයි කළ ඉල්ලීමට රහතුන් යයි ඇසූ විගසින් සතුටින් ඉදිරියට ආවේ නිර්වස්ත්‍රව හුන් ඔවුන් දැක ලජ්ජාවට පැමිණ ඔවුන්ට ගරහා ගෙට ගියා ය. එයින් උරණ වූ නග්නයෝ මහ සිටුට දොස් පවරා අදම ඇය නිවසින් එළවා දමන්න යයි කී විට ඇයගේ මහා ධන කුලය ගැන සිතමින් වූ වරදට කමාව අයැද සනසා යැවී ය.

දානෙන් පසු මිගාර සිටු අසුනෙක හිඳ රන් තැටියෙක කිරිබත් වළඳමින් සිටියේ විශාඛාවෝ පවන් සලන්නට වූවා ය. එවේලෙහි පිඬුසිඟා යන එක් ශ්‍රමණ නමක් මෙහි දොරකඩ වැඩසිටියේ සිටුවරයා නො දැක්කා සේ සිටියේ විශාඛා එය දැක නොඉවසිලිව “මගේ මාමණ්ඩි පෙර බත් කති. අන් තැනක් බලා වඩින්න” යයි කීවා ය. ඒ ඇසු දුටු තෙමේ දණ්ඩයෙන් පහර ලත් නයෙකු සේ කිපී වහා ගෙයින් පිටව යවයි ගුගුලේ ය. “පියාණන් වහන්ස, මා මෙහි ඔබලා ගෙන ආවේ ළිඳ ළඟ සිටි, දිය අදිමින් සිටි වැඩකාරියක් ලෙසින් නොව, මෙසේ කෑ මොරදුන් පමණින් මම නො යමි. මා අතින් වරදක් සිදුවී තිබේනම්, මෙවැනි අවස්ථාවක වරද, නිවැරැදි විනිශ්චයකට මගේ පියා බමුණන් අට දෙනෙකු එවා ඇත. ඔවුන්ගේ විනිශ්චයෙන් පසු මම යන්නෙමියි විශාඛාවෝ කීවා ය නඩුව ඇසූ හ.

ඉහත දස අවවාදය ද මිගාර සිටුගේ සැකයේ තිබි ඒවා ද වරහන් තුළ දක්වා ඇති පරිදි පැහැදිලි කරවා ගත්තෙන් මේ ළමයා තුළ වරදක් නැතිව තිබිය දී ඔබ ගෙයින් පන්නා දැමීම ට යෝජනා කළේ ඇයිදැයි ඇසී ය. සිටු නිහඬ විය. මෙවිට විශාඛාවෝ තම සේවකයන් කැඳවා මේ ගෙදරින් දැන් තමාට යා යුතු ය. ඒ සඳහා වාහන පිළියෙළ කරන්න යැයි නියෝග කළහ.

දුව මා නොදැන කළ කීදේ ට මට සමාවන්න'යැයි සිටාණන් කී විට මම ද ඔබට සමාව දෙමි. නමුත් මා මෙහි තවදුරටත් රැඳීමට නම් බුදු සසුනෙහි සැදැහැති කුලයකට අයත් මම නොසෙලෙන ශ්‍රද්ධා (සෝවාන් ඵලය ද ඇත්තියක්මි. මට මේ නිවසේ දන් දිය යුතු ය. බණ ඇසීමට යා යුතු ය. බණ නොඅසා වාසය කළ නො හැක. ඒවාට මට අවසර දෙන්නේ නම්, මම නවතිමි'යි කීවා ය. මේ අනුව පසුදා ම බුදුරජාණන් වහන්සේ වඩමවා දන් දුන්හ. භුක්තානුමෝදනා වේදී මිගාර සිටුහට ද බණඇසීම ට සැලැස්වීමෙන් ඔහු සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.

එතැන් පටන් මිගාර සිටු ගෙදර බුදු සසුනට විවෘත වූ දොර ඇත්තේ විය. පසු කලෙක විශාඛාවන්ට දූ පුත්තු දස දෙනා බැගින් වූ හ. ඔවුනට ද එසේම දස දෙනා දස දෙනා බැගින් දු පුත්තු වූ හ. පඤ්චකල්‍යාණ පිරි ඇය අවුරුදු එකසිය විස්සක් ජීවත්වූවත්, හිසෙහි පැසුනු කෙසක් නොවී ය. තරුණ පෙනුමක් ම විය. මේ වන විට ඇයගේ දූ පුත්, මුණුබුරු, මිණිබිරි, මී මුණුබුරු පරපුර 8420 පමණ වූයේ ය.

වරක් මැය බණ අසන්නට ගොස් මේල පළඳනාව අමතක වීම හේතුවෙන් එය සඟසතු වූවායි සලකා එය විකුණා විසි හත් කෝටියක් වියදම් කොට “පූර්වාරාමය” සාදවා බුදුරජාණන් වහන්සේට පූජා කළා ය. මෙයින් කල්ප ලක්ෂයකට පෙර, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දවස මහ දන් දී කළ ප්‍රාර්ථනා අනුව අසූ මහා ශ්‍රාවකයන්ගෙන් සිවුපසය දෙන උපාසිකාවන් අතර අප බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි අග්‍ර තනතුර ලැබුයේ ද මේ විශාඛා මහා උපාසිකා, තොමෝය. “මිගාරමාතා” නමින් වූයේ ද මෙතුමිය ම වේ.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]