[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගීතය ආධ්‍යාත්මික සංවර්ධනයට

ගීතය ආධ්‍යාත්මික සංවර්ධනයට

පොදු පිළිගැනීම අනුව කලාව මිනිස් වර්ගයාගේ චිත්තවේග, හැඟීම් හසුරුවන, ලිහිල් කොට සන්සුන් බවක් ගෙන දෙන මාර්ගයකි. කලාවෙහි ඇතුළත් නැටුම්, ගැයුම්, වැයුම් මිනිසාගේ භක්තිය, විනෝදය හා වින්දනය දියුණු කරන මාධ්‍යයක් ලෙස සැලකේ.

දුක මත පිහිටි ලෝකයක මෙම අංගනයන්ගෙන් වියුක්තව කලාව පිළිබඳව බෞද්ධ ආකල්පය ඉදිරිපත් නොකරයි. විශේෂයෙන් ම ලෞකික හා පාරලෞකික උභයාර්ථ සාධනයෙහිලා අර්ථ පූර්ණ නිර්මාණයන්ට හැකියාවක් ඇති බව බුදු සමය පිළිගනී. එසේ වුවත් වැළකිය යුතු තැන වැළකීමටත්, දියුණු කළ යුතු තැන දියුණු කිරීමටත් යම් යම් නීති පනවා තිබේ.

නච්ච ගීත වාදිත විසූක දස්සන...........

යනුවෙන් දක්වා ඇත්තේ සීලයෙන් සංවර වන පුද්ගලයකුට මෙම අංගනය ඔස්සේ අන්තගාමී ව කටයුතු කිරීමට පෙළඹිය නොහැකි බවයි. නැටුම්, ගැයුම්, වැයුම් මානසික විකෘතිය කෙරෙහි බලපෑමක් කරන්නේ නම්, එය බුදු දහමේ අනුමැතියට යටත් නොවේ. විශේෂයෙන් ම සංසාර විමුක්තිය මුඛ්‍ය පරමාර්ථය කොට ගත් පැවිදි පාර්ශ්වය උදෙසා මෙම නීති පද්ධතිය සෘජුවම බලපෑමක් එල්ල කරයි. බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ,

මහණෙනි, නැටුම්, ගැයුම් හා වැයුම් බැලීමට යා යුතු යැයි යමෙක් සිතන්නේ නම් දුකුලා ඇවැත් වේ.

“න භික්ඛවෙ නච්චං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගන්තබ්බං යො ගච්ඡ්‍යෙය ආපත්ති දුක්කටස්ස” (චුල්ලවග්ග පාලියේ බුද්ධක වත්ථු ඛන්දකය)

මෙම පැණවීමට හේතුව වූ ෂඩ් වාර්ගික භික්ෂූන් රජගහනුවර කඳු මුදුන්හි පැවැත්වුණු ගිරග්ග සමජ්ජ නම් සැණකෙළියක් නැරඹීමට යාමත්, එසේ යාම තුළින් ඔවුන් දෝෂ දර්ශනයට ලක්වීමත් නිසා ය. මිනිසුන්ගේ දෝෂ දර්ශනයට ලක්වීම ‘ගිහීන කාම භොගිනා’ වශයෙන් එකිනෙකා භික්ෂූන්ට රළු පරලු චෝදනා කරන්නට වීම ප්‍රබල කාරණාවක් ලෙස දක්වා තිබේ. මේ අනුව නෘත්‍ය දර්ශන පැවිදි පාර්ශ්වයට නිත්‍ය වශයෙන් ම තහනම් වේ. එසේ වුවත් එය ගිහි සමාජය උදෙසා සෘජු බලපෑමක් එල්ල කරන බව නොපෙනේ. ලෞකික අපේක්ෂා සහිත ගිහි ජනයාට මේවා තහනම් කිරීමට බුදු දහම අන්තගාමී වී නැත. එසේ වුවත් පරාභව ආදී සූත්‍රයන්ගෙන් ප්‍රකට වන්නේ නිතර නිතර නෘත්‍ය දර්ශනයට වුවත් යාම විනාශයට හේතුවක් විය හැකි බවයි. එය ධන විනාශයක් සේ ම මානසික විකෘති භාවයකට ද, පුද්ගල කීර්ති නාමයට ද හානිකර තත්ත්වයක් විය හැකි ය. එහෙයින් අන්තගාමී නොවීම මෙහිලා අවධාරණ කොට නොතිබීමත්, භික්ෂූන්ගේ ශීලයෙහි මෙය අන්තර්ගත කොට තිබීම නිසා එහි ඇති විභේදනය මැනවින් හඳුනාගත හැකි ය. පැවිදි දිවියේ ඒකායන පරමාර්ථය විමුක්තිය වන නිසා මෙම සියලු පැනවීම ඉලක්ක ගත ජීවිතයක් ගොඩනඟා ගැනීමට හේතුවක් වී තිබේ.

ආර්ය විනයෙහිලා ගීතය හැඬීමකට සමකොට තිබේ. නැටීම උමතු දර්ශනයක් ලෙස සමකොට තිබේ. දත් විරිත්තා සිනාසීම බාල ළමා ක්‍රියාවකට සමාන කර ඇත.

“රුණණව මිදං භික්ඛවේ අරියස්ස විනයං ගීතං උම්මත්තතක මිදං භික්ඛවේ අරියස්ස විනයං යදිදං නච්චං කොමාරකං මිදං භික්ඛවේ අති වේලායං දන්තං විදංසකං හසිතං”

මේ අනුව දත් විරිත්තා සිනාසීම අශෝභන ක්‍රියාවක් ලෙසත්, ගිහියෙකුට වුව නුසුදුසු ක්‍රියාවක් ලෙසත් පැහැදිලි කොට තිබේ. විස්කෘත දර්ශන, උසුලු විසුලු දැකුම් දැකීම පුද්ගල චිත්ත සන්තානය විකෘතිභාවයට පත් කරයි නම්, එවන් දේ රස විඳීම, ඒ කෙරෙහි ඇලීම මදයට හා ප්‍රමාදයට හේතුවන බව බුදුන් වහන්සේ අවධාරණය කොට තිබේ. එක් අවස්ථාවක බුදුන් හමුවට පැමිණි නටගාමිණී නම් පුද්ගලයකු නෘත්‍ය පිළිබඳව උන්වහන්සේගෙන් විමසා තිබේ. ඔවුන්ගේ රංගනය සච්චාලිත නාට්‍ය රංගන ලෙස හැඳින්වෙන අතර ඒ පිළිබඳව බුදුන් වහන්සේ ඉදිරිපත් කරන අදහස ද මෙහි ලා වැදගත් වේ. තමනුත් මදයට හා ප්‍රමාදයට පත් කරමින්, අනුනුත් ඒ සඳහා යොදවන තැනැත්තන් අපායගාමී වන බව බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ.

“අත්තනො මත්තො පමත්තො

පරෙ මදෙත්වා පමාදෙත්වා

කලස්ස බෙදා පරමේමරණං

පහාසො නිරයො උප්පජ්ජති”

මේ අනුව පැහැදිලි වන කරුණු කීපයකි. එකල නාට්‍ය කරණයේ හා රංගනයේ යෙදුනු වෘත්තිකයින් සිටි බව ය. ඒවා බැලීමට රැස් වන්නා වූ , කාලය යෙදූ ජනතාව සිටි බවය. ගිහියන්ට නාට්‍යකරණ නැරඹීම තහනම් නොවූ බව ය. නාට්‍යකරණයේ ආදීනව තමන් ද අනුන් ද මදයට හා ප්‍රමාදයට පත් කරන බවය. බෞද්ධයන් විසින් කෙබඳු නාට්‍ය පෙන්විය යුතු ද බැලිය යුතු ද යන වග ය. භික්ෂු භික්ෂුණීහු නෘත්‍යයෙහි නොයෙදුනු බව ය. බුදුන් වහන්සේ සුත්ත නිපාතයේ කසීභාරද්වාජ සූත්‍රයේ ගාථා අභිගායනය කොට ලබන ප්‍රයෝජන ප්‍රතික්ෂේප කොට තිබේ.

ගාථාභි ගීතං මං අභොජනීයං.......

මේ අනුව පැහැදිලි වන්නේ යම් යම් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ගායනා ඉදිරිපත් කිරීම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කොට ඇති බවයි. චුල්ලවග්ගයේ ඛුද්ධක වත්ථු ඛන්ධකයේ බුද්ධ වචනය ඡන්දසට නැගීමට ද අනුදැන වදාරා නැත. මෙහිදී ‘යමෙලු තෙ කුල’ යන බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වූ දෙදෙනාගේ ඉල්ලීම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කොට ඇත.

“න භික්ඛවේ බුද්ධ වචනං ඡන්දසෝ ආරාපෙතබ්බං යො ආරොපෙයිය ආපත්ති දුක්කටස්ස, අනුජානාමි භික්ඛවේ සක්කාය නිරුත්තියා බුද්ධ වචනං පරියාපුණිතුං”

මෙහිදී ඡන්දස යනුවෙන් හැඳින්වෙන්නේ ශ්ලෝකයි. වේදය ලියවී තිබූ භාෂාවයි. එසේ නැතහොත් කවි හෝ ගීත නොවන බව වටහා ගත යුතුයි.

එසේම චුල්ලවග්ගයේ ඛුද්දක වත්ථු ඛන්ධයේ දී දීර්ඝ ගී හඬින් ධර්මය ගායනා නොකිරීම ද භික්ෂූන් වහන්සේලාට අනුශාසනා කර ඇත. මේ පැනවීමට හේතු වී ඇත්තේ ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා ගී ස්වරයෙන් ධර්මය ගායනා කොට මහජනයාගේ විවේචනයට ලක් වූ බවයි.

“න භික්ඛවේ ආයතනෙන ගීතස්සරෙන කම්මො ගායිතබ්බො යො ගාය්‍යෙය ආපත්ති දුක්කටස්ස”

බුදුන් වහන්සේ දීර්ඝ හඬින් ධර්මය ගායනා කිරීමේ ආදීනව කීපයක් පෙන්වා දී තිබේ.

තමා එහි ඇලීම.

අනුන් ද එහි ඇලවීම.

ගිහියෝ භික්ෂූන් වහන්සේලා ගී ගයතී පහත් කොට සිනාසීම.

ස්වර නිර්මාණ විෂයෙහි කැමතිවන භික්ෂුවගේ සමාධිය බිඳ වැටීම.

පශ්චිම ජනතාව අගතියට පත්වීම.

මේ ආකාරයට චුල්ලවග්ග පාලියේ දී ගායනා කිරීමත්, එහි ආදීනවත් බුදුන් වහන්සේ මැනවින් දේශනා කොට තිබේ. විශේෂයෙන් ම ධර්මයේ හරයට හානියක් නොවිය යුත්තා සේ ම, බුදු දහමේ පණිවිඩය නිසි අයුරින් සම්පේ‍්‍රෂණය වීම සිදු විය යුතු බව අවධාරණය කෙරේ. විශේෂයෙන් ම කාලානුරූප ව ඇතිවන නව ප්‍රවණතාවයන්ට ගොදුරු නොවී පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඉලක්ක කොට ගනිමින් කාව්‍ය නාට්‍ය ආදී නිර්මාණ බිහිවිය යුතු බව බුදු දහමේ දැක්මයි.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]