ගැමි බස් වහරෙහි සැඟවුණු
බුදු බණ
නොච්චියාගම - ළිඳවැව
සිරි විමල විශුද්ධාරාමයේ
සද්ධර්ම විශාරද, දහම් සරසවි දේශක,
ශාස්ත්‍රපති
ඉලන්දගස්වැවේ සීලවිශුද්ධි හිමි
මානව ශිෂ්ටාචාරයේ පැරණිම ස්පර්ශක සංස්කෘතික අංගය කුමක් දැයි මගෙන් කවරෙකු හෝ විමසා
සිටියහොත් මා දෙන පිළිතුර ඒ අන්කිසිවක් නොව භාෂාව යන්නයි. මානවයාගේ සම්භවයත්, බසේ
සම්භවයත් දෙකක් නොව එකක් ම ය. කෙනෙක් භාෂකයෙකු, ශ්‍රාවකයෙකු, ලේඛකයෙකු, පාඨකයෙකු,
චින්තකයෙකු බවට පත් කරන හැකියාව බස සතු ය. සමූහ ජන ජීවිතයේ සම්බන්ධීකාරක මහ මෙහෙවර
කරන්නේ ඒ ඒ ජන කොට්ඨාස හසුරුවන බසම ය. කතා බහකින් තොර මිනිස් සමාජයක තත්ත්වය පිළිබඳ
ව අපට සිතා ගැනීමටත් අසීරු තරම් ය.
අදහසක් සරල ලෙසත්, සිත් ගන්නා ලෙසත් සහෘදයා වෙත ලබාදීමට කතන බස, ලේඛන බසටත්
ඉදිරියෙන් සිටින බව කිව යුතු ය. ප්‍රාථමික සමාජ සංස්ථාවේ ආරම්භය ගම ය. නගරය දෙවනුව
ය. විවිධ සමාජ කණ්ඩායම් රාශි වූ තැන නගරය වූ හෙයින් භාෂාමය සංකීර්ණත්වයක් ද එහි
දක්නට ලැබෙයි. ගමේ බස් වහර ගැමි බස හැටියට ඉවතලන භාෂාවේදීන් ගැන ද අපි දනිමු. අද වන
විට ගමේ බස කියා හෝ නාගරික බස කියා හෝ පැහැදිලි වෙනසක් දක්නට නොලැබුණත් පොදුවේ ලියන
කියන බසේ නිරවද්‍ය තාව පිළිබඳ ගැටලු මතු වී තිබේ. නව පරපුරේ ජන මාධ්‍ය හසුරුවන්නන්
තුළ තාක්ෂණ දක්ෂතා ඇති බව සතුටකි. එහෙත් බස හැසිරවීමෙහි ඌණතා නිරතුරුව ම අපි දකිමු.
දැන් අපි ගමේ බසයි, හැදුණුකමයි, නිවන් මගයි, මට කියා දුන් මගෙ කිරි අම්මා හමුවෙමු.
ගල්ලැහැ පන් පැදුර වියළා ඉවරයි. පැදුර පුරලා කිරි අම්මාගේ පියවරෙන් පියවර 12 ක්
විතර වියළා පැදුර නමන කල් කිරි අම්මාට ඉස්පාසුවක් නෑ. පැදුරු කෙටියක් නොවෙයි, දිග
පැදුරක්. ඇයි ඒ? කිරිඅත්තා හතර රියන් පුරුෂයෙක් නේ. පැදුර වියලා ඉවර වුනාට තව වැඩ
තියෙනවා. පන් ගහකට ගහක් පුරුද්දපු තැන්වල පිටි අත්ලෙන් හොඳ සොත්තානමට පිරිමැදලා
බලනවා, පන් මුල් ගැස්සිලා ද කියලා. ඒ ඒ තැන් බල බලා මට්ටම් පහටම කපා දමන්නෙ හොඳට
කැපෙන පන්නම් කැත්තෙන් ම. ඒ ඇයි? කිරි අත්තගේ පිටේ ඇනෙයි කියන දුකට නේ.
මේ කටයුත්තෙ යෙදුනෙ වී මහප්පල්ලෙ එළියේ බැඳපු ලිපේ තියල, මේ පෝය දවසක් නොවෙයි, මේ
වී මහප්පල්ලෙ කියන්නේ වී සේරු නවයක්, දහයක් අල්ලන කටලොකු මැටි වළඳකට, වී තම්බන්ඩම
කියල, ගමට ආපු වළං කරත්ත කාරයාගෙන් ගත්තේ සිලිම් දෙකකට. වී ටික පදමට තැම්බිලා, වී
ඇට පුපුරලා බත් එළියට පේන නොපෙනෙන ගානට එන කොට හොඳ සුවඳක් එනවා. කිරි අම්මාගේ නහයට
එන මේ සුවඳින් ම දන්නවා දැන් වී මහප්පල්ලෙ බෙරි වෙන්ඩ ඉස්සර ලිපෙන් බාන්ඩ ඕනෑ කියල.
මයෙ හීන් අම්මා, කොයි මේ කෙල්ල.
හීන් අම්මා කීවේ ඇඟ වැහැරිලා ගිහින් හින්ද නෙමෙයි. නම හීන්මැණිකා. ආදරේ වැඩිකමට මයෙ
හීන් අම්මා කීවෙ, ගම්මුන් කවුරුත් තම දුවා දරුවන්ට කතා කෙරුවෙ ඔය වගේ හරි ලෙන්ගතු
වචන වලින්.
මගෙ පුතේ, හොඳට අස් රෙදි දෙකක් අල්ලා වී මහප්පල්ලෙ බාලා මැද මඬුවෙ බිම්මල හරියෙම
තුනී කරල දාපන්. පස් පොළොවනෙ වතුර ටික උරා ගනියි. හැබැයි, බලාගෙන, පරිස්සමින් මගෙ
අම්මා.
හීන් මැණිකා වැවේ බැහැල නා කියාගෙන අලුත් චීත්තයක්, හැට්ටයක් ඇඳල ඇවිත් හිටියේ.
ටිකක් හැඩ වැඩ බලන වයසනේ. අඟර දඟර නැතුවාමත් නොවෙයි. කොහොම උනත් වී මහප්පල්ලෙ බාලා
මැද මඩුවට ගෙනි යන කොට බිම දා තිබුණ ගෝනි පඩංගුවක පය පැටලුණා. වෙලාවට මුණින් වැටුණෙ
නැහැ. තපස් ගාලා වී මහප්පල්ලෙ බිම වැටුණා.
හඞ පේනව, නේද? මේ කිගෙ තියෙන කඩ වනච්චි කමක මහත,
වී මහප්පල්ලෙ ඇතෑරියානේද?
අනේ අනිච්චෙ දෙපාරයිද? කොහෙද වී තම්බා ගත්තේ,
හා, ඒක නෙමෙයි. උණු වතුර කකුල් දෙකටත් ඉහුණාද? මෙලහට කියාගෙන.විදුලි වේගයෙන් කොන්දට
අත තියාගෙන දුවල ගියේ කෙල්ලගෙ කකුල පිච්චුණා ද කියල බයෙන්, දුකෙන්.
අදට වසර හැට හැත්තෑවකට පෙර ගම ගෙදරක යම් සිද්ධි නිරූපණයක් ගමේ බසින් ම ඉදිරිපත්
කළා. දැන් අපි ඒ ඔස්සේ ධර්ම විවරණයක යෙදෙමු.
කිරි අම්මට ඉබේම කියවුණේ “පේනව නේද?
මේකිගෙ තියෙන කඩ වනච්චි කමක මහත”
මයෙ හීන් අම්මා, මේ ලෙන්ගතු ඇමතීම ඉක්මවා එක වරම ක්ෂණිකව ම ඇති වූ චිත්ත වේගය,
ප්‍රකාශ වුනේ, ‘මේකිගෙ‘ (මෙයාගේ) ගැමි ඇමතුමක් වරදට දඬුවම වචනයෙන් දීමක් කළා.
‘දැන් එහෙම වුනේ - මේ නිසයි’ කියල හේතුවත් මෙතනම දරුවට උගන්වනවා.
“තියෙන කඩවනච්වි කමක මහත”
කඩ + වනච්චි = කඩ (කැඩුණු)
වනච්චි - විනය (වෙනෙය්‍ය)
විනය කැඩුණු නිසයි මහත් වරදක් වූයේ. විනයේ, හික්මීමේ, සීලයේ අඩුවක්. තමන් යෙදෙන
කටයුත්තටම සිහිය යෙදුණේ නැහැ. සීලයේ, සමාධියේ අඩුව යම් ගැටලුවක් ඇති කළා. තම්බපු වී
මහප්පල්ලයක් ලිපෙන් බාන එක ප්‍රවේශමෙන් කළයුතු වැඩක්, අවදානමක් ඇතිවෙයි කියල මේ
දරුවා හිතුවා නම්, මඩුවෙ තිබුණ ගෝනි පඩංගු කෑල්ල ඉවත් කරනවා. මෙතනදී පෙර සූදානම මදි
වුණා.
“දුවේ ඔබේ මේ අඩුපාඩු හදාගන්න’ - වරද දුටු තැනම පෙන්වා දුන්නා. කඩවනච්චි කම් නැතුව
විනය කඩා ගන්නේ නැතුව හැදෙන්ඩ ඕනෑ කියන උපදේශනය නේද? ගමේ බසින් දුන්නේ “රූපං
භික්ඛවෙ අනිච්චං, යද නිච්චං තං දුක්ඛං” (ස.නි. 3 - අරහන්ත සුත්ත)
අනේ අනිච්චේ “රූපංභික්ඛවේ” අනිච්චං” මේ අනිත්‍ය, කිරි අම්මා දැන සිටියා. අභිධර්ම
පන්ති ගිහින්, පණ්ඩිත උපාධි පාස්වෙලා නොවෙයි. මේ වළඳ “රූප” ධර්මයක්. මහභූතිකයි. රූප
ධර්මයේ අනිත්‍යතාව සුත ඤාණයෙන්, බෞද්ධ උරුමයෙන්, මහින්දාගමනයෙන් ලත් උරුමයෙන්,
ස්පර්ශක උරුමයෙන්, ප්‍රවේණිඤාණයෙන් දැන සිටියා. ජීවිත ගැටලු හමුවේ නොසැලී ඉන්ඩ ඉගෙන
ගෙන සිටියා.
රූප කැඩෙන බිඳෙන, බව ලුජ්ජති, පලුජ්ජති, රූප ධර්ම පිළිබඳ අනිත්‍යතාව මත තෘෂ්ණව
හේතුවෙන් දුක එන බව කිරි අම්මගෙ භවාංග ගතයි. එකවර කම්පනයක් ඇති වුණා. ඒ එක්කම අන්
අනිච්චෙ එතනම, තෘෂ්ණාවෙ ‘තදංග‘ ප්‍රහාණයට දක්ෂ වුණා. ඊළඟට මතු වුනේ, කරුණා, ප්‍රඥා,
චෛතසික යෙදුණු සිතුවිල්ල, විදුලි වේගයෙන් දුව වෙත ගියේ කැඩුණු වළඳ බලන්ඩ නොවෙයි.
දුව පුච්චාගත්ත ද, කියල බලන්ඩ, මවගේ සතර බ්‍රහ්ම විහරණයෝ අවධි වුණා. මෙත්තා, කරුණා,
මුදිතා, උපේක්ෂා ව තම දරුවා ගැන පමණක් ද? නැහැ. සබ්බ පාණ භූත හිතානුකම්පී.
හොඳ වෙලාවට අනතුරක් නැහැ. කොයිබලන්ඩ කියල දූ කෙල්ලගෙ පිටි පතුල්, බත් කෙණ්ඩ හරියත්
බලලා කෝකටත් කියල උන්දා ලුණු පොල් කටුවෙන් වතුර ටිකක් අරගෙන පිටිපතුල්වල ගෑවා.
ව්‍යවහාර බස තුළම, ගැමි බස තුළම බුදු බණ ටික සැඟ වී ඇති සැටි ඔබට පෙනෙයි. මේ කතා
පොඩිත්ත සම්මර්ශනය කරන්න. හොඳ අඹු, සැමි සම්බන්ධතාව ඒ කියන්නෙ, කිරි අත්තා නිදා
ගන්න පැදුර, අර පිටේ පන්කොට ඇනෙයි කියල පන්කොට කැපුවෙ.
කතා රසය තුළින් දහම් රසයත්, දහම් රසය තුළින් නිවන් රසයත් මතු කරගන්න. අන්‍යයාගේ වරද
අඩු පාඩු ඉවසන ගුණය ඇති කරගන්න. නිර්ව්‍යාජත්වය, සරල බව සම්මුති ජීවිතයටත්, පරලොව
ජීවිතයටත් අවශ්‍යයි.
සදාචාරාත්මක සෝදා පාළුව ගැන මැසිවිලි නඟ නඟා සිටිනවාට වඩා යම් මෙහෙවරක් සඳහා
පියවරක් තැබීම සුදුසු යයි හඟිමු. නූතනයා මුහුණ දී තිබෙන ගැටලු ප්‍රශ්න රාශියකට
විසඳුම් පැරැණි ජන සම්ප්‍රදායන් තුළත්, බස් වහර තුළත් සැඟවී ඇති සැටි තව ඉදිරියටත්
සැරින් සැරේ විඩෙන් විඩේ පෙන්වා දෙන්ඩ සතුටුයි. |