[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෙලෙස් නසන බලධර්ම

කෙලෙස් නසන බලධර්ම

සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාව මුල්කොට ගෙන තමා සිතූ පැතූ දේ පමුණුවා ගැනීමට සෘද්ධිපාද වැඩෙයි. මෙසේ සෘද්ධිපාද වැඩූ තැනැත්තා කෙලෙස් නැසූ අයෙකි. රහත් වූවෙකි.

තථාගත භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩවසන සමයෙහි දිනක් එහි වැඩම කළ සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේ ඛීණාසමබල සූත්‍රය දේශනා කළ සේක. එහි දී සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් යම් බලයන්ගෙන් යුක්ත වූ රහතන් වහන්සේ නමක්, මාගේ ආශ්‍රවයෝ ගෙවී ගියහයි ආශ්‍රවයන්ගේ නැතිවීම ස්ථිර කළේ ද?, ඒ රහතන් වහන්සේගේ ආශ්‍රවයන් ගෙවීමට, ක්ෂය කිරීමට හේතු වූ බලධර්මයෝ කොතෙක් වේදැයි විමසූහ. එහි දී සැරියුත් මහරහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ‘මේ ශාසනයෙහි රහතන් වහන්සේ අනිත්‍ය වශයෙන් සියලු සංස්කාර ධර්මයෝ තත් වූ පරිද්දෙන් දකින්නෝ ය. කාමයන්ගේ ආදීනව දාමයෝ අඟුරුවලක් ආදී උපමාවලින් තතු ආකාරයෙන් මනා නුවණින් දකින්නෝ ය. උන්වහන්සේගේ සිත විවේකයට නැඹුරු වූයේ වෙති. නිවනට අවනත වූයේ, නිවනට බර වූයේ වෙති. සතර සතිපට්ඨාන වඩනා ලද්දෙක් වන උන්වහන්සේ පඤ්ච ඉන්ද්‍රියෝ මැනවින් වැඩූ අය වෙති. සතර සෘද්ධි පාදයෝ වැඩුවෝ ද වෙති. සප්ත බොජ්ඣංග ධර්මයෝ වැඩුවෝ ද වෙති. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනා ලද්දෝ වෙති.” යනුවෙනි. මෙහි දී වැඩිය යුතු හා වැඩූ බලධර්මයෝ මොනවාදැයි සූත්‍ර දේශනාව ඇසුරෙන් විමසා බැලිය යුතු ය. ඒවා යම් පමණකින් හෝ වැඩීම කෙලෙස් මළ නැති කිරීමේ මඟට බැසගත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වීමේ දොර විවර කරගත් අයෙක් බවට පත්වීම ය.

පළමු බල ධර්මය නම් කෙලෙස් නැසූ භික්ෂුව සියලු සංස්කාර ධර්මයෝ තත් වූ අයුරින් ම නුවණින් දකියි. එනම් සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වන හෙයින් ද, තාවකාලික වන හෙයින් ද, විනාශ වන හෙයින් ද, මිදෙන හෙයින් ද, අස්ථිර වන හෙයින් ද, විපරිනාම ධර්ම හෙයින් ද, විභව වන හෙයින් ද, සංඛත වන හෙයින් ද, මරණ ධර්ම හෙයින් ද යනාදී කාරණා නිසා අනිත්‍ය යැයි කියති. සංඛත යනු හේතුඵල ධර්මයන්ගෙන් හටගත් සියලු ධර්මයන් ය. කෙටියෙන් පවසනවානම් නාමරූපය යි. සම්මත පඤ්චස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්මය මෙය යථානුරූපීව දැනගැනීම, දැකගැනීම, අවබෝධ කර ගැනීම බල ධර්මයකි. ඒ බල ධර්මය අවබෝධ කරගත් තැනැත්තා කෙලෙස් ප්‍රහීණ කළ රහතන් වහන්සේ නමකි.

දෙවෙනි බල ධර්මය ලෙස හඳුන්වන්නේ කාමයන්ගේ ආදීනව දැකීම ය. කාම වස්තූන් අල්ප ආශ්වාද සහිත බවත්, බොහෝ දුක් ගෙන දෙන බවත්, වෙහෙසට පත් කරන බවත්, බොහෝ ආදීනව ගෙන දෙන බවත් සිතීම ය. එහි ආදීනව උපමා දහයකින් ගෙන හැර දක්වා ඇත. එමඟින් එහි නිසරු බව මොනවට පැහැදිලි කරයි. ඒ උපමාවන් කිහිපයක් මෙසේ හඳුන්වාදිය හැකි ය.

“අට්ඨිකංඛලූපමා කාමා” මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ – කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ යනුවෙන් කාමයේ විඳිය යුතු, රසයක්, ප්‍රතිඵලයක් නොමැති බව සිතීම ය.

“මාංසපේසූපමා කාමා” කාම වස්තූන් ගිජුලිහිණියෙකු රැගෙන පියාඹන මස්වැදැල්ලකට සමාන ය. එම මස් වැදැල්ල ඩැහැගෙන යන අතරතුර දී වෙනත් ගිජුලිහිණියෙකු එය ඩැහැගෙන යයි. කාම වස්තූන් ද අනුන්, අතට පත්වෙන ස්වාභාවය බහුල කොට ඇති බව සිතීම ය. කාම වස්තූන් ණයට ඉල්ලා ගත් දෙයක් මෙනි. ඉල්ලා ගත් දෙයෙහි තමාට ස්ථිර අයිතියක් නොමැත.

එමෙන් ම කාම වස්තූන් ද ආපසු දීමේ පොරොන්දුව මත ඉල්ලා ගත් දෙයක් ලෙස සිතීම ය.

“සුපිනකූපමාකාමා” එනම් කාම වස්තූන් සිහිනයක් බඳු ය. සිහිනයක සැබෑ සත්‍යතාවක් නොමැත. කාම වස්තූන් සිහිනයෙන් භුක්ති විඳීම ආශ්වාදජනක ය. එහෙත් එය අවදි වූ පසු මායාවකි. නින්දෙන් නිදන්නා දකින හීන ආශ්වාදජනක ය. ප්‍රඥා ලෝකයෙන් පිබිදුන කල කාමාස්වාදය සැබැවින් ම දුටු කාමාස්වාදයක් මෙන් සිතීම ය. කාම වස්තූන් කඩු මුවහතකට උපමා කොට ඇත. අනෙකුත් ආයුධ මිනිසාගේ ප්‍රයෝජනයට යොදා ගත්ත ද, කඩු මුවහණ යොදා ගන්නේ පුද්ගලයා කපා කොටා විනාශ කර දැමීමක් ලෙස බව සිතීම ය. කාම වස්තූන් මස්ලොඹුවකට උපමා කොට ඇත. මස්ලොඹුව මතුපිට පිහි පහරක් නොවැදුණු තැනක් නැත. කාම වස්තූන් වූ කලී හැමවිට ම පීඩා ගෙන දෙන්නන් බව සිතීම ය.

කාම වස්තූන් සර්ප හිසකට උපමා කොට ඇත. සර්පයාගේ විෂ දළ ඇත්තේ හිස කොටසට අයත් මුඛයේ ය. සර්ප හිස පුද්ගලයාට විපතක් ගෙන දෙන්නාක් මෙන් සිතීම ය. මෙයින් පැහැදිලි වන්නේ ලෞකික වශයෙන් විඳින කවර සැපතක් වූව ද කෙළවර වන්නේ දුකකින් ම වන බව ය. මෙය තේරුම්ගත් පුද්ගලයා කාම වස්තූන්ගෙන් ඈත් වෙයි. කෙලෙස් මලින් මිදුණ තැනැත්තා අවේදයිත සුඛයට පත්වූවෙකි. රහතන් වහන්සේලා විඳින්නේ අවේදයිත සැපයකි. මෙය රහතන් වහන්සේලා වැඩූ බලයකි.

තෙවැනි බල ධර්මය වන්නේ සිත විවේකයට නැමීම ය. එවැනි සිත විවේකයට අවනත වී ඇත. විවේකයට බර වී ඇත. ඒ විවේකයෙහි ද පඤ්ච කාමයෙන් තොරවීම හෙවත් අත්හැරීම තුළින් ද සතුටු වෙයි. එවැනි සතුටු වන්නා ආශ්‍රව ධර්මයන් නැසූ අයෙකි. ආසව රහිත වූවෙකි. මෙය ද රහතුන් තුළ පවත්නා බල ධර්මයකි.

සිව්වැනි බල ධර්මය වන්නේ සතර සතිපට්ඨානය වැඩූ අයෙක් වීමයි. ඒ සතර සතිපට්ඨානය නම් කායානුපස්සනාව හෙවත් කය අනුව බැලීම ය. වේදනානුපස්සනා හෙවත් වේදනාව අනුව බැලීම ය. චිත්තානුපස්සනාව හෙවත් සිත අනුව බැලීම ය. ධම්මානුපස්සනාව හෙවත් නීවරණ ආදී අකුසල ධර්මවල සිට කුසල ධර්ම අනුව බැලීම ය. හෙවත් අනුව මෙනෙහි කිරීම ය.

පස්වෙනි බල ධර්මය වන්නේ සතර සෘද්ධිපාද වැඩීම ය. එනම් සෘද්ධියට පාදක වන ධර්ම කරුණු ය. ඒවා නම් ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සතරයි. මේවා එකක් එකක් ගෙන අධිපති කොට ගෙන සෘද්ධිපාද ධර්ම වැඩිය යුතුයි. මෙහි කුසල ඡන්දයත්, විරියත් සම්ප්‍රයුක්ත වීමෙන් සෘද්ධිපාද වැඩෙයි. සමාධියෙන් යුතු වීර්යයෙන් තමා සිතූ පැතූ සම්පත් පමුණුවා ගැනීමට සෘද්ධිපාද වැඩෙයි. සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාව මුල්කොට ගෙන තමා සිතූ පැතූ දේ පමුණුවා ගැනීමට සෘද්ධිපාද වැඩෙයි. මෙසේ සෘද්ධිපාද වැඩූ තැනැත්තා කෙලෙස් නැසූ අයෙකි. රහත් වූවෙකි.

හයවන බල ධර්මය වන්නේ පඤ්ච ඉන්ද්‍රියයි. ඉන්ද්‍රිය නාමයෙන් හඳුන්වන්නේ ඉසුරුමත් බව යන අරුතිනි. සිත පහදවා ගැනීමට මුල්වන ධර්මතාවයට සද්ධින්ද්‍රිය යන නමත්, සිතට රුකුල්දීමේ ප්‍රධානත්වය දරණ නිසා විරිය ඉන්ද්‍රිය ලෙසත්, සිත කුසල් අරමුණ ගෙන දීමේ ප්‍රධානත්වය ගන්නා සිහිය සති ඉන්ද්‍රිය ලෙසත්, සිත කුසල් අරමුණ ගෙන දීමේ ප්‍රධානත්වය ගන්නා සිහිය සති ඉන්ද්‍රිය නමිනුත් සිතට තත්වාකාරයෙන් අවබෝධය ලබාදීමට ප්‍රධානත්වය දරණ බැවින් සමාධි ඉන්ද්‍රිය නමිනුත් හඳුන්වයි. ලෝකෝත්තර ධර්මයන් අවබෝධ කර ගැනීමට ඉවහල් වන ධර්මයන් ලෙස ද මේවා හැඳින්විය හැකි ය. මෙය වැඩූ පුද්ගලයා කෙලෙස් මළපහ කළ ක්ෂිණාශ්‍රාවකයෙකි.

සත්වෙනි බල ධර්මය ලෙස හඳුන්වා ඇත්තේ සප්ත බොජ්ඣංගයෝ යි. ලෝකෝත්තර මාර්ග ඥානය ඇති කර ගැනීමට හෙවත් සත්‍යාවබෝධයට උපකාර වන ධර්ම හත මෙනමින් හඳුන්වයි. මෙහි බෝධිය යනු සතර මාර්ග ඥානය, සෝවාන් මාර්ග ඥාන, සකෘදාගාමී මාර්ග ඥාන, අනාගාමී මාර්ග ඥාන, අරහත් මාර්ග ඥාන යන සතරට කියන නමයි. එමෙන් ම සර්වඥයන් වහන්සේ හැඳින්වෙන්නේ ද බෝධිය යන නමිනුයි. බෝධි අංගයෝ නම් සතර මාර්ග ඥානයි. සර්වඥයන් වහන්සේගේ අවබෝධයට අංගත්වයෙන් උපකාරී වූ බැවින් ද, බෝධි අංග හෙවත් බොජ්ඣංග නම් වේ. බොජ්ඣංගයෝ නම්, සති, ධම්ම, විචය, වීරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන සතයි. මේ සියල්ල මාර්ගඵල නිවන් පිණිස ම හේතු වන්නේ ය. මේ බල ධර්මයන් වැඩූ පුද්ගලයා ක්ෂිණාශ්‍රාවකයෙකි.

අටවැනි බල ධර්මය වන්නේ අරි අටැඟි මඟයි. අරි යනු බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාට කියන නමයි. ඒ ආර්යන් වහන්සේලා විසින් සේවනය කළ මාර්ගය අරි අටැඟි මඟයි. ඒවා නම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වශයෙනි. මෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය ශීල ශික්ෂාවට ද, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන තුන සමාධි ශික්ෂාවට ද සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥා ශික්ෂාවට ද අයත් වේ. මේවා ත්‍රිවිධ ශික්ෂාවෝ නමින් හඳුන්වයි. ශික්ෂා යනු ශික්ෂණය හෙවත් සංවරයයි. ඒ සංවරයාගේ අවසානය විමුක්තියයි. මේ අරි අටැඟි සමඟ සම්මා ඥාන, සම්මා විමුක්තිය ද ඇති වූ විට සේක පුද්ගලයෙක් හෙවත්, රහතන් වහන්සේ නමක් බවට පත්වේ. ස්වාමීනි, ඛීණාස්‍රව මහණ තෙමේ තමා මේ බල අටින් යුක්ත වූ නිසා ආස්‍රව ක්ෂය වී ඇතැයි අවබෝධ වූ සේකැයි තථාගතයන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ සේක.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk