[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිහියෙන් විසීම ද සැනසීමට මගකි

සිහියෙන් විසීම ද සැනසීමට මගකි

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ උතුම් කාරණාවක් ලෙස සතිය නොහොත් සිහි කල්පනාව පෙන්වා දීමට පුළුවන. වර්තමාන සමාජයට අත්‍යවශ්‍ය ම කාරණයක් ලෙස සිහි කල්පනාව යන මාතෘකාව වැදගත් වේ. ඒ අනුව සිහි කල්පනාව පිළිබඳ සමාජයට නිතර නිතර මතක් කිරීම ප්‍රයෝජනවත් වනු ඇතැයි යන්න මාගේ හැඟීම යි.

ආර්ය අෂ්ටාංගික මාර්ගයතුළ දේශනා කළ කරුණු අටම සිහියෙන් කළ යුතු බව දේශනා කළහ. දැකීම, කල්පනාව, වචනය, කර්මාන්ත, දිවි පැවැත්ම, වෑයම, සිහිය, සමාධිය යන කරුණු අට කෙනෙකුගේ නිරවුල් ජීවිතයට එකම මඟයි. එය ප්‍රායෝගික ජීවිතයට මොනතරම් සම්බන්ධවෙනවා ද, යන්න අවබෝධ කර ගැනීම එතරම් අපහසු නැත. ලෞකික ජීවිතය ගත කරන බොහෝ දෙනෙක් අද සිහියෙන් කටයුතු කරන බවක් දක්නට නො ලැබේ. එනිසා ප්‍රශ්න, ගැටලු, ආරවුල් දිනෙන් දින ම වැඩි වන බවක් දක්නට ලැබේ.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට නිතර ම දේශනා කළේ සිහි කල්පනාවෙන් කටයුතු කරන ලෙස යි. සිවුරු පෙරවීම, දන් වැළඳීම, ගමෙහි හැසිරීම, මේ ආදී සෑම අංශයක් පිළිබඳව ම සිහියෙන් කටයුතු කිරීමට අනුදැන වදාළහ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසය පිළිබඳව සිහියෙන් කටයුතු කිරීම භික්ෂු ජීවිතය සාර්ථක කර ගැනීමට හේතුවක් වනු ඇත. ප්‍රත්‍යවේක්ෂා කිරීම යනුවෙන් දේශනා කොට ඇත්තේ එම කාරණය යි. එසේ නො කිරීම තුළින් සිදුවන්නේ පව් සිදු වීම ය. එයට හේතුව භික්ෂුවක් වෙහෙස මහන්සි වී සිව්පසය නො සොයන බැවිනුත්, ගිහියන් පිළිගන්වන සිව්පසය පරිභෝග කිරීමත් යන හේතුවෙනි. කෙනෙක් නිකන් ම දෙන දෙයක් භුක්ති විඳීමේ දී ඒ සඳහා ඔහුගෙන් ගෙවීමක් කළ යුතු ය. එය මිල මුදල් හෝ භවබෝගවලින් හෝ සිදු නො කළත් මනසේ පිවිතුරු සිතිවිලි දහරාවන් තුළින් හෝ කළ යුතු ය. නැතිනම් සසර ගෙවා නිම කිරීමට නොහැකි තරම් ණයකාරයෙකු වනු ඇත.

භික්ෂූන් වහන්සේලා සිව්පසය හැටියට පරිභෝග කරන දෙය ගිහියන් ආහාර, පාන, ඇඳුම් - පැළඳුම්, ගෙවල් - දොරවල්, බේත් - හේත් ආදී වශයෙන් පරිහරණය කරනු ඇත. ගිහි ජීවිතයේ දී විශේෂත්වය වන්නේ ඒවා ඔවුන් විසින් ම දෑතෙ දෙපයෙ මහන්සියෙන් සොයා සපයා ගැනීම ය. එහි දී ඔවුන් ණයකාරයින් නො වුණත් ඒවා ඉපයීමේ දී හා පරිභෝග කිරීමේ දී සිහි කල්පනාවක් ඇතිව පරිභෝග කිරීම අවශ්‍ය වනු ඇත. එහි වැරැදි නිවැරැදිතාවය තුළනය කිරීමට සිහිකල්පනාව මිණුම් දණ්ඩක් කර ගත යුතු ය.

දස ධම්ම සූත්‍රය තුළින් කරුණු දහයක් ඔස්සේ භික්ෂුවක් සිහිය පිහිටුවා ගත යුතු ආකාරය දේශනාකොට ඇත. “ගිහියන්ට වඩා වෙනස් බව, තම ජීවිතය අනුන් සඳහා බව, ඇවතුම් - පැවතුම් වෙනස් බව, සීලය ගැන, සීලය පිළිබඳ නිවැරැදි බව, සියල්ල වෙනස් වන බව, කර්මය පිළිබඳ, රෑ දහවල් ගත කළ යුතු ආකාරය, ශූන්‍යගාරවල වාසය, අවසන් භාගයේ මාර්ග ඵලයක් හෝ ලැබීම” ආදී කරුණු පිළිබඳ අවධානයෙන් යුක්තව වගබලා ගත යුතු බව වැඩිදුරටත් පැහැදිලි කොට ඇත.

“ගතෙ, ඨිතෙ, නිසින්නෙ, සුත්තෙ ජාගරතෙ සම්පජාන කාරි හෝති” යනාදී වශයෙන් සතර ඉරියව්වෙන් ම කටයුතු කරන සෑම මොහොතක ම සිහි කල්පනාව තිබිය යුතු ය. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ සිත, කය, වචනය යන තිදොරින් ම අනුනට හා සමාජයට අයහපතක් වන බව ය. විශේෂයෙන් ගිහි සමාජය බොහෝ දුරට අසිහියෙන් කටයුතු කිරීම හේතුවෙන් මුළුමහත් සමාජය ම ප්‍රශ්න ජාලාවක පැටලී ඒවාගේ විපාක ද විඳින අයුරු වර්තමානයේ දැක ගැනීමට පුළුවන.

සිඟාලෝවාද සූත්‍රය තුළින් ගිහි සමාජය සකස් විය යුතු ආකාරය මනාව පැහැදිලි කොට ඇත. ඊට අමතරව පරාභව, වසල, ව්‍යග්ගපජ්ජ ආදී සූත්‍ර ගණනාවකින් ගිහි සමාජයේ ප්‍රගමනය උදෙසා කරුණු දේශනා කොට ඇත. සෑම දේශනයකින් ම සිදුවන්නේ හොඳ පුද්ගලයින් ඇති සමාජයක් බිහි කිරීමේ පිළිවෙත ගොඩනැගීම ය. ඒ සඳහා බුදුන් දෙසූ විවිධ සූත්‍ර, ජාතක කතා හා භාවනා ක්‍රම අනුගමනය කිරීමට පුළුවන.

උදාහරණයක් වශයෙන් ආනාපානසති භාවනාව ගැනීමට පුළුවන. ආශ්වාස කිරීම හා ප්‍රශ්වාස කිරීම මුළු මානව සත්ත්වයාට ඉබේ සිදුවීමට නොහොත් ස්වභාවිකව සිදුවීමට අවස්ථාව උදා වී ඇති වුව ද යමෙකු සිහි කල්පනාවෙන් මොහොතකුදු එය සිදුකරන්නේ නම්, භාවනාවක් වීමට එය හේතුවක් වනු ඇත.

අප නො සිතන පැති බොහොමයක් බුදුරජාණන් වහන්සේ සියුම්ව විග්‍රහ කොට ඇත. පුද්ගල අසහනය, අතෘප්තිය, පීඩනය බුදු ඇසකටම හැර මසැසින් බලා කෙනෙකුට නිර්ණය කළ නොහැකි ය. බුදු කෙනෙක් මෙ තරම් සූත්‍ර සමූහයක් දේශනා කරන්නට ඇත්තේ ද පුද්ගල විෂමතාවය හා අනුවණකම නිසාම විය යුතු ය.

බුදු කෙනෙකුට සත්ත්වයා පිළිබඳ තම ඤාණයෙන් විනිවිද දැකීමට පුළුවන්කමක් ඇත. අද පවතින වර්තමාන ලෝකය ද බුදුඇසට හසු විය. එබැවින් එයට අදාළ ධර්මය ද දේශනා කළහ. අභාග්‍ය වන්නේ ඒවා නො පිළිපැදීම ය. අද සමාජය තුළ ලෞකික ජීවිතයට ම වෙහෙස වී ඒ මතම ගැටී ඇලී සිටිනවා විනා ධර්මය ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගෙන එය අනුගමනය කරන බවක් නො පෙනේ. අද සිහියෙන් හා හික්මීමෙන් කටයුතු කරන්නේ සුළු පිරිසකි. බොහෝ පිරිස් මුළා වී, අසිහියෙන් ජීවිත පවත්වාගෙන යනු ඇත. තම නිවසේ පටන් මුළු මහත් රට තුළම මේ කරුණු මනාව දැක ගත හැකි ය. ඇතැම් විට පාරක තොටක යන කල, නගරයක සංචාරය කරන කල, කාර්යාලයකට ආයතනයකට ගිය විට මේ කරුණ මනාව පැහැදිලි වනු ඇත.

එබැවින් ගිහි පැවිදි දෙපක්ෂය ම උදෙසා ම දේශනා කළ හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කිරීමේ එම උතුම් දහම අපි සියලු දෙනා විසින් ම ජීවිතයට මොහොතක් ගානේ එකතුපාදා කර ගත යුතු ආකාරය පිළිබඳව මීට වඩා සිය දහස් ගණනින් සිතිය යුතු ය. එසේ සිහියෙන් කටයුතු කොට ජීවිතවලට එළඹෙන ප්‍රශ්න, ගැටලු, පීඩන අවම කර ගැනීමට උත්සාහවත් වීමත්, ඒ තුළින් සාමකාමී හා සහනශීලී ජීවිතයක් ගත කිරීමත් අපට ලැබෙන ලොකුම සැනසීමයි.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk