[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 50: නිතර නිතර සිහිකළ යුතු දෑ

තෙවළා බුදු වදන් අතරින් 50:

නිතර නිතර සිහිකළ යුතු දෑ

" හොඳ නරක මෙලොව, පරලොව හා කර්මය පිළිබඳ විශ්වාසය ඇති තැනැත්තා සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටියෙකි. එවැන්නෙකු දුශ්චරිත ක්‍රියාවලට නොපෙළඹේ. කර්මය පිළිබඳ විශ්වාසය ඇතිකරගත යුත්තේ අකර්මණ්‍ය වීම පිණිස නොවේ."

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන සමයේ භික්ෂූන් වහන්සේ අමතා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කවර අයෙක් නමුදු නිතර සිහිපත් කළ යුතු, තම මතකයට නගාගත යුතු කරුණු පහක් දේශනා කළහ.

අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ඨාන සූත්‍රයෙහි දැක්වෙන පරිදි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියලු දෙනා විසින් ම තමා ජරා, ව්‍යාධි, මරණ, ස්වභාව කොට ඇති බවත්, තමා කැමැති ප්‍රියවස්තූන්ගෙන් කෙදිනක හෝ වෙන්වීමට සිදුවන බවත් , තමා විසින් සිදුකරනු ලබන සචේතනික කර්මවල ස්වාමියා තමා බවත් නිතර නිතර සිහිපත් කළයුතු වේ.

මෙම අංග පහෙන් මුල් පහ කවර ආගමක් ඇදහුව ද, ලෝකයේ සියලු ම ජීවින්ට පොදුවේ මුහුණ දීමට සිදුවන අනිවාර්ය තත්ත්වයන් ය.

පස්වන කරුණ කර්මය නමැති නියාම ධර්මය විශ්වාස කරන්නෙකුට අදාළ වුව ද, ලෝක සම්මත පිළිගැනීම නම් යහපත් ක්‍රියාවට යහපත් ප්‍රතිඵලත්, අයහපත් ක්‍රියාවට අයහපත් ප්‍රතිඵලත් ඇති බවත් ය. ඒ අනුව බුදුරදුන් විසින් නිතර සිහිපත් කළ යුතුයැයි අවධාරණය කළ කරුණු පහ කවර පුද්ගලයෙකුට වුව සාධාරණ වේ. ඒ සඳහා ආගමික භේදයක් බල නොපායි.

වියපත් වීම හෙවත් දිරීම, ලෙඩ රෝගවලට භාජනය වීම, මරණයට පත්වීම, තමා කැමැති, තමා ඇලුම් කරන ප්‍රිය වස්තූන්ගෙන් හා දැයින් වෙන්වීමට සිදුවීම හෙවත් වියෝගය, හොඳ නරක ක්‍රියාවලට අනුරූප විපාක විඳීමට සිදුවීම ආදිය කිසිවෙකුටත් නොවැළැක්විය හැකි එමෙන්ම ජීවිතය හා අනිවාර්යෙන් ම සම්බන්ධ ව පවතින ධර්මතාවන් ය. නැතහොත් ස්වභාවයන් ය. බුදුරදුන් වදාළ නිර්වාණය අවබෝධ කරගන්නා තෙක් සියල්ලන්ට ම අනිවාර්යයෙන් ම මෙම තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

එම කරුණු පිළිබඳ නිතර නිතර සිහිපත් කළ යුතුයැයි බුදුරදුන් වදාළේ කුමක් හෙයින්දැයි විමසිය යුතු වේ.

බුදුරදුන්ගේ පැහැදිලි කිරීම අනුව කෙනෙකු තමා දිරීම හෙවත් වියපත් වීම ස්වභාව කොට ඇත්තේ ය. එය ඉක්මවා තමාට පැවැත්මක් නැත, යන වැටහීම ඇතිව නිතර නිතර ජරාව හෙවත් දිරීම පිළිබඳ මෙනෙහි කළ යුත්තේ තමා තුළ සැඟවී පවතින යෞවන මදය (යොබ්බන මද) දුරු කරගැනීමට එය හේතුවන් වන නිසයි. වියපත් වුව ද, නැත ද යෞවන මදය හේතුවෙන් කෙනෙක් කයින්, වචනයෙන් හෝ මනසින් දුශ්චරිත ක්‍රියාවල නිරත වන්නේ නම් එය එම තැනැත්තාගේ යහපත පිණිස හේතු නොවේ. යෞවන මදයෙන් මත් වූ පුද්ගලයා තමා කිසිවිටෙකත් වියපත් බවට හෙවත් දිරීම් ස්වභාවයට පත් නොවේය යන ආකල්පයෙන් යුක්ත ය. එබැවින් ඔහු හෝ ඇය ඒ ගැන මත්වී තිදොරින් දුසිරිත් සිදු කරයි. යෞවන මදය හේතුවෙන් තමා වියපත් නොවේය යන සාවද්‍ය ආකල්පය දුරුකරගැනීම සඳහා කෙනෙකු නිතර නිතර තමා ජරාව හෙවත් දිරීම ස්වභාවයකොට ඇත්තෙකැයි මෙනෙහි කළ යුතු බව බුදුරදුන්ගේ අනුශාසනය යි.

ලෙඩ රෝගවලට ගොදුරු වීම ස්වභාවය කි. එහෙත් රෝග වැළඳෙනතාක් කෙනෙකු සිතන්නේ තමා සැබැවින් ම නීරෝගී අයෙකු බවයි. එසේ ආරෝග්‍ය මදයෙන් මත්වන තැනැත්තා තිදොරින් විවිධ දුශ්චරිත ක්‍රියාවල නිරත වෙයි. තම නීරෝගී බව පදනම් කරගෙන ඇතිකරගත් සාවද්‍ය ආකල්ප හේතුවෙන් විවිධ පාපකර්ම සිදු කරයි. මෙසේ නීරෝගීකම පදනම්කරගත් මදය දුරුකරගැනීම සඳහා තමා රෝගී ස්වභාවය ඉක්ම වූවෙක් නොවන බව නිතර නිතර සිහිපත් කළ යුතුයැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

මරණය කාටත් පොදු ධර්මතාවය කි. එය වීතරාගීන්ට ද පොදු ය. එයින් ගැලවිය හැකි කිසිවෙක් නොමැත. මරණය නියත වූවකි. එසේ ද වුවත්, තමා නොමැරෙන කෙනෙකැයි සිතා ජීවිත මදයෙන් මත් වූ මිනිසා තිදොරින් දුසිරිත් සිදුකරයි. තමා කිසි විටෙකත් නොමැරෙතැයි සිතන මිනිසා ආත්මාර්ථකාමියෙකි. තෘෂ්ණාවෙන් බරිත එවැන්නෝ තමාට මෙන්ම අන්‍යයන්ටද අහිත පිණිස කටයුතු කරති. ඒ හෙයින් මරණය නිතර නිතර සිහියට නඟා ගත යුත්තේ ජීවිත මදය හේතුවෙන් දුසිරිතට පොළඹවන සිත පාලනය කර ගැනීම සඳහා ය.

සැම කෙනෙකුටම තමා ඇලුම් කරන, ආශා කරන සියල්ලෙන්ම වෙන්වීමට සිදු වේ. කොතෙක් දෑ අල්ලා ගැනීමට අත්පත් කර ගැනීමට මෙන්ම තමා සන්තකයේ තබා ගැනීමට වෙහෙස වුවද, තමා ප්‍රිය කළ ඒ සියල්ලෙන් කෙදිනක හෝ වෙන්වීමට සිදු වේ. එය ලෝක ධර්මතාව යි. අනිත්‍ය හෙවත් වෙනස්වීම යනුවෙන් ඉගැන්වෙන්නේ එම ධර්මතාවයි. මේ බව නොදත් තැනැත්තා ප්‍රිය වස්තූන් කෙරෙහි හටගත් කැමැත්ත හා ඇල්ම (ජන්ද රාගය) හේතුවෙන් තිදොරින් විවිධ දුසිරිත්වල නිරත වේ. ප්‍රිය වස්තූන් මූලික කරගත් ජන්දරාගය හා සම්බන්ධ සිතිවිලි පුද්ගලයා අයහපත් ක්‍රියාවලට පොළොඹවන අභිප්‍රේරණයන්ය. කවර අපරාධයකට වුව, එයට පසුබිම් වූ මනෝවිද්‍යාත්මක පදනම සැකසෙන්නේ ජන්දරාගය මූලික කරගෙන ය. අභිප්‍රේරණයක් ලෙස අකුසල චර්යාවට පොළඹවන ජන්දරාගය දුරුකිරීම සඳහා තමා ප්‍රිය කරන සියල්ල අත්හැරීමට සිදුවන බව නිතර නිතර මෙනෙහි කළ යුතු බව බුදුරදුන්ගේ අනුශාසනය යි. එයින් නෛෂ්ක්‍රම්‍ය පිළිබඳ උනන්දුව හෙවත් ලෝකය අත්හැරීමේ ආකල්පය වර්ධනය වේ.

බුදුදහමේ ඇතුළත් අතිශය විශිෂ්ට ඉගැන්වීමකි, කර්මය පිළිබඳ සිද්ධාන්තය. පුද්ගලයා සදාචාර සම්පන්න බවට පත්කිරීමට ඉවහල්වන ප්‍රධානතම බලවේගය කර්මය පිළිබඳ විශ්වාසය යි. සෑම සචේතනික ක්‍රියාවකට ම හොඳ හෝ නරක විපාක ඇතැයි යන විශ්වාසය නොමැති වූ විට පුද්ගලයා තිදොරින් දුශ්චරිත ක්‍රියාවල නිරත වෙයි. හොඳ නරක මෙලොව, පරලොව හා කර්මය පිළිබඳ විශ්වාසය ඇති තැනැත්තා සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටියෙකි. එවැන්නෙකු දුශ්චරිත ක්‍රියාවලට නොපෙළඹේ. කර්මය පිළිබඳ විශ්වාසය ඇතිකරගත යුත්තේ අකර්මණ්‍ය වීම පිණිස නොවේ. සදාචාරාත්මක වශයෙන් යහපත් කෙනෙකු ලෙසට කර්මණ්‍ය වීම පිණිස ය. කර්මය නිතර නිතර සිහියට නඟාගැනීම අකර්මණ්‍ය වීමකැයි පවසන්නෝ බුදුරදුන් වදාළ කර්මය පිළිබඳ සැබෑ අවබෝධයක් ඇත්තෝ නොවෙති. කර්මය පිළිබඳ අවබෝධය අවශ්‍ය වන්නේ සදාචාරාත්මක වශයෙන් යහපත් ජීවිතයක් ගත කිරීමට ය. සචේතනිකව සිදුකරන හොඳ නරක ක්‍රියාවලට අනුරූප විපාක ඇතැයි යන විශ්වාසය පුද්ගලයාට පාපයෙන් හා අකුසලයෙන් වැළකීමට ඇති මහත් පිටුබලය කි.

ඉහතින් දැක් වූ පරිදි බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් සියල්ලෝම තමා මහුණ දෙන ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝගය හා කර්මය පිළිබඳ නිතර නිතර සිහිපත් කළ යුතුයැයි අනුදැන වදාළේ එමගින් අකුස ලයට හා දුෂ්චරිතයට පොළඹවන යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය යන තුන් වැදෑරුම් මදය හා ප්‍රියවස්තූන් මූලික කරගත් ජන්දරාගය දුරු කරගැනීමත්, තමා කර්මයට යටත් බවත්, කර්මය දායාදකොට ඇති බවත් තමා විසින්

සචේතනිකව සිදුකරනු ලබන සියලු හොඳ නරක ක්‍රියාවල ස්වාමියා හා වගකිව යුත්තා තමා බවත් අවබෝධ කරගැනීම සඳහා ය. මේ අවබෝධය ලබා ගත් තැනැත්තාට නිතර නිතර ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්‍රයෝගය හා කර්මය පිළිබඳ සිහිපත් කරන හෙයින් ලෝකෝත්තර ආර්ය මාර්ගය විවෘත වේ. එම මාර්ගය හා සම්බන්ධ ප්‍රතිපදාවෙහි බහුලව යෙදීම හේතුවෙන් ඔහුගේ සන්තානගතව පවතින දස සංයෝජන හා අනුසය වශයෙන් හැඳීන්වෙන ක්ලේශයන් ක්‍රමයෙන් පහව ගොස් ආර්ය මාර්ගය පිළිබඳ නුවණැස දියුණු වී ස්ථාවරත්වයට පත් වේ. මේ වනාහි සියලු දුසිරිතෙහි නිමාව යි. සදාචාරයේ පාරප්‍රාප්තිය යි. එබැවින් ආධ්‍යාත්මික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද නීරෝගි වීම සඳහා ඉහතින් දැක්වූ කරුණු පස නිතර නිතර සිහියට නඟා ගැනීම අවශ්‍ය වේ.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk