[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව: මිනිසා හා මිනිසත්බව

මිනිසා හා මිනිසත්බව


මිනිසා හා මිනිසත් බව එකිනෙකට බද්ධ වූ අංග දෙකකි. මිනිසෙකු වශයෙන් උපත ලැබීම ඉතාමත් දුර්ලභ අවස්ථාවක් බවට බුදු දහමෙහි කරුණු දැක්වේ. (දුල්ලභං ච මනුස්සත්තං) ඒ අනුව සෑම ජීවියෙකුට ම මිනිසෙක් වශයෙන් ඉපදීමට නොහැකි බවත්, මිනිසෙක් ව උපත ලැබීමට බොහෝ පින් හා කුසල් අවශ්‍ය බවත් කියැවේ.

එසේ ම, මිනිසෙකු වීම සංසාර ගමනෙහි ප්‍රධාන සංධිස්ථානයකි. එයට හේතුව වන්නේ මිනිසෙකුව උපන් අයට බුද්ධත්වය ලැබීමට හෝ දෙවියෙකු වීමට හෝ නැවත මිනිසෙකු වීමට හෝ තිරිසන් සත්වයෙකු වීමට හෝ කටයුතු කළ හැකි වීමයි. ඒ අනුව මිනිසෙකු ව උපන් අයට සාංසාරික ජීවිතයේ දියුණුව හෝ, පරිහානිය හෝ සලසා ගත හැකි බව පැහැදිලි කරුණකි.

මිනිසෙකුගේ දියුණුවට හේතුවන කටයුතුවල නිරත වන්නේ නම්, එය මනුෂ්‍යත්වයේ ලක්ෂණයකි. යම් මිනිසෙක් පරිහානියට යොමුවී අධම, පහත්, දුර්ජන ක්‍රියාවල නිරත වන්නේ නම්, එය ඔහුගේ අමනුෂ්‍යත්වයේ ලක්ෂණයකි. එබැවින් මිනිසෙකු වී මනුෂ්‍යත්වය සුරක්ෂිත කිරීමේ වගකීම පුද්ගලයා මත රඳා පවතියි. මිනිසුන් වශයෙන් සියලු දෙනාම කායිකව එක හා සමාන ය. සමාජයේ වෙසෙන බුද්ධිමත් ම සත්වයා වන්නේ ද මිනිසා ය. එසේම මිනිසාට හිමි වී ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ ස්වාධීන චින්තනය යි. එයට අදාළ විශේෂ කායික අංගයක් වන්නේ සිතයි. මනසක් හිමි, බුද්ධිමත් ව කටයුතු කළ හැකි මිනිසා සියලුම සත්වයන්ට වඩා උසස් ය. බුදු දහමෙන් ඉගැන්වෙන මිනිසත් බවෙහි පරප්‍රාප්තිය වන සම්බුද්ධත්වයට පැමිණිය හැකි වන්නේ ද මිනිසෙකුට පමණි. මේ අනුව ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැකිවන්නේ උදාරතර මනුෂ්‍යත්වයක් හිමි වු මිනිසෙකුට පමණි.

මනුෂ්‍යත්වය හා බැඳුණු මානුෂීය ලක්ෂණ සදාචාරය හා බද්ධ වී ඇත. කුසල යන පදයෙන් අර්ථවත් වන්නේ ද සදාචාරාත්මක පැතිකඩයි. යමෙක් මනුෂ්‍යත්වය ප්‍රගුණ කරමින් ශ්‍රේෂ්ඨත්වයට (බුද්ධත්වයට හෝ රහත් භාවයට) පැමිණෙයි ද, එය මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියයි. කුසලයේ පරිපූර්ණත්වය යි. ඒ අනුව බුද්ධත්වයට පැමිණිය හැකි වන්නේ සදාචාරාත්මක බවෙහි හා ප්‍රඥාවෙහි මස්තකයට පැමිණි සත්පුරුෂයෙකුට පමණි. එවැනි උත්තරීතර මනුෂ්‍යයෙකුට දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුම් හිමි වන බව සංයුත්ත නිකායෙහි සඳහන් වේ. දේවත්වය යනු ද සදාකාලික වූවක් නොවේ. තමන් කළ පින් අවසන් වීමෙන් පසු නැවතත් මිනිස් හෝ වෙනත් ආත්මයකට පිවිසෙයි. එහෙයින් මිනිසත් බවින් සුරක්ෂිත පුද්ගලයෝ සදාකාලික සුවය ලබති. ඔවුහු නොපිරිහෙමින් මිනිසත්බවෙහි ඉදිරියටම ගමන් කරති.

මිනිසා සදාකාලික අපරාධකරුවෙක් වශයෙන් කටයුතු නොකරයි. එකී ජීවිත යහපත් පුද්ගල චරිතයක් බවට පත් කළ හැකි ය. එසේම , යහපත් පුද්ගලයෙකු විවිධ හේතු නිසා පසුකාලයේ දී නරක පුද්ගලයෙකු වීමට ද පුළුවන. මේ නිසා සෑම පුද්ගලයෙකුගේ ම වගකීම වන්නේ යහපත් පුද්ගල චරිත ඇති අය බවට පත්වීමත්, එම යහ පැවැත්ම නොබිඳ ආරක්ෂා කර පවත්වා ගෙන යාමත් ය. මානුෂීය ගුණාංගවලින් පොහොසත් පුද්ගලයෙකු වීමට අවශ්‍ය කරන මග පෙන්වීම බුදු දහමෙහි සිදුකර ඇත.

බුද්ධ දේශනාව තුළ ඇති මානුෂීය උත්තුංග ගුණාංග සොයා යමින් අපේ ජීවිතවලට සම්බන්ධ කර ගැනීමෙන් මිනිසෙකු ව උපන් අයෙකුට මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගත හැකි වේ.

සදාචාරය, මිනිසත්බව සුරක්ෂිත කරන ප්‍රධාන සාධකයක් බවට ඉහතදී කරුණු දක්වා ඇත. ඒ අනුව සදාචාරය තුළ හොඳ හා නරක වශයෙන් අදහස් වන්නේ කුමක්දැයි යන කාරණය මැනවින් වටහා ගත යුතු ය. එය සදාචාරය පිළිබඳ නිවැරැදි දැක්මයි. එබඳු තත්වයක් පදනම් කර ගෙන බුදුන් වහන්සේ විසින් මිනිසා කොටස් තුනකට බෙදා දක්වා ඇති අවස්ථාවක් අංගුත්තර නිකායේ ද්විචක්ඛු සූත්‍රයෙහි දැක්වේ. ඒ අනුව මිනිසා අන්ධ, ඒකචක්ඛු හා ද්විචක්ඛු වශයෙන් මිනිසත්කම පදනම් කර ගෙන බෙදා දක්වා ඇත. දෑස් නොපෙනෙන මිනිසා අන්ධ පුද්ගලයා වේ. ඔහු සදාචාරය නොදනියි. නොදකියි. එසේම කුසලය ද , අකුසලය ද නොදනියි. නොදකියි. තමන්ගේ චර්යාව හා මනස කිලිටි කරන ධර්ම හෝ පිරිසුදු කරන ධර්ම නොදනියි. මිනිසත්කම ඔසවා තබන උසස් ගුණංග හෝ දුර්ගුණ හෝ නොදනියි. මේනිසා එබඳු පුද්ගලයාට මෙලොව හෝ පරලොව දියුණුවක් ඇති නොවේ. සිය මිනිස් බවත්, මිනිසත්කමත් තවදුරටත් පිරිහී යයි.

එක ඇසක් පෙනෙන පුද්ගලයා ඒකචක්ඛු නම් වේ. ඔහු ද සදාචාරය නොදනියි. නොදකියි. තමන්ගේ චර්යාව හා මනස කිලිටි කරන ධර්ම හෝ පිරිසුදු කරන ධර්ම නොදනියි. මිනිසත්කම ඔසවා තබන උසස් ගුණාංග හෝ දුර්ගුණ හෝ නොදනියි. ඔහු මෙලොව දියුණුව පිළිබඳ ව පමණක් සිතයි. භෞතික වශයෙන් පැමිණිය හැකි දියුණුව ගැන සිතා දිවා රෑ කටයුතු කරයි. ඔහු මිනිසෙක් වුව ද, මිනිසත්කම නොමැති හිස් පුද්ගලයෙකි. සමාජයේ ඇතැම් පුද්ගලයන් භෞතික වශයෙන් ව්‍යාපාරවලින්, මිල මුදල්වලින්, යානවාහනවලින් හෝ ගෙවල්දොරවල්වලින් හිනිපෙත්තට ගමන් කර ඇතත් , මිනිසත්කමක් නොමැති තරම් ය. මිනිසත්කම නොමැති එවැනි භෞතික දියුණුවක් කුමකට ද? මරණයේ දී තමා රැස්කළ එවැනි භෞතික දේ ඒ ඒ තැන්වල දමා යයි. අඹුදරුවන් හා නැදෑහිතමිතුරන් සොහොනෙහි දී දමා යයි. එසේම ජීවිතය පුරාවට කවා පොවා ඇති දැඩි කළ සිරුර ද සොහොන්වලෙහි දමා යයි. අවසානයේ තමන් අනුව යන්නේ තමා විසින් කළ හොඳ හා නරක පමණි. එයිනුත් වඩාත් ඵලදායි වන්නේ සාංසාරික ගමන යහපත් කරන සදාචාරාත්මක මානුෂීය ගුණාංග රැගෙන යාමයි. ඒවා සිතට බරක් නැත. මානුෂීය ගුණාංග සිත සැහැල්ලු කරන ගුණයෙන් යුක්ත ය. නමුත් ඒකචක්ඛු පුද්ගලයාට එබඳු මානසික වශයෙන් සැහැල්ලුවක් හෝ සැනසීමක් ඇති නොවේ. එයට හේතුව වන්නේ ඔහු විසින් මිනිසත්කම වෙනුවට වගා කළේ නොමිනිස්කම් ය.

දෑස් පෙනෙන පුද්ගලයා ද්විචක්ඛු නම් වේ. ඔහු සදාචාරය මැනවින් දනියි. දකියි. එසේම කුසල ද අකුසලය ද දනියි. චර්යාව හා මනස කිලිටි කරන ධර්ම හා පිරිසුදු කරන ධර්ම කුමක්දැයි වටහා ගෙන කටයුතු කරයි. උසස් ගුණාංග හා දුර්ගුණ මනාව දනියි. මිනිසත්කම වර්ධනය කරන කටයුතුවල නිරත වෙයි .මේ නිසා මෙලොව හා පරලොව දියුණුව ඇති කර ගනියි. එසේම භෞතික දියුණුවත්, ආධ්‍යාත්මික දියුණුවත් මැනවින් සිදු කර ගනියි. එබඳු පුද්ගලයන්ගේ ගුණ සුවඳ දස දෙස පැතිරෙයි. එවැනි පුද්ගලයන් මිය ගියත් ඔවුන්ගේ ගුණ සුවඳ මිනිස් ලොව හැර නොයයි. ඔවුන්ගේ මිනිසත්කම නොමියෙන ලක්ෂණයකින් යුක්ත වේ.

තවද, පස් පව් හා දස අකුසල් කරන, මිනිසත් බව පිළිබඳව කිසිදු ඇගයීමක් නොකරන මිනිසුන්ගේ ජීවිත අඳුරෙන් අඳුරට යයි. නරක වැඩ කරමින් ජීවිත ගෙවූ අය මිනිසත්කම වටහා ගෙන කුසලයට යොමු වූ ජීවිත අඳුරෙන් එළියට ගමන් කරයි. එබඳු මිනිසත් බව සහිත ජීවිත සාමාජීය වශයෙන් යහපත් ය. ඇතැම් මිනිසුන් යහපත් වැඩ කරමින් සිට අයහපත් දේ කරමින් නපුරු ජීවිත ගෙවයි. එවැනි මිනිසත්කමින් පිරිහුණු ජීවිත එළියෙන් අඳුරට ගමන් කරන අය මෙන් වේ. ඒ ජීවිත ද සාමාජීය වශයෙන් හා පෞද්ගලිකව ද ඔහුට ද හානිදායක ය. තවද, යමෙක් මිනිසත්කම සහිත ජිවිත තව තවත් ඉදිරියට ගෙන යයි ද, දියුණුවෙන් දියුණුවට පමුණුවයි ද ඒ ජීවිත එළියෙන් එළියට යන මිනිසත් බවින් පොහොසත් ජීවිත ය. මෙබඳු ජීවිත සාමාජීය වශයෙන් ද, ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් ද පරිපූර්ණත්වයට පැමිණෙයි. බුදුන් වහන්සේගේ ඇගයීමට හා පැසසුමට භාජනය වූයේ එවැනි සත්පුරුෂ ජීවිතයි.

මේ අනුව මිනිසෙකු වශයෙන් උපන් අයගේ වගකීම වන්නේ සිය මිනිසත්කම වර්ධනය කරන කටයුතුවල දිවා රෑ දෙකෙහි නිරත වීමයි. මිනිසත්කම වර්ධනයට අවශ්‍ය මූලික කරුණු වශයෙන් පින හා කුසලය වශයෙන් දැක්වේ. එසේම අවංකකම, ඉවසීම, නිහතමානීබව, ගරු කිරීම, කළගුණ සැලකීම, වඩවඩාත් වර්ධනය කළ යුතු ය. එසේම පරෝපකාරය, කරුණාව, මෛත්‍රිය, සමානාත්මතාව නිරතුරුව සිය ජීවිතවලට සම්බන්ධ කර ගත යුතු වේ. එහිදී ඊර්ෂ්‍යාව , මායාව, සට කපට බව, කෝපය අත්තුක්කංසන (තමා උසස් කොට සැලකීම) පරවම්භන (අනුන් හෙළා දැකීම) වැනි දුර්ගුණයන් දුරින් දුරටම පලවා හැරිය යුතු පහත් ලක්ෂණයන් ය. එනිසා මිනිසත් බව සුරක්ෂිත කරන ගුණධර්මවලින් සිය ජීවිත පෝෂණය කර ගැනීම මිනිසෙකු ව උපන් අයගේ වගකීම හා කාර්යභාරය වේ. එවිට ඔහු ද , සමාජය ද සුරක්ෂිත වනු නිසැක ය.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk