[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 46: පොළොන්නරුවේ ආළාහන පිරිවෙන

පොළොන්නරුවේ ආළාහන පිරිවෙන

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

පොළොන්නරු යුගයේ දැනට ශේෂ වී ඇති ගෘහ නිර්මාණ, පැරැණි ශ්‍රී ලංකාවේ පැවැති ගෘහ නිර්මාණ සම්ප්‍රදායයන් මූලික වශයෙන් නියෝජනය කරයි. එහි ප්‍රධානතම කැපීපෙනෙන ලක්ෂණය වනුයේ මේ යුගයේ දී ඇතැම් ගෘහ විශේෂයන් දියුණුවේ උච්චතම අවස්ථාවට පත්වී ඇති අතර, නව ලක්ෂණවලින් යුත් නව නිර්මාණ ඉදිවී තිබීම ය.

නිදසුන් වශයෙන් වටදාගේ, ලංකාතිලක පිළිම ගෙය, නිශ්ශංක ලතා මණ්ඩපය, වැනි ගොඩනැගිලි දැක්විය හැකි ය. මේ හැර පොළොන්නරු යුගයට සීමා වූ අංගලක්ෂණ ඇති ගොඩනැගිලි ද ඉදිකර තිබේ. පොත්ගුල් වෙහෙර වැනි ආගමික ගොඩනැගිලි මේ යුගයට පමණක් සීමා වූ ගොඩනැගිලි ය. මේ යුගයේ ආගමික ගොඩනැගිලි රැසක්ම රාශිභූත වී ඇත්තේ පැරැණි පොළොන්නරු නගරයතුළ ය. ඉන් පිටත මේ යුගයට අයත් නිශ්චිත වශයෙන් නිගමනය කළ හැකි ගොඩනැගිලි ඇත්තේ ස්වල්පයකි.

ශ්‍රී ලංකාවේ මුල්ම අගනුවර වන අනුරාධපුරයේ මෙන් ම, පොළොන්නරුවේ ද සංඝාරාම නිර්මාණය අනිවාර්ය බවට පත්වී තිබේ. ඇතැම් විට අගනගරයක ආදර්ශය හා සැලැස්ම පිළිබඳ ආකල්පය රජවරු හා ජනතාව අතර බිහි වූයේ අනුරාධපුර නගරයේ ගොඩනැගිලි රටාව හා සැලැස්ම අනුව යැයි සැලකිය හැකි ය. රාජ්‍ය පාලන තන්ත්‍රය පැවති අග නගරය හුදෙක් පාලන මධ්‍යස්ථානයක් වශයෙන් පමණක් නොව එය ආගමික වශයෙන් ශුද්ධ නගරයක් ලෙස තිබිය යුතු බවට සම්ප්‍රදායක් ගොඩනැගී තිබුණි. එබැවින් අනුරාධපුර පූජනීය නගරය ගොඩනැගුවේ පාලන තන්ත්‍රයත්, ඊට අනුබද්ධ ආගමික සිද්ධස්ථානත් යන කරුණු දෙක එකට කැටිකොට ගත් සම්ප්‍රදායක් අනුව ය.

(අපේ සංස්කෘතික උරුමය - (දෙවැනි කොටස) පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව මහාචාර්ය එච්.ටී. බස්නායක ලියූ ලිපිය පි. 341 මධ්‍යම සංස්කෘතික අරමුදල - 1998)

ආළාහන පිරිවෙන සීමාගල් දහයකින් සලකුණු වන අතර, ලංකාතිලක පිළිමගෙය, කිරිවෙහෙර, සුභද්‍රා චෛත්‍යය, උපෝසථාගාරයක් සහිත බද්ධසීමා ප්‍රාසාදය, ඛණ්ඩ සීමා මහ තෙරුන්ගේ ප්‍රාසාදය සහ අනෙකුත් ගොඩනැගිලිවලින් එය සමන්විත වේ. සංස්කෘතික ත්‍රිකෝණ යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ ආළාහන පිරිවෙන් ව්‍යාපෘතියේ පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට මෙම පුදබිම හෙක්ටයාර් අටකට වැඩි භූමි ප්‍රමාණයක් වසා සිටී. එය වටා ඇති පහත් ප්‍රදේශය විශේෂයෙන් ම බටහිර දිශාව ආගමික නටබුන්වලින් පිරී පවතී. බටහිර මාලකයන් ද එලෙසින්ම අනාවරණය වී ඇත. පසුගිය වසර කිහිපයතුළ ක්‍රියාත්මක කරවන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් විවිධ ආගමික ගොඩනැගිලි, පාදම් සහ පුරාවස්තු සොයාගෙන ඇත. එමගින් ආළාහන පිරිවෙන පූජා භූමියෙහි ඉතිහාසය නැවත ගොඩනැගිය හැකි තරමේ අනර්ඝ තොරතුරු රැසක් හමු වී ඇත.

(පොළොන්නරුව මධ්‍යකාලීන ලක්දිව අගනගරය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 182 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 1998)

පොළොන්නරුවේ සංඝාරාම වශයෙන් හඳුනාගත හැකි පුදබිම් ලෙස දළදාමළුව, මැණික් වෙහෙර, පොත්ගුල් වෙහෙර, උත්තරාරාමය හෙවත් ගල්විහාරය, ආළාහන පිරිවෙන පමණි. එහෙත් චූලවංසයෙහි සහ අනෙක් පුරාණ සාහිත්‍ය ග්‍රන්ථවල පළමුවන පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද සංඝාරාම එකොළහක් පිළිබඳ සඳහන් වෙයි.

(චූලවංසය මහාවංසයේ දෙවැනි කොටස - 78 වැනි පරිච්ඡේදය ගාථා 31 සිට)

නිසි අවබෝධයක් ලබාගත හැකි සංඝාරාම දෙකකි. එයින් එකක් පොළොන්නරුවේ ආළාහන පිරිවෙන ය. අනෙක පොත්ගුල් වෙහෙරය. ආළාහන පිරිවෙන මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයකි. දැනට ශේෂ වී ඇති නටබුන්වලට අනුව පොළොන්නරුවේ ඇති විශාලතම සංඝාරාමය මෙය වේ. මෙය සැලසුම්කරණය අනුව අනුරාධපුරයේ දෙවන භාගයේ ඉදිකළ පබ්බතාරාම ක්‍රමයට නිර්මාණය කර තිබේ. එසේ වුව ද, මෙය නිර්මාණය කිරීමේ තාක්ෂණය අනුව විශාල වෙනස්කමක් දක්නට ලැබේ. මෙහි මාලක සෑදීමේ දී කුඩා කඳු ගැටයක් උපයෝගී කරගෙන ඇත. මෙම කඳු ගැටය කපා එකිනෙකට පහත් වන පරිදි මාලක හතරක් නිර්මාණය කර ඇත. විවිධ කාර්යයන් සඳහා උපයෝගී කරගන්නා ගොඩනැගිලි වර්ග මෙම එක් එක් මාලකවල සාදා ඇත. මෙසේ ඒ ඒ මාලකවලට විවිධ වර්ගයේ ගොඩනැගිලි වෙන් කිරීමේ කාර්යය නිගමනය කර ඇත්තේ බුදු සමයට අයත් අභිචාරිකා විධි හා භික්ෂූන් වහන්සේලාගේ එදිනෙදා ජීවිතයට අදාළ වන කාර්යයන් මගිනි. ආගමික පූජා විධි අනුව බෙහෙවින් වැදගත් යැයි සලකන ගොඩනැගිලි ඉහළම වේදිකාවල සාදා ඇත. ආළාහන පිරිවෙනෙහි ඉහළම මාලකය වෙන් කර ඇත්තේ උපෝෂථාගාරයටයි. මෙය බුද්ධ ශාසනයේ පැවැත්මට අතිශයින් ම වැදගත් ගොඩනැගිල්ලයි. එම කාර්යය ප්‍රයෝජනවත් වන්නේ භික්ෂූන්ගේ අඛණ්ඩ පැවැත්මට හේතුවන විනයකර්ම පැවැත්වීමට යි. පූජනීය වශයෙන් වැදගත් නොවූව ද, භික්ෂු උන්නතිය උදෙසා බෙහෙවින් වැදගත් මෙම උපෝෂථාගාරය මහල් දොළසකින් යුත් බහුකාර්යය ගොඩනැගිල්ලකි.

දෙවන මාලකය යොදාගෙන තිබෙන්නේ පූජනීය ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ය. එහි ස්තූපය ද ප්‍රතිමා ඝරය (පිළිමගෙය) ද (ඇතැම් විට බෝධි ඝරය ද) ඉදිකොට තිබේ. දැනට බෝධිඝරය තිබූ ස්ථානය සොයා ගෙන නැත. එහෙත් ස්තූපයත්, ප්‍රතිමා ඝරයත් ඉතා හොඳින් ඉතිරි වී තිබේ. පහතම මාලක දෙක වෙන් වී ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ දිනපතා ප්‍රයෝජනය සඳහා වූ ගොඩනැගිලිවලට ය. එනම් භික්ෂු කුටි, භික්ෂු පාසාද, නාන පොකුණ, මණ්ඩපය ආදිය සඳහා ය.

ආළාහන පිරිවෙනෙහි වැදගත්කම

ආළාහන පිරිවෙන පොළොන්නරු යුගයේ ඉදිකළ සංඝාරාමයක උසස්ම නිදර්ශනය ලෙස සැලකිය හැකි ය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙම ආරාමයේ සැලසුම්කරණය සහ ගොඩනැගිලි පිහිටා තිබෙන අයුරු පරීක්ෂා කර මෙසේ සඳහන් කරයි. “ශ්‍රී ලංකාව් පැරැණි වාස්තු විද්‍යාඥයෝ ගොඩනැගිලි ඉදිකිරීමේ දී පිහිටි පොළවත් සමග සාම්‍යත්වයක් ඇති කොට ගොඩනැගිලි නිර්මාණය කිරීම දක්ෂ ලෙස කළහ. ඔවුන් උසස් කලා කෘති යැයි සැලකෙන සංකල්පවලට ගැති නොවූවා පමණක් නොව, ග්‍රන්ථ සම්ප්‍රදායයන්හි දැක්වෙන ක්‍රම සහ විධිවලට ද වහල් නොවී ය. ගොඩනැගිලි තැනීමේ දී ආගම හා සම්ප්‍රදායන් මගින් ඒවායේ අංගෝපාංග තැනීම මෙහෙයවූ බව සත්‍යයකි. එහෙත් ගොඩනැගිලි සමූහයක් අතර අන්‍යොන්‍ය සබඳකම් ඇති කිරීමේ දී ඒ පිළිබඳ බෙහෙවින් සුදුසුක්‍රම අනුගමනය කිරීමට ඔවුන්තුළ ඔවුන්ට ම ආවේණික වූ හැඟීම් පැවතිණි. ඔවුන් විසින් ඉදි කරන ලද ගොඩනැගිලි භූමියේ පිහිටීමට එරෙහිව යෑමට ඉඩ නොතිබිණි.

(පුරා විද්‍යා පාලන වාර්තාව 1912 - පි. 10)

මෙකල ආළාහන පිරිවෙනෙහි අවශේෂයන් පිහිටා තිබෙන්නේ උතුරේ සිට දකුණට අඩි 1880 වූ ත්, නැගෙනහිර සිට බටහිර අඩි 970 වූ ත් උස් කඳු ගැටයකින් යුක්ත වූ භූමි භාගයක ය. මේ භූමිය එකිනෙකට උස්ව පිහිටි මාලකවලට තනා ඒවා නැගීම පිණිස පියගැට පේළි නිර්මාණය කර ඇත. මේ මාලකවලින් වැසි ජලය බැස යෑමට මකර හැඩයට සාදන ලද ගල් පුවරු සවිකර ඇත. මෙම සංඝාරාමයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඇත්තේ නැගෙනහිරිනි. 1910 මෙම පුදබිමෙහි පුරාවිද්‍යා කැණීම් මෙහෙය වූ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා මෙම සංඝාරාමය හඳුනා ගැනීමට අවශ්‍ය සෙල්ලිපි හා සාහිත්‍යමය සාධක සොයාගත්තේ ය. ඒ අනුව මෙය පළමුවැනි පරාක්‍රමබාහු රජු විසින් ඉදි කළ ආළාහන පිරිවෙන ය.

(Archaeological Survey of ceylon Annual Report - 1910 - 1911 p . 37)

(පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව - මහාචාර්ය එච්.ටී. බස්නායක මහතා විසින් අපේ සංස්කෘතික උරුමය දෙවන කාණ්ඩයට ලියන ලද ලිපිය. පි. 342 - 343 මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශනයකි. - 1998)

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk