[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: සෞන්දර්යයේ බලාපොරොත්තුව ආධ්‍යාත්මික සුන්දරත්වයයි

සෞන්දර්යයේ බලාපොරොත්තුව ආධ්‍යාත්මික සුන්දරත්වයයි

බුදු දහම යථාර්ථවාදී දහමක් මෙන් ම සෞන්දර්යාත්මක දර්ශනයක් ද ගැබ් වී පවතින බව හඳුනාගත හැකි ය. මේ ලෝකයේ සැබෑ වූ යථාර්ථය පිළිබඳ ව බුදු දහම සෞන්දර්යාත්මක ව කරුණු පැහැදිලි කරයි.

“පූජේමි බුද්ධං - කුසුමේන නේන
පුඤ්ඥේන මේතේන ලභාමි
මොක්ඛං” පුප්පං මිලායාති යථායි ධම්මේ - කායෝ තථායාති විනාශ භාවං

අප ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද මේ මල් බුදු හිමියන් ළඟ පරවී යන්නා සේ, මාගේ ශරීරය ද කෙමෙන් කෙමෙන් වෙනස් වීම නමැති යථාර්ථයට මුහුණ දෙමින් විනාශ වී යයි. මේ ලෝකයේ පවතින්නා වූ කිසිම දෙයක් සදාකාලික නැත. අනිත්‍යයි. ලෝකයේ පවතින සියලු දේ වෙනස් වන සුළුයි. මේ ලෝකයේ පවතින වෙනස්වීම නමැති යථාර්ථය සෞන්දර්යාත්මක ව සාකච්ඡා කරන දහමක් ලෝකයේ පවතී නම්, ඒ බුදුදහම පමණයි. සෞන්දර්ය මානව අවශ්‍යතාවයක් වන අතර භෞතික සෞන්දර්ය හා අධ්‍යාත්මික සෞන්දර්ය වශයෙන් අංශ දෙකක් යටතේ බුදු දහම තුළ සෞන්දර්ය විග්‍රහ කළ හැකි ය. එසේ වුව ද, භෞතික සෞන්දර්ය හා අධ්‍යාත්මික සෞන්දර්ය අතර විශාල වෙනසක් පවතී. ඇසට පෙනෙන දේ භෞතික සෞන්දර්ය වශයෙන් හඳුනාගත හැකි ය. එනම්, හිමිදිරි උදෑසන පිපුණු මල් ලස්සනයි. ඇසට පි‍්‍රය උපදවයි. එම වර්ණවත් වූ මල් කෙතරම් නම් සුන්දර ද? මල් පොහොට්ටුවක් ව තිබී, අලංකාරවත්ව වර්ණවත් වී, පෙති විහිදුවමින් පිපුණු මල් දකින්න ඇස ද පි‍්‍රය උපදවයි. නමුත් ලස්සනවුත්, වර්ණවත් වූත් එම මල්වල සුන්දරත්වය සදාකාලික නැත. සුවඳ හමමින්, හිමිදිරි උදෑසන පිපී තිබුණ මල් පරවී යයි. වර්ණවත් ව පෙති විහිදුවමින් පරිසරය සුවඳවත් කරමින් පිපුණ මල් මොහොතින් මොහොත වෙනස් වෙමින් ඊළඟ දවස වන විට පරවී යයි. එම අධ්‍යාත්මික සෞන්දර්ය නම්, එකම අවස්ථාවක දී ඇසට ගෝචර නොවුණ ද, තත්පරයෙන් තත්පරයට සියලු දෙය වෙනස් වන බව අවබෝධ වීමයි.

බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑමට වැඩම කරවන මොහොතේ දී ත් ‘රමණී යං. ආනන්ද වේසාලේ’ යනුවෙන් ආනන්ද හිමියන් අමතා දේශනා කළ සේක. ආනන්ද, විශාලා මහනුවර ලස්සනයි නේද? යනුවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ බව එහි අදහසයි.

වහං වින්දක මාරුක්ඛං යන බුද්ධ දේශනාවට අනුව ගස් නොකැපිය යුතු ය. පරිසරයට හානි නොකළ යුතු ය. කෙලෙස් වනය සිඳිය යුතු ය. යනුවෙන් වන රෝප සූත්‍රයේ දී පින් රැස් කරගත යුතු ක්‍රියා වදාළ සේක.

ආරාම රෝපා වන රෝපා යේ
ජනා සේතු කාරකා
තපංච උදපාරංච යේ ද දනං
උපස්සයං

ආරාම කරවීම, වනාන්තර කරවීම, ඒ දඬු, පාලම් ඉදිකිරීම, පරිසරය ලස්සන කිරීම, ජල පානය සඳහා සුදුසු ස්ථාන කරවීම දිනපතා පින් රැස්වන කාරණා බව එහි අර්ථයයි.

සෙමින් කතා කිරීම බුදුපියාණන් වහන්සේ පි‍්‍රය උපදවනු ලැබූ කාරණාවකි. කෑ කෝ ගසමින් අනවශ්‍ය ලෙස ශබ්ද නගා කතා කළ ස්වාමීන් වහන්සේලාට පවා බුදුරජාණන් වහන්සේ අවවාද කළ අවස්ථා සූත්‍ර දේශනාවල දැකිය හැක. ‘අප්ප සද්ධා’ එනම් හඬ අඩු කරගන්නා ලෙසයි. වායු දූෂණය නොකළ යුතු බවත්, ජලයට මළපහ එක්කර ජලය දූෂණය නොකළ යුතු බවත්, අලංකාරවත් ව මල් ගස් සිටුවිය යුතු බවත්, ස්වභාව ධර්මයේ දායාදය අපවිත්‍ර නොකළ යුතු බවත් සූත්‍ර දේශනාවල සඳහන්වේ.

මනුෂ්‍ය ශරීරය වුව ද, බාහිරව මෙන්ම අභ්‍යන්තරිකව ද පිරිසුදු විය යුතු ය. කෙලෙස් නැසූ රහතන් වහන්සේලා ද, වනය ආශි‍්‍රතව ජීවත්වීමට පි‍්‍රය උපදවන බව ධම්ම පදයේ ද සඳහන්ව ඇත. වර්තමානය තුළ බුදු දහම අනුව ජීවත් නොවන පිරිස්, වගේම බුදු දහම පිළිබඳව අවබෝධයෙන් තොර පුද්ගලයන්, පරිසරය සෞන්දර්ය නොසලකා හරී. බුදු දහම පිළිගන්නා පුද්ගලයන් පරිසරය ආරක්ෂා කරයි.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk