[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් නැති ලොවනොවේ සසොබන

දහම් නැති ලොවනොවේ සසොබන

"ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීම සඳහා ධර්මශාස්ත්‍ර ඥානය නමැති ඇස් දෙක තිබිය යුතු ම ය. ලෝකය කෙබඳු ද? ඒ ලෝකයේ කුමක් කළ යුතු ද? කුමක් නොකළ යුතු ද? කුමක් සැපතට හේතු වේ ද? කුමක් දුකට හේතු වේ ද? යනුවෙන් උභයාර්ථ සාධනය සඳහා බොහෝ ඇසූ පිරූ තැන් මිනිසෙකු සතුවිය යුතු ය."

විශ්වය අප දකින, අසන, දැනෙන දෙයට වඩා බොහෝ සංකීර්ණ ය. සංකීර්ණ විශ්වයේ යථා ස්වභාවය අවබෝධ කරගත් එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. එම නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ යනුවෙන් හඳුන්වති. මේ ලෝකය පිළිබඳ ව දැනගැනීම ඉතාමත් දුෂ්කර ය. නොයෙක් පුදුම දේවලින්, පුදුම කරුණුවලින් පිරී පවතී. ඒ සියල්ල ම මසැසට විෂයව පවතින දේ නොවෙති. ලෝකයේ ඇසින් බලා අවබෝධ කරගන්නා වූ දෙයට වඩා එසේ දැනගත නොහැකි දේ බොහෝ වෙති. ධර්ම ශාස්ත්‍ර දෙක වනාහි ප්‍රකෘති ඇසට අවිෂය වූ, බොහෝ දේ පිළිබඳව ස්මරණය අවදි කරන්නා වූ දිව්‍ය ඹෟෂධයකි. මිනිසෙකුහට මෙලොව සැප ඇතිව, ගරු නම්බු ඇතිව කල් ගත කිරීම හා මරණින් මතු සුගතියට පැමිණීම යන දෙක ඇසට පෙනීමෙන් ම වන දැනීමෙන් පමණක් කිසි කලෙකත් සිදු කර ගත හැකි නොවේ.

ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීම සඳහා ධර්මශාස්ත්‍ර ඥානය නමැති ඇස් දෙක තිබිය යුතු ම ය. ලෝකය කෙබඳු ද? ඒ ලෝකයේ කුමක් කළ යුතු ද? කුමක් නොකළ යුතු ද? කුමක් සැපතට හේතු වේ ද? කුමක් දුකට හේතු වේ ද? යනුවෙන් උභයාර්ථ සාධනය සඳහා බොහෝ ඇසූපිරූ තැන් මිනිසෙකු සතු විය යුතු ය. මෙසේ ධර්මය පිළිබඳව ප්‍රාමාණික හෝ අවබෝධයක් නොමැති පුද්ගලයා දෙ ඇස් ම නොපෙනෙන අන්ධයෙකු හා සමාන ය.

පෙර විසූ බොහෝ මිනිසුන් ධර්මය ශ්‍රවණයට බොහෝ සෙයින් ප්‍රිය කළහ. සාක්ෂරතාවය මද වුවත්, ධර්මය ජීවිතයට ප්‍රායෝගික කර ගනිමින් ජීවිතාවබෝධය සලසා ගත්හ. දඹදෙණි යුගයේ දී දෙවන ධර්මසේන යතිවරයන් වහන්සේ සද්ධර්මරත්නාවලිය රචනා කරන ලද්දේ සාක්ෂරතාවය නොමැති මිනිසුන්ට සද්ධර්මයේ ස්පර්ශය ලබා දීමට ය.

ගිහියන් විසින් මුදල් උත්පාදනය සඳහා ශිල්ප ශාස්ත්‍ර උගත යුතු ය. එහෙත් එය භෞතික ය. මේ භවයට පමණක් සීමා වන්නකි. ආධ්‍යාත්මික ලෝකයත්, භෞතික ලෝකයත් යන දෙඅංශය ම ගිහියා විසින් ප්‍රගුණ කළ යුතු ය. එසේ නොකොට උදර පෝෂණය ම ප්‍රධාන කොට වාසය කරන්නාට සඟමොක් සැප ලැබීම දුෂ්කර වේ. එබැවින් ගිහියන් විසින් ද හැකිතාක් ධර්මය උගත යුතු ය.

පෙර බෞද්ධයන් එක බණ පදයක් ඇසීමට තිස්සමහාරාමයේ සිට අනුරාධපුරයට ද, අනුරාධපුරයේ සිට තිස්සමහාරාමයට ද ගොස් තිබේ. මහත් රාජ කාර්යන්හි නියුක්ත වූ සද්ධාතිස්ස ආදී රජවරු පවා ඒ සා මහත් කටයුතු තිබිය දී තුන්යම් රැය මුලුල්ලෙහි සිටගෙන ම බණ අසා තිබේ.

සතුරන්ට අසුවී මිය යෑමට වඩා සියදිවි නසා ගැනීම මැනවයි සිතූ අනුරාධපුරයෙහි විසූ තුන්වන දෙටු තිස් රජතුමා සිය පෙම්වතිය වෙත අන්තිම පෙම් හසුන යැවුයේ මෙසේ ය.

‘මහාදේවීනි ඔබ පැවිදි වැ, ආගම ධර්මය හදාරා, අභිධර්මය කියා, රජහට පින් දුන මැනව‘ යනුවෙනි.

මෙසේ අපේ පුරුෂ පක්‍ෂය මෙන් ම, ස්ත්‍රී පක්‍ෂය ද දුරාතීතයේ පටන් ම ධර්මය උගෙනීමෙහි මහත් ලැදිකමක් දැක් වූ බව නොරහසකි. අනඳ මහතෙරුන් වහන්සේගෙන් නිතර ධර්මය ඉගෙන ගත් මල්ලිකා දේවිය ප්‍රමුඛ පන්සියයක් ස්ත්‍රීන්ගේ කථා පුවත ද, තමා ඇසූ ධර්මය ඒ වූ පරිදි එක අකුරකුදු අඩු වැඩි නොකොට එසේ කියා දීමෙන් සාමාවතී දේවිය ප්‍රමුඛ කොට ඇති පන්සියයක් බිසෝවරුන්ට මාර්ගඵලාවබෝධය පවා ලබා දුන් බුජ්ජුත්තරාවගේ පුවත ද මෙහිලා නිදසුන් වෙති

බණ ඉගෙනීම තුළින් බොහෝ සම්පත් ලද උපාසිකාවන් ගැන ද බෞද්ධ සාහිත්‍ය තුළ මනාව පැහැදිලි වේ. පෙර මෙම ලක්දිව අනුරාධපුරයට නුදුරුව බටහිර දිග් භාගයෙහි ගමක එක් පුරුෂයෙකුට රන් කඳක් වැනි රූපයක් ඇත්තා වු ද, මහා නුවණැත්තා වූ ද එකම දියණියක් විය. ඇයට හේමා යයි නම් තබන ලදී. ඕ තොමෝ එක වරක් ඇසූ ඕනෑ දෙයක් පාඩම් කර සිත්හි දරා ගැනීමට සමත් ය. දිනක් හේමාවෝ සිය පියාණන් ද කැටුව බණ අසන රිසියෙන් අසල පන්සලට ගියා ය.

එ සමයෙහි දම් දෙසූ භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් දුකින් මුදවා ගැනීමට පළමුවෙන් වදාළ ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළහ. හේමාවෝ ඒක ශ්‍රැතියෙන් දරා ගැනීමට සමත් , මහා නුවණැති හෙයින් අර්ථ කතා සහිත වූ සූත්‍රය එක අකුරක්වත් නොවරදවා ම මුතුවැලක් අමුණන්නියක සේ එකඟ වූ සිතින් යුතුව සම්පූර්ණයෙන් සිත්හි දරාගෙන කට පාඩම් වශයෙන් තබා ගත්හ. පසු කලෙක පිටිසර පළාතක වැසි එක් වෙළෙන්දෙක් වෙළෙඳාම පිණිස ඇය වසන ගම් ප්‍රදේශයට ගොස් වෙළෙඳාම් කරන්නට පටන් ගත්තේ ය. මෙලෙස වෙළෙඳාම් කරමින් ගමේ ඇවිදින ඔහුට හේමාවන් හමු වී ඇය කෙරෙහි ආල සිතක් පහළ විය. මෙලෙස ප්‍රේමයෙන් ටික දිනක් වාසය කරන අතර වෙළෙඳ තෙමේ තමාගේ ගමට ගොස් ආපසු පැමිණෙන්නෙමියි කියා ගොස් නැවත ඇය බැලීමට නො ආවේ ය.

වෙළෙන්දා කෙරෙහි බලවත් ප්‍රේමයෙන් බැඳුණු හේමාවෝ ඔහු අද එයි, හෙට එයි සිත සිතා සිටියා. බොහෝ කලක් ගත විය. ස්වකීය ප්‍රේමවන්තයා වූ වෙළෙඳ තෙමෙ තවමත් එහි නො ආවේ ය. අවංක ප්‍රේමයක් ඇති කරගෙන සිටි හේමාට මෙය ඉවසාගත නොහැකි කනගාටුවකි. ඇගේ සිත කම්මලක් මෙන් නොසන්සුන් විය. කල් යත්, යත්ම හේමාවන්ගේ ප්‍රේමය ත්‍රීව්‍ර වන්නට වුවා ය. එම මතකයන් සමග ඇයට මෙලොව ජීවත් විම දැන් කරදරයක් මෙන් වැටහෙයි. ඇය මරණයට නිතරම සූදානම්ව සිටින්නියකි.

දිනක් සිය ප්‍රේමවන්තයා වාසය කරන ගමට යෑමට සිතූ ඇය මධ්‍යම රාත්‍රියෙහි නිවසින් පිටත් වූවා ය. මෝහයෙන් මූඪ වූ ඇගේ බය ගතිය රාගයෙන් වසන ලද හෙයින්, රාත්‍රිය ගැන මදක්වත් නොසිතා මහ මග යන්නී ගොඩ මග දුරයැයි සිතා මුහුදින් පීනා විගස යනු හැකි යයි සිතා මුහුදු වෙරළට පැමිණියා ය. හිසකේ ගොතා තදකොට බැඳගෙන මුහුදු දියට පැන පිහිනන්නට පටන් ගත්තා ය. මෙතරම් දුර මාර්ගය, රාගයෙන් රත් වූ ඇයට යාබද නිවසකට යන ගමනක් මෙන් වැටහිණි. මෙසේ පිහිනන්නට වූ හේමාවන් දුටු එක් නාග රාජයෙක් ඇය සමඟ කතා කරන්නට විය. ඇය, ලක්දිව තැනැත්තියක බව දැන ගත් නාග රාජයා ලක්වැස්සෝ බොහෝ දෙනෙක් ධර්මධරයෝ ය. තොපත් දන්නා යම් ධර්මයක් තිබේදැයි නාරජු ප්‍රශ්න කළේ ය. එවිට හේමාව "මම වැඩි ධර්මයක් නොදනිමි. එහෙත් අර්ථ කතා සහිත වූ දම්සක් පැවතුම් සූත්‍රය දනිමියි" කීවා ය. බණ අසනට රිසි වූ නාරද තෙමේ මුහුද මැද සත්රුවන් මණ්ඩපයක් තනවා, එහි හේමා කුමරිය වඩා හිඳවා, ධර්ම දේශනාව ශ්‍රවණය කොට, ඉමහත් සතුටට පැමිණ, කැමති කැමති සියලු සම්පත් හේමාවන්ට පූජා කොට යනු කැමැති වූ වෙළෙන්ඳාගේ නිවසට ස්වකීය ආනුභාවයෙන් පැමිණ වී ය.

පෙර අප බෝසත් දහම් සොඬ රජතුමා ධර්මයෙන් වෙන් වූ රාජ්‍යයෙන් කිසිදු ඵලයක් නැතැයි සිතා ඒ සා මහත් රාජ්‍යය පවා අත් හැර ධර්මය සෙවීම පිණිස වනගත විය. ඒ බව දහම් සොඬ කවෙහි මෙසේ දැක්වේ.

වෙරළ නැති සයුර මෙන
රිවි සඳ නැති අහස මෙන
පහන් නිවි ගෙය මෙන
යුවළ දළ නැති මත ගිජිඳු මෙන
කමල නැති විල මෙන
තරල මිණ නැති හර මෙන
ගහණ සුන් වත මෙන
දහම් නැති ලොව නොවේ සසොබන

ධර්මය නොදත් මිනිසාගේ සිත ආහාර පාන නැති, වර්ෂාවක් නැති සුළඟක් නැති, මහා දැවැන්ත කාන්තාරයක් වැනි ය. එය ස්පර්ශ කළත් වේදනාවකි. ඇසුරු කළත් වේදනාවකි. අසලට ගියත් වේදනාවකි. ඇසුවත් වේදනාවකි. අත් වින්ඳත් වේදනාවකි. ඒ මිනිසාගේ හදවතේ තෙතමනය නැති තරම් ය. ධර්මය උගෙනීමෙන් ගොඩ නැගෙනුයේ හදවත හඳුනන, ධර්මය ජීවිතයට ස්පර්ශ වූ මිනිසුන් ගොඩ නැගීම ය.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk