සම්මා වාචා
හෝමාගම පුරාණ විහාරාධිපති
පළාත් සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්)
මාදෝවිට
වජිරබුද්ධි හිමි
බුදුන් වදාළ ධර්මය මෙලොව, පරලොව දෙලොවට ම
සුබදායක වේ.
බුදුරදුන් වදාළ ධර්මය ලොවට සෙතකි.
ශාන්තියකි.
සම්මා වාචා හෙවත් යහපත් වචනයට බුදුදහමේ ප්‍රමුඛ තැනක් හිමිවේ. මෙම මානව ශිෂ්ටාචාරය
ඔවුනොවුන් වචන හුවමාරු කර ගැනීම නිසා ශීඝ්‍රයෙන් දියුණු විය. සත්‍යය දස
පාරමිතාවලින් එකකි.
සම්මා වාචා යනු පරම සච්ච හෙවත් පරම සත්‍යයයි. බොරුකීම. කේළාම් කීම, පරුෂ වචන බිණීම
සහ හිස් වචන දෙඩීමෙන් වැළකී සුභාෂිත වචන දෙඩීම සම්මා වාචාවලට අයත්වේ. මෙය සීලමය
පදනමේ එක අංගයකි. “යම් බසක් වචනයක් නිර්දෝෂී වේ ද, හෘදයාංගම වේ ද, කනට සුව එළවයි ද,
පේ‍්‍රමණීය වේ ද, පුරවැසි වේ ද, බොහෝ දෙනට කර්ණ රසායන වේ ද, බොහෝ ජනතාව මනමත් කරන
සුළුවේ ද, එබඳු බස් තෙපළීම වේ” යයි මජ්ක්‍ධිම නිකායේ සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රයේ
සඳහන් වේ.
බුදුරදහු අසත්‍ය මිථ්‍යාවාචා පි‍්‍රය නොකළහ. චතුරාර්ය සත්‍යය මේ ලෝකයේ පවතින සැබෑම
සත්‍යය වේ. බුදුන් වදාළ ධර්මය මෙලොව, පරලොව දෙලොවට ම සුබදායක වේ. බුදුරදුන් වදාළ
ධර්මය ලොවට සෙතකි. ශාන්තියකි. “ඒතේන සච්චේන සුවත්ථි හෝතු” යයි ආශිර්වාද කරති.
සත්‍යය අමෘත පදයකි.රසයන් අතර සත්‍යය රසය හරවත් ම රසය වේ. සියලු ආකාර මුසාවන් දුරු
කළ යුතු ය. (සප්ප අභූතං පරිවජ්ජයෙය්‍ය) ආදි වශයෙන් සත්‍ය වචනයේ ඇති වැදගත්කම පහදා
දී ඇත. පංච සීල ප්‍රතිපදාවේ මෙන් ම අෂ්ටාංග උපෝසථ සීලයේ දී මුසාවාදයෙන් වැළකීම
පිළිබඳ ශික්ෂා පද පනවා ඇත. මුසාව, කේළාම් පරුෂ වචන ආදිය නිසා සමාජය තුළ ගැටුම්
උදාවේ. පුද්ගලයා හඳුනා ගැනීමට උපකාරි වන්නේ ඔහුගේ වාග් මාලාවයි.
දිනක් බුදුරදහු භික්ෂු, භික්ෂුණී උපාසක – උපාසිකා සිව්වනක් පිරිස පිරිවරා සිංසපා
වනයට වැඩම කළහ. සේතව්‍යානුවර එම ඇට්ටේරියා වනයේ ඇට්ටේරියා කොළ මිටක් අතට ගත්
බුදුරදහු තමන් දේශනා කළ ධර්මය, අතැති ඇට්ටේරියා කොළ මිට ට සමාන කළ හ. අර්ථවත්
අත්‍යවශ්‍ය කරුණු පමණක් දේශනා කළ බව එමඟින් ප්‍රකාශ වන බව සංයුත්ත නිකායේ සිංසපා
සූත්‍රයෙන් හෙළිවේ. අනර්ථවත් වචන දහසක් පවසනවාට වඩා අර්ථවත් එක සුභාෂිතය යහපත් බව
ද, ධම්මපදයේ සඳහන් වේ. තමාට සහ සමාජයට වැඩ ඇති එකම දහම සමාජය හා තමන් බබුළුවයි.
බුදු සමය වෙත ප්‍රථමයෙන් එළඹෙන පුද්ගලයා මෙන් ම වෙනත් ආධුනික පිරිස් බුදුරදුන් බැහැ
දැකීමෙන් පසු ක්‍රමානුකූලව එම ශ්‍රාවක පිරිස තම දහමට සමීප කරගන්නා වැඩ පිළිවෙළක් ද
ඇත. එය සසුනේ අනුපිළිවෙළ කතා යනුවෙන් සඳහන් වේ. දාන කථා, සීල කථා, ස්වර්ග කථා
කාමයන්ගේ ආදිනව, ලාමක බව, කාමයන්ගේ කෙලෙසීම, කාමයන්ගේ හික්මුණු බව හෙවත්
නෛෂ්ක්‍රම්‍යයේ ආනිශංස ද එයට අයත් බව දීඝනිකාය අම්බට්ඨ සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍රවල
සඳහන් වේ. බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශ අපමණ වේ. බුදුරදුන් ධර්ම දේශනා කිරීමෙන් හෝ
අනුශාසනා කිරීමෙන් අනතුරුව බොහෝ ගිහි – පැවිදි පිරිස් ප්‍රකාශ කරන ලද්දේ” ගෞතමයන්
වහන්ස, ධර්ම දේශනය ඉතා විශිෂ්ට ය. ඉතා මනස්කාන්ත ය. යටිකුරු කළ භාජනයක්
උඩුකුරුකරන්නා සේ , වැසී තිබූ දෙයක් විවෘත කරන්නා සේ , මං මුළාවූවෙකුට මාර්ගය
කියන්නා සේ, අන්ධකාරයට ආලෝකයක් උදා කරන්නා සේ මැනවින් ධර්ම දේශනා කළ බවකි.
සීලයේ පදනම ද වචනය මුල් කරගෙන, කේන්ද්‍රීය කරගෙන ක්‍රියාත්මක වේ. සීල සමාදානය ද
සම්මාවාචාව සුරක්ෂිත කිරීමට ඉවහල් වේ. එහි දී වචනයෙන් බිඳී යන සීලය රැක ගැනීමට
දෙතිස් කතාවලින් වැළකිය යුතු බව ද දීඝනිකාය ලෝහිච්ච ආදි සූත්‍රවලින් හෙළිවේ. රජ,
සොරු, මහ ඇමති, යුද්ධ, ආහාර පාන, වස්ත්‍ර, සයන, මල්දම්, ස්ත්‍රී, පුරුෂ, කුමරි,
කුමර මහා සමුද්‍ර ජනපද මහා කතා ආදිය දෙතිස් කතාවලට අයත් වේ. මුසාවාදය පංච දුශ්චරිත
වලට මෙන්ම සතර කර්ම ක්ලේශවලට ද අයත් වේ.
සම්මා වාචාව ඇති කල්හි කලහ විවාද නැත. මුඛය හෙවත් කට කෙටේරියක් බවත්, දුර්භාෂිත
දෙඩීම තුළින් එම කෙටේරිය තමාට සහ සමාජයට අවැඩක් ම සිදුවන බවත් බුදු සමයේ පිළිගැනීම
වේ. බුදුරදුන් වදාළ ධර්මය අසූහාර දහසක් ධර්මස්කන්ධ වලින් යුක්ත වේ. එවැනි ශ්‍රේෂ්ඨ
ධර්මයක් ඇති කල්හි එම දහම දේශනා කරන, ශ්‍රවණය කරන පිරිස ධර්ම රත්නයේ සරණ ප්‍රාර්ථනා
කරති. බියක්, තැති ගැනීමක් , ලොමු දැහැගැනීමක් උදාවූ කල්හි ත්‍රිවිධ රත්නයේ ගුණ
සිහිපත් කිරීමෙන් එම උපද්‍රවවලින් වැළකිය හැකි බව ධජග්ග පිරිතේ සඳහන් ය. සත්‍ය
පාරමිතාවකි. සත්‍ය පාරමිතාව ද පරම සත්‍යයට අදාළ වූ සම්මා වාචාව නියෝජනය කරයි. පෙර
මගධයෙහි අපේ බෝසතුන් වටු ජාතියෙහි උපන් කල ප්‍රදේශයේ පැතිරී ගිය මහ ලැව්ගින්නක් පෙර
බුදුවරුන් දේශනා කල ධර්මයෙහි බලයෙන් ද, සීල, සමාධි, ප්‍රඥාදී ත්‍රිශික්ෂා ගුණ
මහිමයෙන් ද, සිදු කරන ලද සත්‍ය සිහිපත් කිරීමේ බලයෙන් ද ගින්න නිවා දමා ජනතාවට
පිහිට වූ පුවතක් වට්ටක ජාතකයේ සඳහන් වේ.
මේ අනුව සම්මා වාචා යන ආර්ය මාවතේ සඳහන් වාචසික ශක්තිය ඉතා පුළුල් තලයක පැතිරුණු
ධර්මතාවයකි. සම්මා වාචා හෙවත් සත්‍යය අමාවදනකි. මේ දහම සනාතනික පැරැණි දහමකි. සත්
පුරුෂයෝ සත්‍යයේ ද, අර්ථයෙහි ද, ධර්මයෙහි ද පිහිටා ක්‍රියා කරනු ඇති බව සංයුක්ත
නිකායේ සුභාෂිත සූත්‍රයේ සඳහන් වේ. |