මානසික සංවර්ධනයෙහි ප්‍රතිලාභ
අස්ගිරි මහාවිහාරීය කාරක සංඝසභික,
ඓතිහාසික බදුලු මුතියංගන
රාජමහා
විහාරීය භාරකාර,
ආචාර්ය
මුරුද්දෙනියේ
ධම්මරතන හිමි
" මානසික සංවරය වර්ධනයක ඇති වටිනාකම විනය ශික්ෂා පදවලින් ද මනාව පැහැදිලි වේ.
බුදුන් වහන්සේගේ අරමුණ වූයේ විනය ශික්ෂාපදවලින් භික්ෂූන් වහන්සේ කිසිදු විටකදී
සීමාවකට යටත් කර තැබිමක් නොවේ."
බුදුන් වහන්සේගේ ධර්මය මානසික දියුණුව කේන්ද්‍ර කර ගෙන දේශනා කළ ධර්මයකි.
පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුව තුළින් ඔහුගේ සාංසාරික ජීවිතයෙන් එතෙර කර වීමට
අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දීම උන්වහන්සේගේ අරමුණ වූ බව බුද්ධ දේශනා තුළින් මනාව
පැහැදිලි වේ. මානසික දියුණුව සිදුවන්නේ මනස යන ඒකකය පදනම් කරගෙන ය.
චිත්ත, මනස, විඤ්ඤාණ යනුවෙන් සිත පදනම් කර ගත් විවිධ යෙදුම් ධර්මය තුළ හමු වුවත්
මෙහිදී විමසා බලනු ලබන මානසික සංවර්ධනය මනස ඇසුරෙන් ගොඩනැඟී ඇති ආකාරයත්, එකී
මානසික සංවර්ධනයෙන් රහතන් වහන්සේලා ලබන ලද ආධ්‍යාත්මික ප්‍රතිලාභයන් ද විමසා බැලීම
මෙම කෙටි ලිපියේ අරමුණයි.
මනස විසින් සිතට පිවිසෙන අරමුණු මැන බලනු ලැබීම එහි මූලික කාර්යභාරයයි. සිතට අරමුණු
රැගෙන එන දොරටු පහක් (ඇතැම් තැනෙක හයක්) ඇත. ඒවාට විෂය වන අරමුණු පැමිණිවිට ඒවා තම
රුචිකත්වය අනුව විඤ්ඤාණය මගින් පිළිගෙන ඒවා සිත වෙත රැගෙන එනු ලබයි. සිත තුළ දී තම
සිතැඟි අනුව වර්ගීකරණය කරනු ලබයි. එහිදි ඇතැම් ඒවා හොඳයි, සුවයි වශයෙන් එක් අංශයකට
ද, ඇතැම් ඒවා නරකයි, දුකයි වශයෙන් තවත් අංශයකට ද පමුණුවනු ලබයි. මෙසේ හොඳ හා නරක
ලක්ෂණ හඳුනාගත නොහැකි අරමුණු තවත් අංශයකට ද යොමු කරයි. මෙසේ වර්ගකර ගත් සිතිවිලි මත
විවිධ සංඥාවන් උපදවා ගෙන, ඒවා සංකල්පීය වශයෙන් වැඩි දියුණු කර ගනිමින් මානසික
අසහනයකට පත්ව පීඩනයකින් යුක්තව ජීවත් වීම සාමාන්‍ය මිනිස් ජීවිතවල ලක්ෂණයයි.
අරමුණුවල රසය වින්දනය කරමින් ජීවත් වීමට වඩා අරමුණු පිළිබඳව සංකල්ප උපදවාගෙන මානසික
ලෝකයක ජීවත් වීම වඩාත් හානිදායක ය. එනිසා එකී ජීවිතවලට මානසික සංවර්ධනය නිසා ලැබෙන
ප්‍රතිලාභ අහිමි වී යන්නේ ය. එහිදී මානසික දියුණුව වෙනුවට මානසික පරිහානිය අත්පත්
කර ගැනීමට එකී පිරිසට සිදු වේ.
මානසික සංවර්ධනයට බාධා පමුණුවන මානසික සිතිවිලි සමූහයක් වේ. ඇතැම් තැනෙක දස අකුසල
වශයෙන් මේවා හඳුන්වා ඇත. අකුසල ධර්මයෝ නිවන් මඟට ප්‍රතිපක්ෂ වෙති. ඒවා දුරු කළ
යුතුයි. එසේ දුරු කිරීමෙන් මානසික සංවර්ධනය සිදු වේ. එමගින් මානසික සුවය උදාවන බව
කියැවේ. නිර්වාණ ප්‍රතිපදාව අනුගමනය කරන්නා විසින් දුරු කළ යුතු දස අකුසලයක් සංගීති
සුත්‍රයෙහි දී මෙසේ දැක්වේ. එනම් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයන්හි වරදවා
හැසිරිම, බොරු කීම, කේලාම් කීම, පරොස් බස් බිණීම, ප්‍රලාප දෙඩීම, දැඩි ලෝභය, වෛරය
හා මිසදිටු බවයි. මෙවැනි දුර්ගුණ මනස තුළ ක්‍රියාත්මක වන විටදී මානසික පරිහානිය
ඇතිවේ. පිරිහුණු මනසක් ඇති පුද්ගලයාගේ මානසික සුවතාව බි¼දී, කායික පරිහානිය
ඇතිවන්නේ ය.
කුසල් උපදවන හා මානසික දියුණුවට පමුණුවන කර්මපථ දහයක් සංගීති සුත්‍රයෙහි දැක්වේ.
ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම,
බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, රළුවචන බිණීමෙන් වැළකීම, ප්‍රලාප
දෙඩීමෙන් වැළකීම, අනභිධ්‍යාව, අව්‍යාපාදය හා සම්‍යක්දෘෂ්ඨියයි. එසේම කුසල් උපදින
කරුණු රාශියක් අංගුත්තර නිකායෙහි තවදුරටත් දැක්වේ. නොපමාබව, උත්සාහය, අල්පේච්ජතාව,
සතුට, එළඹ සිටි සිහිය, යහපත් ප්‍රඥාව හා කලණමිතුරන් ආශ්‍රය නිසා කුසල් ධර්ම වර්ධනය
වෙයි. එසේම ආධ්‍යාත්මික දියුණුව උපදවයි.
මානසික සංවරය වර්ධනයක ඇති වටිනාකම විනය ශික්ෂා පදවලින් ද මනාව පැහැදිලි වේ. බුදුන්
වහන්සේගේ අරමුණ වූයේ විනය ශික්ෂාපදවලින් භික්ෂූන් වහන්සේ කිසිදු විටකදී සීමාවකට
යටත් කර තැබිමක් නොවේ. විනය ප්‍රඥප්තීන් තුළින් අපේක්‍ෂිත අරමුණ වූයේ භික්ෂු ජීවිතය
මූලික අරමුණුවලින් බැහැර වන අවස්ථාවන්හි දී, එනම් මානසික දියුණුව බිඳවැටෙන
අවස්ථාවලදී නැවතත් භික්ෂුව එම ඉලක්ක වෙත සමීප කිරීමට විනය ප්‍රඥප්තීන් මූල කාරණයක්
විය. ඒ අනුව විනය ගරුක පුද්ගලයා ස්වකීය මානසික දියුණුව වර්ධනය කර ගැනීම නිසා කෙමෙන්
විමුක්තිය වෙත සමීප කිරීමක් දක්නට ලැබේ. එහිදී ආධ්‍යාත්මික ශික්ෂණයෙන් මානසික සුවය
සාධනය වන ආකාරයෙන් බුදු දහමෙහි නීති පනවා ඇති බව විශුද්ධි මාර්ගයෙහි දැක්වෙන
කරුණුවලින් පැහැදිලි වේ. ඒ අනුව විනය සංවරය සඳහාත්, සංවරය විපිළිසර නොවීමටත්,
විපිළිසර නොවීම තරුණ ප්‍රීතිය සඳහාත්, තරුණ ප්‍රීතිය මහත් ප්‍රීතිය පිණිසත්, මහත්
ප්‍රීතිය පස්සද්ධිය සඳහාත්, පස්සද්ධිය සැපය පිණිසත්, සැපය සමාධිය සඳහාත් ය. එසේම එම
සමාධිය යථාභූත ඤාණ දර්ශනය පිණිසත්, යථාභූත ඤාණ දර්ශනය කළකිරීමටත්, කළකිරීම නො ඇලීම
සඳහාත්, නො ඇලීම විමුක්තිය පිණිසත් ය. අවසාන වශයෙන් එම විමුක්තිය විමුක්ති ඥාන
දර්ශනය සඳහාත් හේතු වේ. ඒ අනුව විනය හුදෙක්ම නිවන් පිණිසම වේ. එහිදී භික්ෂූව වැරැදි
ක්‍රියාවන් හා ප්‍රතිපත්තිවලින් නිදහස් කර මානසික සංවර්ධනය වේගවත් කිරීමක් සිදු වේ.
භික්ෂුවගේ නිර්වාණගාමී ප්‍රතිපදාව වේගවත් ය. එනිසා කිසිදු බාධකයකට නොපැමිණ
ආධ්‍යාත්මික දියුණුවේ ඉදිරියටම ගමන් කළ හැකි වන්නේ ය. එසේ අතිධාවනකාරී ස්වභාවය නිසා
රහතන් වහන්සේගේ මානසික සංවර්ධනයෙහි උපරිම සීමාවට ගමන් කර සුවසේ වෙසෙයි. එහිදි
මානසික සංවර්ධනයෙහි විවිධ ප්‍රතිලාභ උන්වහන්සේට ලැබේ.
භික්ෂුවක් තුළ පැවැතිය යුතු අධ්‍යාත්මික ගුණාංගවලට පසුබිම් වන්නේ ප්‍රඥාවයි. එනම්
අවබෝධයයි. එම අවබෝධයට ඇතුළත් වන ගුණාංග හැටහතක් භික්ෂූන් වහන්සේ තුළ ද, එම ගුණාංග ද
ඇතුළුව අතිරේක ගුණාංග හයක් (තෙසැත්තෑඤාණ) බුදුරජාණන් වහන්සේ තුළ ද පිහිටා ඇත. ඒවා
මානසික සංවර්ධනයේ ප්‍රතිලාභයන් ය. භික්ෂූන් වහන්සේලා ඒකායන අරමුණක් වෙනුවෙන් කටයුතු
කරන පිරිසක් වේ. මුල් යුගයෙහි ශාසනික බ්‍රහ්මචර්යාවෙහි හැසිරීමෙන් ලබා ගත්
ප්‍රගතියේ ලක්ෂණ ජරාමරණ සූත්‍රයෙහි දී සඳහන්ව ඇත. ඒ අනුව රහතන් වහන්සේලා විවිධ වූ
ආධ්‍යාත්මික ප්‍රතිලාභ ලබාගෙන සුවසේ ක්‍රියා කරති. කෙලෙස්වලින් දුරුවූ (අරහන්ත)
හෙයින් මානසික පීඩාවන් කිසිදා ඇති නොවේ. අරහන්ත භාවයට පැමිණීමෙන් බ්‍රහ්මචරිය වාසය
නිමවීම නිසා නැවත නැවතත් නිර්වාණය සඳහා කටයුතු කිරීමට අවශ්‍ය නොවේ. එහෙයින් රහතන්
වහන්සේලා නිර්වාණය සඳහා කළ යුතු සියල්ල ආර්ය මාර්ගයෙහි ගමන් කිරීමෙන් සිදු කළහ.
උන්වහන්සේලා බහා තැබූ කෙලෙස් බර ඇත්තේ වෙයි. ස්ඛන්ධ භාරය, කෙලෙස් බර, කාමගුණ භාරය
වශයෙන් වූ භාරයන්ගෙන් මිදී ස්ථාවර වූ මානසික සුවතාවයකින් කටයුතු කරයි. දස වැදෑරුම්
වූ භවසංයෝජනයන් සිඳ දැමූයේ වෙයි. යහපත් වූ කරුණු දැන මිදුණූ හෙයින් ද මාර්ග
ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැන ඵලවිමුක්තියෙන් මිදුණු පුද්ගලයෙක් වෙයි.
මෙබඳු ආධ්‍යාත්මික වශයෙන් ප්‍රගතියක් ලැබීමට භික්ෂූන් වහන්සේලාගේ ගමන් මග හා
පැවැත්ම අතිශයින්ම නිරවුල් හා බුද්ධ දේශනාවට අනුකූල විය. ඒ නිසා රහතන් වහන්සේලා
ආධ්‍යාත්මික ගුණවාචක පදවලින් වෙසෙසා හඳුන්වා ඇත. එබඳු ලක්ෂණ ඇති භික්ෂුන් වහන්සේලා
ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටයි. සාමීචිපටිපන්න ගුණයෙන් යුක්ත උන්වහන්සෙලා
තථාගතයන් වහන්සේට නියම ආකාරයෙන් ගරු කරන්නෝ ය. සත්කාර කරන්නෝය. බුහුමන් කරන්නෝ ය.
පූජා කරන්නෝ ද, පරම වූ ප්‍රතිපත්ති පූජාවෙන් යුක්තව සසුන බබළන්නෝ ද වන්නාහ. මෙබඳු
මානසික ප්‍රතිලාභ නිර්වාණගාමී ව මානසික සංවර්ධනයකට යොමු වූ රහතන් වහන්සේට හිමි
වනුයේ නිර්වාණයට යොමු වීම නමැති ආධ්‍යාත්මික ප්‍රගතියට අතිරේක වූ ප්‍රතිලාභයන්
වශයෙන් ය.
මෙබඳු ආධ්‍යාත්මික ලක්ෂණ පිළිබඳ ව බුදුන් වහන්සේ මෙන්ම, රහතන් වහන්සේ ද විවිධ
අවස්ථාවල සමාජය හමුවේ දේශනා කළේ සාමාජයේ ජීවත්වන පිරිස මානසික සංවර්ධනට යොමු
කිරීමටය. රහතන් වහන්සේලාගේ පිළිවෙත් හා කායික වාචසික දියුණුව සමාජයේ පිරිස
නිරීක්ෂණයට නතු කිරීමටය. එවිට එවැනි මානසික ප්‍රතිලාභ ලැබීමට එකී පිරිස ද උත්සුක
වනු ඇත. බෞද්ධ නිර්වාණගාමී ප්‍රතිපදාව පුද්ගල මානසික සංවර්ධනය කේන්ද්‍ර කර ගෙන බිහි
වූවකි. මානසික වශයෙන් ශක්තිමත් පුද්ගලයා කිසිදු විටෙක සෙසු අයටත්, තමා ජීවත්වන
පරිසරයටත් හානියක් සිදු නොකරයි. එවැනි අය වෙසෙන පරිසරය සුන්දර ය. සිසිල් ය. සුවඳවත්
ය. සාමකාමී ය. |