මෙවර ජයග්‍රාහී කවිය
මෝහය
හටගත් සියලු දේ වැනසෙන සුළුය කියා
වදහළ සේක ඒ තිලොවග තිලක පියා
තරකොට බදාගෙන මෝහය නමැති නයා
මිනිසා විහින් අඳුරෙන් අඳුරට ම ගියා
ලොව ඇති සියලු යසිසුරු පිඩකට සකසා
දුන්නත් බලනු ඇත අඩු මොනවද විමසා
වැටුණත් බිමට දඹරන් කහවනු වරුසා
සෑහීමකට පත් නොම වෙනු ඇත මිනිසා
ගොකරැල්ලේ ජිනවංශ හිමි
****
වැහි පොද සේ
පායන පුන්සඳ වස් කාලෙදි වැහි පොද සේ හිනැහෙනවා
සැරසුන සුදුවතින් හැඩවී සිල් ගුණයන් පැතිරෙනවා
සැනසුම ලබාගත් පින්කම් ඉල් මාසෙන් නවතිනවා
අමාවක ලෙසින් ඝනදුර බෝ මළුවම හිස් වෙනවා
ශාන්ති ඉඳුරුගොල්ල
නුගේගොඩ
****
අමා මෑණී බුදුහිමි
අමා දහම් රස බෙදූ
නිමා නොමැති ගුණ යෙදූ
නමා සිරස නමදින්නෙමි
මෙමා නිතර සම්බුදු
සිරි සදහම් දීපෙට
දම් රස නහවා සිට
වැඩියා තෙවරක් ම අනේ
සම්බුදු හිමි මෙලකට
සමනොළ ගිරි මුදුනට
ඍද්ධි බලය පා සිට
තැබුවා සිරිපා සලකුණ
නොමැකෙන ලෙස තිරකොට
ඩී. පී තුෂාරි ධම්මිකා වීරසේකර
බුලත්කොහුපිටිය
****
සිව් පෙර නිමිති
දිර දිරා යන සිරුර හන්දයි තරුණකම අප දමා යන්නේ
ලෙඩ දුකෙන් පිරී සිරුරම යි අප නිරෝගියි උමතුව සිතන්නේ
සියලු ජීවිත මරණයෙන්ම යි ලොවින් සමුගෙන මිය ඇදෙන්නේ
මෙත් කරුණාව සැම සතහට නිවනට උපකාර වන්නේ
ශාන්ත කුරුප්පුමුල්ලගේ
උඩහමුල්ල
****
කඨිනයේ වටිනකම
කඨිනය නමින් කියැවේ නොසැලෙන බව ය
අටමහා කුසල් අතරින් පළවැනි තැන ය
අනුසස් බොහෝ වෙනු ඇත එය නිසැකම ය
කරගමු අපිත් කඨිනයෙ පින බලවත් ය
සැදැහැති පිනැත්තෝ ගොස් තෙරුවන් සරණේ
තාලෙට ගයන බුදු ගුණ ගීවල වරුණේ
කඨිනයෙ චීවරය ගෙන යට උඩු වියණේ
වෙහෙරට යන්න අපි හැම පින්කර තිබුණේ
ජයසිරි චන්ද්‍රලතා කපුආරච්චි
බෙල්ලන්දොරල පාර
මණ්ඩාවල
****
උජාරුව
කාගෙද?
මිහිකත තුළ
සුරැකිව තිබූ
රන් මිණි මුතු
අතේ කණේ කරේ පළදාගෙන
උජාරුවට
මහිමත පිය තබනා විට
මිහිකත නැහැ කඳුළු සලන්නේ
අත කණ කර නැහැ
රන් මිණි මුතු නැහැ
උජාරුවන්නේ
පරගම්මන –නන්ද
****
යතිවරයාණෝ
සසුනෙහි අබියුදය සලසන නොපමා ව
අපමණ වෙහෙස විඳ දිගු ගමනක ආ ව
සඟ පරපුර තනන නොමියෙන කරුණා ව
යතිවරයාණන්ට මේ මල් මාලා ව
දහම් දැනුම ලබා දෙමින් මතු පරපුර සඳහා
නිවන්මගම එළියකරන ආලෝකය විදහා
තැවුල් නිවන, සම්මුතියේ සාරධර්ම අදහා
උතුම් යතිඳු පාද වඳිමි මේ කවිමල් පුදහා
මිරිජ්ජවිල සිරි දන්තනාරායන
****
ලෝකය
කෑම මේසයකි
කම් සැප බොජුන්
ආදීනව පිරි
පස් ඉඳුරන්ගෙන්
රස කර කර කන
ඉපදුනදා සිට
මියෙන තුරා
දුක් සසර පුරා
මාලබේ කේ. ඩබ්ලිව්. සිරිසේන
****
ජීවිතය
අස්ථිර වූ ලොවක
ස්ථිර වූ දෙයක්
උරුම වී කරුමයෙන්
තිබේ මරණය නමින්
මුළාවූ වෙලාවට
සිනාසෙන ඇස් දෙකම
සේදිලා කඳුළකින්
යළිත් නිවැරැදි කරයි
පසිඳුරන් රන් ලෙසින්
පෙරා දෙන රොඩු ටිකට
සැපත යයි නම් තබා
තරගකර එය විඳී
පැමිණ විට ජීවිතේ
නිමාවන විනාඩිය
උනුන් හා තරග කොට
දිනූ ජය නොවේ ඵල
ලැබූ සැප නැත පිහිට
පැමිණි ලෙස මේ ලොවට
යන විටදි පර ලොවට
ලෝභයෙන් ද්වේශයෙන්
මෝහයෙන් අතමිදී
සතුටු කළ තුටු සිතයි
එළිය දෙන්නේ අපට
වික්‍රමසිංහ අතපත්තු
තලවත්තේගෙදර
****
මෙයයි ජීවිතේ
අප සැම සියලු දෙන ඉපදී මිය යනවා
ජීවිත අනියතය සසරේ පා වෙනවා
කළ පින් දහම් පමණක් මතු දිදුලන වා
අකුසලයෙන් ජීවිත ගිලිහී යනවා
දන් පින් කළොත් සිත නිවනට ළඟා වෙති
පව් කම් කළොත් නිරයේ ගින්නේ දැවෙතී
කුසලය අකුසලය තේරුම් ගතොත් නිතී
මෙලොවින් චුත වෙන්න අපහට උදව් වෙතී
ශීලා ජයකොඩි
තඹුත්තේගම
****
පොදු දෙය
ළමා තරුණ වැඩිහිටි විය පසුවෙද්දී
නොයෙකුත් ලොඩ රෝග නිරතුරු ළං වෙද්දී
කාලය යනෙන විට වයසට පත් වෙද්දී
මරණය පොදු දෙයකි අප හමුවට එද්දී
කුසුමා තිලකරත්න
බූස්ස
****
ජීවිතයේ
අනියත බව
තිලකුණුවල දැක්වෙන්නේ
අනියත දුක අනාත්මයන්
ජීවිතයේ හරයයි මේ
මෙලෙසින් අපහට පවසන්
මනුසත් බව කෙටි වෙති
කණ කැස්බැදි
සිදුරක් ලෙස
සිටියොත් හොඳ ලෙස මතු
දෙවියොත් උන්හට වඳී
තේරුම් ගමු අපි
මේ ලෙස
ජීවිතයේ අනියත බව
ඒ.ඒ සචිනි හංසිකා පෙරේරා
කඩුවෙල
****
නිවන
රජස් පසුපස හඹා නොයනා නිවන
සංසාර ඕඝයේ නැවතුමකි නිවන
තුන් දොරම නිවුනකි නිවන
නිකැළැල්ය, පිවිතුරු ය, ශාන්ත වූ
පරම සම්පත නිවන
ශීතා කුමාරි ගුණසේකර
කහව
සංස්කරණය
ජම්මික ප්‍රබෝධනී වැලිකල |