[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමි

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමි

අපිස් සතොස් යනාදී ගුණාංගවලින් පිරිපුන්, සීල ගුණයෙන් සුගන්ධවත් වූ කාරුණික ගුණයෙන් මෘදු වූ සිත් ඇති මහා භාග්‍යසම්පන්න වැලිවිට අසරණ සරණ සරණංකර සංඝ රාජෝත්තමයාණන් වහන්සේගේ අකලංක පවිත්‍ර චරිතාපදානය ගිහි පැවිදි සැමගේ ආත්ම සංයමය පිණිස හේතු වන්නේ ම ය.

වර්තමාන සිංහල ඉතිහාසයෙහි ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයෙන් අනුස්මරණය කළ හැකි ප්‍රධාන ශ්‍රී නාමය වන්නේ ය. උන් වහන්සේ 18 වැනි සියවසේ ශ්‍රී ලංකාද්වීපයෙහි සංජාත බෝධිසත්ත්වවරයෙකු සේ පිළිගත හැකි ය. ලංකා ඉතිහාසයේ අඳුරු කාල පරිච්ඡේදයක ජන්මලාභය ලැබ, පිරිහී ගිය ශාසනික තත්ත්වය, භික්ෂු අධ්‍යාපනය හා ධර්ම ශාස්ත්‍රීය කටයුතු සමඟ භාෂා සාහිත්‍ය ව්‍යාපාරයන් යථා තත්ත්වයට පත් කළ සංඝරාජ මාහිමියෝ ලක්දිව සුවඳවත් කළ අසහාය යුග පුරුෂයාණ කෙනෙක් වූ හ. වෙසෙසින් තරුණ භික්ෂු සමාජයට එකී චරිතාපදානය අගනා පාඩමක් ම වන්නේ ය.

18 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ ශාසනික, ජාතික, සාමාජික , සංස්කෘතික හා අධ්‍යාපනික තත්ත්වය අන්ත පරිහාණිකර තත්ත්වයකට පත්ව තිබුණේ මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි, ලන්දේසි ආධිපත්‍යයට නතුවීම, නිරන්තර යුද කෝලාහල හා ඒ නිසාම වු ආර්ථික පරිහානිය, මිසනාරි ව්‍යාපාර නිසා බෞද්ධයන් අන්‍ය ආගම් වැළඳ ගැනීම යනාදී කරුණු නිසා ය. මේ නිසාම භික්ෂු සමාජය ද අන්ත පරිහානිකර තත්ත්වයකට පත්ව තිබුණි. ශාසනික විනය කර්මයකට උපසම්පදා භික්ෂූන් වහන්සේලා සිව්නමක්වත් සොයාගත නොහැකි තත්ත්වයකට භික්ෂු සමාජය හිස්ව පැවතුණි. සංඝරාජ සාධු චරියාව හා සඟරජවත යන ග්‍රන්ථවලින් පෙනෙන පරිදි එකල විහාර සන්තක ඉඩකඩම් පරිහරණය කරමින් සිටියෝ ගණින්නාන්සේලා නම් වූ හ. ඔවුහු ශ්‍රමණ සාරුප්‍ය පැවතුම්වලින් බැහැරව දිවි ගෙවූ හ. බාලාවතාරය නම් වූ සරල පාලි ව්‍යාකරණ ග්‍රන්ථය ඉගෙනීමට සරණංකර සාමණේරයන් වහන්සේ හට දෙදෙනෙකු වෙත යාමට සිදුවීමත්, රාජ සභාවට පැමිණි බ්‍රාහ්මණයෙකු කී සරල සංස්කෘත ශ්ලෝකයක් තේරුම් කරදීමට සමත් සරණංකර හිමි හැර අන් කිසිවෙකු කන්ද උඩරට නෙැමැතිවීමත් තුළින් භාෂා සාහිත්‍ය හා අධ්‍යාපනයෙහි පැවැති පරිහානිකර තත්ත්වය ප්‍රකට වෙයි.

මෙවන් පරිසරයක මධ්‍යම පළාතේ බටහිරින් සුපිහිටි තුම්පනේ කඳුවලින් වට වූ බලකොටුවක් වැනි සරුසාර කෙත්වතුවලින් පිරිපුන් වැලිවිට ග්‍රාමයේ දී 1998 ජුනි මස 19 වැනිදා සරණංකර මාහිමියෝ උපත ලද හ. පියා කුලතුංග නම් වූ අතර, උන්වහන්සේ ද කුලතුංග නම් විය. සිය සොහොයුරා වු කුලතුංග පටබැඳි මුදියන්සේ සමඟ රජ මාළිගාවෙහි සිටි බැවින් කුලතුංග ළදරුවා ද රජුගේ පුත් තනතුරෙහි හැදුණූ වැඩුණු බව සංඝරාජ සාධු චරිතයෙහි සඳහන් වෙයි. සිය පුතණුවන් රාජ පුරුෂයෙකු වනු දැකීම මව්පියන් ගේ අභිප්‍රාය වූ අතර, කුලතුංග දරුවාගේ අභිලාෂය වූයේ ගිහි ජීවිතයෙන් වෙන් ව පැවිදිවීම යි. කුඩා කල සිට ම නිති පන්සිල් , පොහොය අටසිල් රකිමින් ඉතා ධාර්මික ජීවිතයකට හුරුපුරුදු වු කුලතුංග කුමරු සොළොස් හැවිරිදි වියේ දී සූරියගොඩ විහාරයේ දි සූරියගොඩ සාමණේරයන් වෙතින් සරණංකර නමින් උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභූමියට පත්වූ බව සංඝරාජ සාධු චරිතයෙහි දැක්වෙයි. එහෙත් ප්‍රව්‍රජ්‍යාචාර්යවරයෙකු ගැන සඳහන් නොකරන සඟරජවත සිල්වත් ගුරුවරයෙකු නොමැතිව පැවිදි වූ බව දක්වයි.

මෙබඳු සිත් ඉපදී

ලජ්ජා සඟුන් නොලදී

සොළොස් වයසේ දී

පහන් මනසින් වෙලා පැවිදී

සැහැල්ලු ගති පැවතුම් නිසාත්, පිණ්ඩපාත චර්යාව නිසාත්, පිණ්ඩපාතික වැලිවිට සරණංකර’ යන නමින් උන් වහන්සේ වඩාත් ප්‍රකට වූ හ. භික්ෂූන් වහන්සේලා පිළිවෙත් පිරීමෙහි උදාසීනව සිටි මෙකල පිණ්ඩපාතයේ වැඩමවීම හා පාත්‍රයේ වැළඳීම අභාවයට ගොස් තිබුණි. නමුත් භික්ෂු පිළිවෙත් මැනවින් සුරැකි උන් වහන්සේ පිණ්ඩපාතයෙන් ජීවත්වෙමින් පාත්‍රයේ වැළඳූ හ.

මෙසේ සරණංකර සාමණේරයන් වහන්සේ මනා භික්ෂු ප්‍රතිපත්ති ඔස්සේ ගුණ නුවණින් වැඩෙත්ම මෙකල භික්ෂු ප්‍රතිරූපකයින් විනා සැබෑ සිල්වත් භික්ෂූන් වහන්සේලා නොමැති බව මනාව වටහා ගත් හ.මෙම තත්ත්වයෙන් සම්බුද්ධ ශාසනයත්, රටත් මුදාගෙන, යළි ශාසනික ප්‍රබෝධයක් ඇතිකරලීමේ පරම පවිත්‍ර අපේක්ෂාවෙන් යුක්තව, ඒ හා අදාළව ගත යුතු ක්‍රියාමාර්ග වෙත යොමු වූයේ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව යි. උන්වහන්සේට ප්‍රථමයෙන් ම අවශ්‍ය වුයේ ධර්මය ඉතා නිවැරැදිව තේරුම් ගැනීමට යි. ඒ සඳහා පාලි භාෂාව ඉගෙනීම අවශ්‍යතාව තේරුම්ගත් හෙයින් එය සපුරා ගැනීමට ආචාර්යවරුන් දෙදෙනෙකු වෙත යාමට සිදුවිය. එවකට මාකෙහෙල්වල බන්ධනාගාරගත ව සිටි ලෙව්කේ දිසාව වෙතින් බාලාවතාරය් නාම කාණ්ඩය තෙක් උගත්තේ ය. ඉතිරි කොටස උගත්තේ පල්කුඹුරේ අත්ථදස්සි හිමියන් වෙයිනි. පාලි ව්‍යාකරණය පිළිබඳ ලබාගත් මෙම මුලික දැනුම පාදක කර ගනිමින් එය තවදුරටත් දියුණු කරගෙන ස්වෝත්සාහයෙන් ම ධර්ම විනය හා භාෂා ශාස්ත්‍රය මැනවින් උගත්තේ ය. සරණංකර හෙරණපාණන් වහන්සේගේ ඊළඟ අභිප්‍රාය වූයේ තමා උගත් ධර්මවිනය උපයෝගි කර ගනිමින් භික්ෂුව නිවැරැදි ප්‍රතිපත්ති මාර්ගයට යොමු කිරීම යි. ඒ සඳහා භික්ෂූන් වහන්සේ දැනුවත් කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසක් උන් වහන්සේ වටා එක්රැස් වූ හ. බොහෝ කුල දරුවෝ ගිහිගෙය හැරපියා උන්වහන්සේ වෙත අවුත් පැවිදි බව ලබා, වත් පිළිවෙත් පුරන්නට වූ හ. මෙසේ වැලිවිට හෙරණපාණන් වහන්සේ ඇසුරෙහි සිල් රකින වත් පිළිවෙත් පුරන පිරිස සිල්වත් සමාගම, සිල්වත් තැන යන නමින් හැඳින්වී ය. ඒ සිල්වත් පිරිසට නොයෙක් අයුරින් නින්දා අපහාස කළේ” වැලිවිට උන්නාන්සේගේ සමාගම” යන නාමය ද පටබඳිමින් අවඥාවට ලක් කළ හ. එසේ සිදු කළේ ප්‍රතිපත්ති අතින් පිරිහී සිටි ගණින්නාන්සේලා අන්‍ය ආගමිකයන් හා දුර්මතධාරි බෞද්ධයන් ය.

ඒ එක ද බලවේගයක් හමුවේ නොසැලුණු උන් වහන්සේගේ ඊළඟ අරමුණ වූයේ උපසම්පන්න භික්ෂූන් වහන්සේලාගෙන් හිස්ව තිබු ශී‍්‍ර ලංකාවේ නැවත වරක් උපසම්පදාව පිහිටුවීම යි. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හා ශ්‍රී විජය රාජසිංහ යන රජුන්ගේ සහායෙන් බුරුමය හා සියම යන රටවලින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා වැඩමවා ගැනීමට දැරූ පළමු උත්සාහය අසාර්ථක විය. නමුත් සරණංකර සාමණේරයන් වහන්සේ එයින් අධෛර්යමත් නොවූ හ. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ සහාය ලබාගෙන නැවත ද සය දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ලන්දේසීන් විසින් සපයා දෙන ලද නැවකින් සියමට යැවූ හ. මෙම දූත චරිකාවෙහි ප්‍රතිඵලයක් ලෙස උපාලි තෙරුන් වහන්සේ ප්‍රධාන මහතෙරුන් වහන්සේලා 18 නමක් ද, සාමණේරයන් වහන්සේලා 7 නමක් ද ලක්දිවට වැඩම කළ හ. 1753 ජුනි 15 වැනි දිනට යෙදුනු ඇසළ පුර පසළොස්වක පොහෝ දින මහනුවර මල්වතු මහා විහාරයේ විසුංගාම සීමාවේ දී ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කෙරිණි. සියම් රට උපාලි මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පුර්ණ අනුග්‍රාහකත්වයෙන් මෙය සිදු කෙරිණි. මෙහිදී සරණංකර සාමණේරයන් වහන්සේ ඇතුළු හය නමක් උපසම්පදාව ලැබූ හ. මෙය වර්තමාන ස්‍යාමෝපාලි (සියම් උපාලි) මහා නිකායේ සමාරම්භක අවස්ථාව යි.

මෙම උපසම්පදා විනය කර්මයේ දී සරණංකර හෙරණපාණන් වහන්සේට පළමුව උපසම්පදාව ලබා ගැනීමට අවස්ථාව තිබුණ ද, තමන් වහන්සේට ගුරුතන්හිලා සැලකීමට කෙනෙකු සිටීමේ වැදගත්කම සලකා වෙනත් නමකට පළමුව උපසම්පදාව ලබාදීමට තරම් උන්වහන්සේ නිහතමානී වූ හ. මේ වන විට පනස් පස් වෙනි වියේ පසු වූ වැලිවිට සරණංකර මාහිමියෝ නැවත සිරිලක උපසම්පදාව පිහිටුවා ශාසනික තත්ත්වය යළි පුනර්ජීවනය කිරීමෙහිලා වු මහානීය මෙහෙවර මැනවින් ඉටු කළහ.

උපසම්පදාවට පත් සරණංකර හිමි ලක්දිව සංඝරාජ ධූරයට පත්කළ බව දන්වමින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් එම පදවිය සංකේතවත් කරන විජිතිපත පිළිගන්වන ලදී. සංඝරාජ පදවියෙන් පූජිත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියෝ.

“උඩඟු නොව මහණ, උඬඟු නොව මහණ, උඩඟු නොව මහණ,”

යනුවෙන් තෙවරක් තල්පතක සටහන් කොට තැබූහ. මෙවැනි ශ්‍රේෂ්ඨ පදවියකින් පවා මානය, අහංකාරය වැනි පහත් සිතිවිලි මාත්‍රයක්වත් ඉපදීම නොරිස්සු බව මේ සිද්ධියෙන් මනාව පැහැදිලි ය.

අන්‍ය උපකාරයෙන් ඉතා ස්වල්ප දෙයක් ඉගෙන ස්වෝත්සාහයෙන් එම දැනුම වර්ධනය කරගත් වැලිවිට සංඝරාජ මාහිමියෝ ශ්‍රී ලංකාවේ පහළ වූ අග්‍රගණ්‍ය මහා පඬිරුවනක් බව විද්වත් ගිහි පැවිදි සකල සාධු ජනයා එක ලෙස පිළිගනිති. ඉතා දුක්ඛදායක පරිසරයක සිට මහත් ආයාසයෙන් ස්වකීය යෞවන වියේ දි ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කළ උන් වහන්සේ එකී අධ්‍යාපන රටාවෙහි වටිනාකම අත්දැකීමෙන් ම දත් හෙයින් පරිහාණිකර තත්ත්වයකට පත්ව තිබු ධර්ම ශාස්ත්‍රීය හා සාහිත්‍ය කටයුතු නගා සිටුවීමට නොපැකිලිව ක්‍රියා කළ හ. ක්‍රියා මාර්ග කිහිපයක් ඔස්සේ එම සේවාවන් ව්‍යාප්ත කළ හ.

ග්‍රන්ථකරණයෙහි නියැළීම, විද්‍යාපීඨ /ශාස්ත්‍රශාලා ආරම්භ කිරීම, විද්වත් ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම, පැරැණි පොත්පත් ලියන්නන් ලවා පිටපත් කරවීම .

සඟරජ මාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ

1.මුනිගුණාලංකාරය, 2.අභිසම්බෝධි අලංකාරය. 3.සාරාර්ථ සංග්‍රහය, 4. රත්න සූත්‍රය ප්‍රණාම ගාථා සන්නය, 5. භේසජ්ජ මඤ්ජුසා සන්නය 6.සතර බණවර සන්නය 7.මහාබෝධි සන්නය ,8.රූප මාලාව

සඟරජ මාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ඇරැඹි විද්‍යාපීඨ

1.නියමකන්දේ විද්‍යාස්ථානය , 2.මල්වතු – අස්ගිරි උභය විහාරස්ථ විද්‍යාස්ථාන 3. ගඩලාදෙණියේ සද්ධර්මතිලක විහාරස්ථ විද්‍යාස්ථානය, 4.පැල්මඩුල්ල රජමහා විහාරය හා පොත්ගුල් විහාර විද්‍යාස්ථාන.

වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය හා සාහිත්‍ය සේවාව මහනුවර යුගයට පමණක් සීමා නොවූ අතර එහි ආලෝකය නූතන යුගය දක්වාත්, අනාගතය පුරාවටත් පැතිර පවතියි.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා අපර භාග 03.35 ට පෝය ලබයි. 20 වන දා බදාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 19 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 26 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]