[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 46 : භාවිතයෙන් තොර දැනුම බරක් පමණි

තෙවළා බුදු වදන් අතරින් 46 :

භාවිතයෙන් තොර දැනුම බරක් පමණි

බොහෝ දෙනෙකුගේ අභ්‍යන්තර ජීවිතය විමර්ශනය කළ විට පෙනීයන්නේ ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් තමා දැනගත් ධර්මය අත්දැකීමක් බවට පත්කරගෙන නොමැති බවයි. එබැවින් ඔවුන් තුළ පුහුදුන් දුර්වලතා රැසක් පවතින බව හඳුනාගත හැකි වේ. එවැනි පුද්ගලයන් බුදුරදුන් හැඳින් වූයේ අනුන්ගේ ගවයන් රකින ගොපල්ලෙකු හා සමවන බවයි.

බුදුසමයට අනුව ලොව උසස්ම තැනැත්තා ප්‍රඥාවෙන් පිරිපුන් පුද්ගලයා ය. ලොව දිනූ විශිෂ්ටතම ප්‍රඥාවන්ත උතුමාණෝ බුදුරජාණන් වහන්සේ වෙති. උන්වහන්සේ දෙසූ ධර්මයේ අග්‍රඵලය ප්‍රඥාව සාක්‍ෂාත්කිරීම ය. එම ධර්මය ප්‍රඥාවන්තයන්ට ආමන්ත්‍රණය කෙරෙන්නකි (පඤ්ඤාවන්තාස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස). එව බලවයි (එහිපස්සික) යන විවෘත මෙන්ම ප්‍රඥා සම්පන්න ආරාධනයෙන් යුක්ත ය. මිනිස් බුද්ධියේ පරම නිෂ්ඨාව ප්‍රඥාව යි.

එය සාක්‍ෂාත් කළ පුද්ගලයාගේ ජීවිතය සාකල්‍යයෙන් ම උසස් එකකි (පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨං). එසේම එය මිනිසා සතු පරම ධනයයි (පඤ්ඤා නරානං රතනං). ප්‍රඥාව සාක්ෂාත් කළ උතුමාගේ ස්වභාවය අටලෝ දහමින් කම්පා නොවීම හා සතර අගතියෙන් තොර වීම යි. විතරාගී උතුමෝ ප්‍රඥාවේ පාරප්‍රාප්තියට පත්වූවෝ වෙති. එය ලෞකික ප්‍රඥාව හා ලෝකෝත්තර ප්‍රඥාව යනුවෙන් දෙපරිදි වේ. එය සාක්‍ෂාත් කිරීමෙහිලා අවශ්‍ය මූලික ශික්‍ෂණය ඇතිකරගන්නේ කෙසේද යන්න දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා දේශනා කර වදාළ පඤ්ඤාවුද්ධි සූත්‍රයේ ඇතුළත් වේ.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන මෙම සූත්‍රයෙන් ප්‍රඥාව වර්ධනය කරගැනීමෙහිලා අනුදත් පිළිවෙත් හතරක් ඉදිරිපත් වේ. බුද්ධානුශාසනය අනුව ප්‍රඥාව වැඩීම පිණිස සත්පුරුෂ ආශ්‍රය (සප්පුරිසුපසංසෙව), සද්ධර්මය ඇසීම (සද්ධම්මස්සවන), නුවණින් මෙනෙහි කිරීම (යොනිසො මනසිකාර), ධර්මානුධර්ම ප්‍රතිපත්තිය (ධම්මානුධම්මපටිපත්ති) යන සිව්වැදෑරුම් පිළිවෙත් සතර අවශ්‍ය වේ. මෙම සිව්වැදෑරුම් පිළිවෙත දෙයාකාරයකින් සාකච්ඡා කළ හැකි ය. විමුක්තිය අරමුණු කරගත් ආර්ය ශ්‍රාවකයෙකුට තම විදර්ශනා ප්‍රඥාව සාක්‍ෂාත් කිරීමට අවශ්‍ය පිළිවෙත මෙහි පළමු වැන්න යි. එය අතිශය ගැඹුරු එකකි. එහි අවසාන නිෂ්ඨාව අර්හත්වය සාක්‍ෂාත් කිරීම යි. සාමාන්‍ය පුහුදුන් පුද්ගලයෙකුට අවශ්‍ය ලෞකික ප්‍රඥාව හෝ නුවණ නැතහොත් බුද්ධිය සාක්‍ෂාත් කරගැනීමෙහිලා ද මෙම පිළිවෙත් සතර අනුගමනය කළ හැකි අතර එය ලෞකික ප්‍රඥාව යි. ඒ අනුව බුදුසමයේ එන ලෞකික හා ලෝකෝත්තර ප්‍රඥාව සාක්‍ෂාත් කරගැනීමෙහිලා අවශ්‍ය ක්‍රමවේදය මෙම සිව්වැදෑරුම් ප්‍රතිපත්ති තුළ අන්තර්ගත ව තිබේ.

සද්ධර්මය හා සම්බන්ධ ප්‍රඥාව සාක්‍ෂාත් කිරීමෙහිලා අවශ්‍ය පිළිවෙත් සතරින් පළමු වැන්න සත්පුරුෂ ආශ්‍රය යි. ආර්ය ශ්‍රාවකයාගේ සමාජීය ජීවිතය අර්ථවත් වන්නේ පළමුවැන්නෙන් ය. ප්‍රඥාව වැඩෙන්නේ සත්පුරුෂ ආශ්‍රයෙනි. කායික, වාචසික, මානසික යන තෙවදෑරුම් අකුසල චර්යාවන්ගෙන් වෙන්වී සිටින අන්‍යයන් ද එවැනි අකුසල චර්යාවන්ගෙන් මුදවා ගැනීමට මගපෙන්වන, අනුශාසනා කරන තැනැත්තා සත්පුරුෂයා යනුවෙන් දහමට අනුව නිර්වචනය කෙරේ. එවන් සත්පුරුෂයන් හා ඇසුර හා එක්ව වාසය කෙනෙකුගේ ප්‍රඥාව වර්ධනය පිණිස ඉවහල් වේ. ඇසුර කෙනෙකුගේ යහපත ට මෙන්ම අයහපතට ත් ඉවහල් වේ. හැම කෙනෙකු සමඟම කෙරෙන ඇසුරක් බුදුසමයෙන් අනුමතකොට නැත. බුදුසමයෙන් අනුමත කෙරෙන්නේ සත්පුරුෂ ආශ්‍රය හා කල්‍යාණමිත්‍ර සේවනය යි. උසස් සදාචාරයකින් හා උසස් ප්‍රඥාවකින් යුක්ත පුද්ගලයන් පමණක් ඇසුරු කිරීමෙන් කෙනෙකුට තම ප්‍රඥාව දියුණු කරගත හැකි වේ.

ප්‍රඥාව වැඩීම පිණිස හේතුවන දෙවන කරුණ සද්ධර්ම ශ්‍රවණය යි. යමක් ඇසීමෙන් හෝ යමකට සවන්දීමෙන් දැනුම ලබා ගැනීම බුද්ධ කාලයේ පැවති ඒකායන ක්‍රමය යි. වර්තමානයේ දැනුම ලබාගැනීමේ මාධ්‍ය බහුල ය. ඇසීම පමණක් නොව කියවීමත් දැනුම ලබා ගැනීමට භාවිත කරන ප්‍රධාන මාධ්‍ය වේ. ඒ අනුව වර්තමානයේ දහම ඇසීමෙන් මෙන්ම කියවීමෙන් ද ප්‍රඥාව දියුණුකරගත හැකි වේ. ඇසීමෙන් පමණක් නොව ධර්මය නුවණින් මෙනෙහි කිරීමත් අවශ්‍ය වේ. සද්ධර්මය ඇසීම අර්ථවත් වන්නේ ධර්මයේ අන්තර්ගතය නුවණින් මෙනෙහි කිරීමෙන් ය. යමක් ඇසූ විට එය තමාගේ නුවණ මෙහෙයවමින් තවදුරටත් විමසා බැලීම මෙයින් අපේක්‍ෂිත ය. මෙහි ඇති සාතිශය වැදගත්කම බුදුරදුන් එය නිතර නිතර භික්‍ෂූන්ට අවධාරණය කර තිබීමෙන් පැහැදිලි වේ. බොහෝ දෙනෙකු ධර්මයට සවන් යොමුකළ ද ඒ ගැන නුවණින් මෙනෙහි කිරීම නොකරති. මෙනිසා ධර්මය පිළිබඳ ඔවුන්ගේ චින්තනය ශක්තිමත් එකක් බවට පත් නොවේ. එවන් පුද්ගලයෝ කොතෙක් ධර්මය ඇසුවත් චිත්නමය වශයෙන් දුර්වල අය වෙති. ඔවුහු වහා වෙනස්වන චංචල අදහස් ඇති අය වන අතර විවිධ අරමුණු ඔස්සේ හඹායාම ඔවුන්ගේ සිරිත ය.

අසන ලද එසේම නුවණින් මෙනෙහි කරන ලද ධර්මය ක්‍රියාවට නැංවීම ප්‍රඥාව ලැබීමේ අවසන් පියවර වේ. ධර්මය අත්දැකීමක් බවට පත්වන්නේ එය ප්‍රතිපදාවට නැගීමෙන් ය. භාවිතයෙන් තොර දැනුම වනාහි බරක් පමණි. ධර්මය ඇතුළත් ගාථා සියයක් කටපාඩමින් කිවහැකි වුවද එයින් එක් වදනක් වුව භාවිතයට නොනගන්නේ නම් එම හැකියාව අර්ථශූන්‍ය එකකි. ධර්මය දේශනා කිරීමටත් එය ලිවීමට මෙන්ම සාකච්ඡා කිරීමට ත් ප්‍රතිබල සම්පන්න පුද්ගලයෝ කොතෙකුත් වෙති. එහෙත් ඔවුන් අතුරින් බොහෝ දෙනෙකුගේ අභ්‍යන්තර ජීවිතය විමර්ශනය කළ විට පෙනීයන්නේ ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් තමා දැනගත් ධර්මය අත්දැකීමක් බවට පත්කරගෙන නොමැති බවයි. එබැවින් ඔවුන් තුළ පුහුදුන් දුර්වලතා රැසක් පවතින බව හඳුනාගත හැකි වේ. එවැනි පුද්ගලයන් බුදුරදුන් හැඳින් වූයේ අනුන්ගේ ගවයන් රකින ගොපල්ලෙකු හා සමවන බවයි. සද්ධර්මය පිළිබඳ ප්‍රඥාව තම ජීවිතයේ කොටසක් බවට පත්කරගත හැකි වන්නේ ප්‍රායෝගික ව එය ක්‍රියාවට නැගීමෙනි. ධර්මය අත්දැකීමක් බවට පත්නොකරගත් තැනැත්තෙකුගේ ප්‍රකාශනය වනාහි වෛද්‍යවරයා විසින් රෝගියාට ලබාදෙන ඖෂධයේ දැක්වෙන විස්තරය හා සමාන ය. බෙහෙත් වට්ටෝරුව කියවූ පමණින් රෝග සුව වන්නේ නැත. ඒ සඳහා ඖෂධය භාවිතකළ යුතු වේ. ධර්මය ක්‍රියාවට නැගීමත් එපරිදි වේ.

ඉහතින් දැක්වූ කරුණු හතර සද්ධර්මය පිළිබඳ ප්‍රඥාව හා සම්බන්ධ වුව ද සාමාන්‍ය ව්‍යවහාරය අනුව නුවණ ලැබීමට ද ඉවහල් වන්නේ එම පිළිවෙත් සතර යි. ඒ අනුව නුවණ ලැබීම සඳහා යහපත් මිනිසුන්ගේ ඇසුර ලැබීම අවශ්‍ය වේ. උගතුන් හා බුද්ධිමතුන්ගේ මඟපෙන්වීම හා උපදේශනය එයින් අදහස් වේ. යම් විශේෂිත විෂයක් හෝ සාමාන්‍ය දෑ පිළිබඳ දැනුම ලැබෙන්නේ සවන් යොමුකිරීමෙන් හෝ කියවීමෙන් ය. දැනුම ලැබීමේ මාධ්‍ය බහුල ය. ඒ කවර තරමේ මාධ්‍යයක් වුව භාවිතයට ගතයුත්තේ තමා වෙත නැති දැනුම අත්පත්කර ගැනීම සඳහා ය. ලබාගත් දැනුම පිළිබඳ තර්කානුකූල ව කල්පනා කිරීමෙන් චින්තනය පුළුල් වේ. එවිට එම දැනුම තමාට කොතෙක්දුරට අවශ්‍ය වේද එය ක්‍රියාවට නැගීමෙන් අත්වන ප්‍රතිලාභ කවරේද යන්න වටහාගත හැකි වේ.

තමා ලත් දැනුම ඇසුරෙන් ස්වකීය වර්යාව වෙනස්කර ගැනීම නුවණ ලැබීමේ අවසන් පියවර වේ. උපාය දන්නෝ අපායේ නොවැටෙති යන ව්‍යවහාරය තුළ ඇත්තේ එම දර්ශනය යි. යමක් ක්‍රියාවට නැංවීමෙන් වන ආදිනව මැනවින් දන්නා පුද්ගලයා එය ක්‍රියාවට නැංවීමෙන් වැළකෙයි. එසේම කෙනෙකු අධ්‍යාපනයෙන් දැන උගත්කමින් ඉහළට ගමන් කරන විට එම තැනැත්තා තුළ ස්වයං විනයක් මෙන්ම සදාචාර සම්පන්න හැසිරීමක් ද බලාපොරොත්තු වේ. නූගත් තැනැත්තෙකු හැසිරෙන ආකාරයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රබුද්ධ මට්ටමේ හැසිරීමක් උගතෙකුගෙන් හා බුද්ධිමතෙකුගෙන් අපේක්‍ෂා කෙරේ. එවැනි ප්‍රබුද්ධ මිනිසෙකු වන්නේ ප්‍රඥාවන්තයෙකු හා උසස් බුද්ධිමතෙකු පමණි. සද්ධර්මය පිළිබඳ ප්‍රඥාව මෙන්ම ලෞකික බුද්ධිය අත්පත් කරගැනීමට කෙනෙකුට උසස් සමාජ ඇසුරත්, අධ්‍යාපනයත්, චිත්නමය පරිචරයත්, ප්‍රායෝගික ප්‍රතිපදාවත් ඉවහල් වේ.

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]