වප් අව අටවක 2019.10.21
ගම රට වාසනාවන්
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතු ම ය ඉතා ගරු
බෞද්ධ සාහිත්‍ය පෝෂණය කළ ‘සුභාෂිතය’ නම් වන කාව්‍ය කෘතියෙහි එන කවි දෙපදයකි මේ. එදා
සුභාෂිත කතුවරයා දුටු අයුරු, ගුණධර්මයන්ගෙන් සුපෝෂිත, නැණවත් බවින් ද පොහොසත්
පින්බර දරුවෙකුගේ සමාජම ය අවශ්‍යතාව එකලට සේ ම, මෙකලට ද එක හා සමාන ය. අනාගතයට ද එය
එසේම ය.
මේ අතර, අද හැදෙන්නේ කමකට නැති දරුවන් යැ’යි ඇතැමෙක් වහරති.
මෙහි දරුවන් යනුවෙන් අර්ථවත් කෙරෙන්නේ මිනිසා නමැති සත්ත්වයාගේ ළමා කාලය යි. කුඩා
දරුවාට හොඳ, නරක නොතේරේ. ඔහු හෝ ඇය හෝ අත්දැකීම් උකහා ගන්නේ අසන, දකින දෙයිනි.
හැසිරීම් හසුරුවන්නේ අන්‍යයන් අනුකරණයෙනි. එහි දී විශේෂයෙන්, නිරන්තරයෙන් ඇස ගැටෙන
මව්පියන්, ගුරුවරුන් ප්‍රධාන ය. එහෙයින් දරුවන් කමකට නැතිව හැදෙනවා යැයි
වැඩිහිටියන් විසින් දොස් පවරනු ලැබීම කිසිසේත් සාධාරණ නොවේ.
එය ළමයින්ගේ හැසිරීම සම්බන්ධ ව අවධාරණය කළ යුතු එක් කරුණකි.
ළමයින් විශේෂ කරමින් සමාජය සෝදාපාළුවට ගොස් ඇතැ යි
කවුරු කෙසේ කීවද එය සෑම සමාජ සාමාජිකයෙකු ට ම පොදු නැත. සාධු චර්යා ඇති, සංවේදී
කුඩා දරුවන් සේ ම, තරුණ, වැඩිහිටි පිරිස් ද මේ සමාජයේ අපමණ වෙති. ඔවුන් ගැන
වැඩිවශයෙන් මතු නොවන්නේ යහපත දකින ඇස්වලට වඩා අයහපත දකින ඇස් තියුණු නිසා දෝයි
සිතේ. එය අවධාරණය කළ යුතු දෙවැනි කරුණ ය.
තෙවැන්නක් ද වේ. මව්පියන් කොතරම් අවවාද දුන්න ද, හරි – වැරැද්ද වටහා ගන්නට දක්වන
නොසැලකිල්ල නිසා මං මුළා වී ජීවිතය වරදා ගන්නා තවත් ළමා පිරිසක් ද සිටිති. අඳීන්නට
ඇති වස්ත්‍රය හෝ මිල කොට ලබාගන්නා සොච්චම් මුදලින් විවිධ නමින් එන මත්ද්‍රව්‍ය ලබා
ගන්නට තරම් මතට ඇබ්බැහි වූ දරුවෝ ද මේ සමාජයේ ම වෙති. එය ද අමතක කළ නොහැකි ය.
දරුවන් මේ සමාජයේ වටිනා ම සම්පත වන බැවිනි. අනාගතයේ කොඳු නාරටිය වන බැවිනි.
දරුවන් වෙනුවෙන් මව්පියන්ගෙන් විය යුතු යුතුකම් හා ගුරුවරුන් වෙතින් දරුවන්ට විය
යුතු යුතුකම් පිළිබඳ ව ඉතා වැදගත් විවරණයක් සිඟාලෝවාද සූත්‍රයෙහි අන්තර්ගත ය. ජාති,
ආගම් භේදයකින් තොරව මේ පිළිබඳ ව අවධානය යොමු කරනවා නම් අපේ දරුවන් ගුණ නැණ දෙකෙන් ම
සුපෝෂිත කිරීම අපහසු නොවනු ඇත. අද අප දකින්නේ මව්පිය – ගුරුවරුන් අතරින් යම්
පිරිසක් ගුණ හැර නැණ පමණක් දරුවන්ට ලබාදීමට උත්සුක වන ලෙසකි. අසංවේදී, දැඩිගති ඇති,
අනුන්ගේ දුක නොදකින, උපකාරි නොවන ළමයින් වේ නම් එය, එහි ප්‍රතිඵලයකි. මේ නිසා මේ
පිළිබඳ ව දැඩි අවධානයක් යොමු කිරීම ඉතාම කාලෝචිත ය.
අපේ සමාජයේ ම තවත් මව්පියවරු වැඩි පිරිසක් දරුවන්ට පළමුකොට හොඳ – නරක උගන්වති. ඊට
ආදර්ශය ද දෙති. නිසි අධ්‍යාපනය ද ලබා දෙති. ඔවුහු ජීවිතය පිළිබඳ ව යථාර්ථය දන්නෝ ය.
එවැනි පරිසරයක හැදෙන වැඩෙන පින්වත් දරුවෙක් ගැන පසුගිය දා මාධ්‍ය වාර්තාවන් හි
පළවිය.මේ දරුවා දහසය වියැති ය. ගලේවෙල, දේවහූව, වටගල ප්‍රදේශයේ ජීවත්වන්නේ ය. වයස
අවුරුදු එකොළහක සහෝදරයෙක් සහ මාස දහයක් වියැති නිවුන් සොයුරියක් සහ සොහොයුරෙක් ඔහුට
වෙති. දරුවන් ඉතා කුඩා නිසා මවට රැකියාවක් කළ නොහැකි ය.
ඔහුගේ පියා තදබල රෝගයකින් පීඩා විඳින්නේ ය. එහෙත් මව්පිය ගුණ දත්, සහෝදර පේ‍්‍රමය
ඇති මේ දරුවා ඔවුන් අත හැරියේ නැත. දෛනික වැටුපකට සේවය කරමින් ඔවුන් ජීවත් කරවන්නට
ගත් උත්සාහය තවත් අර්ථවත් වුණේ අධ්‍යාපන කටයුතු ද කඩාකප්පල් කර නොගැනීම නිසා ය.
සමාජය අර්ථවත් කරන්නේ, ඒකාලෝක කරන්නේ ද මෙවන් දරුවන් ය. මෙවන් යහපත්, සංවේදී
දරුවෙක් හැදීම පිළිබඳ ව ඒ මව්පිය දෙදෙනා ද ඇගයිය යුතු ම ය. අනාගතයට ඇවැසි මෙවැනි
ධෛර්ය සම්පන්න සංවේදී නැණවත් දරුවන් ය.
මව්පිය අවවාද නොතකන, වැරැදි මග යන දරුවන් ද කලාතුරකින් වුව ඇති බව අසත්‍යයක් නොවේ.
කුමන හෝ වරදක් එහි ඇත. අවවාද කළ ද දරුවන් කරන කියන දේ ගැන මව්පිය අනවධානය ඊට හේතු
විය හැකි ය. අශ්වයා ගියාට පසු ස්තාලය වසා වැඩක් නැත. දරුවන් රැක ගත යුතු ඔවුන් ගේ
ජීවිතය වරදින්නට පෙර ය. එය අපට කළ හැකි දෙයකි.
මව්පියන් , සහෝදර සහෝදරියන් රැකගත් ගලේවෙල දරුවා වැනි දරුවන් ඒ මව්පියන්ට සේ ම ගමට,
රටට ද වාසනාවකි. |