පමා නොවන දන
පැතිරේ කිතු ගොස
සිංගප්පූරුවේ
ප්‍රධාන සංඝනායක
වේරගොඩ
සාරද නා හිමි
උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො
අප්පමත්තස්ස යසො’භිවඩ්ඪති
උට්ඨානය, සතිය, සහිත
සිහි නුවණැති, කුසල් නිරත
සංවර, දැමි නො පමා දන
කිතු ගොස පැතිරෙයි දින දින
වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කුම්භඝෝෂක නම් සිටුවරයකු ඇරබ භාග්‍යවතුන් වහන්සේ මේ
ගාථාව දේශනා කළ සේක.
එක් සමයෙක රජගහ නුවර වසංගතයක් පැතුරුණේ ය. නගරයේ සිටුතුමා ගේ නිවසෙහි සේවකයෝ මේ
රෝගයෙන් මළ හ. සිටුතුමා හා බිරිඳ ද රෝගයෙන් පෙළුණ හ. එවිට ඔවුහු තම තුරුණු පුතා
අමතා තමන් අතහැර ගොස් කලක් ගිය පසු පමණක් පැමිණෙන්නට උපදෙස් දුන් හ. තමන් ධනය නිදන්
කර ඇති ස්ථාන ද මේ මේ යැයි පෙන්වා දුන්හ.
පුත්‍රයා ද නගරය හැර ගොස් වන ගතව වසර දොළහක් ම ගත කළේ ය. ආපසු නගරයට එන විට ඔහු
තරුණ වියට පත්ව සිටි හෙයින් කිසිවකුට හඳුනා ගත නො හැකි විය. සම්පත් වළලා ඇති තැන්
බලන්නට ගොස් ඒවා නිරුපද්‍රිතව පවත්නා බව ද දැන ගත් හෙතෙම මේවා ගොඩ ගෙන භාවිත කරන්නට
පටන් ගත හොත් නුවර වැස්සන් කිසියම් දුගියකු හිටි හැටියේ සම්පතක් සොයා ගෙන සැප
විඳින්නට පටන් ගත්තේ යැයි සැක කොට රජතුමාට පැමිණිලි කළහොත් තම වස්තුව රජතුමා විසින්
රාජසන්තක කරන්නට ඉඩ ඇතැයි බියට පත්ව එය භාවිතයට නො ගත්තේ ය. එහෙයින් තවම ඒ සඳහා
නිසි කල උදානූනේ යැයි සිතූ හේ ජීවත් වීමට රැකියාවක් සෙවී ය. ඔහුට පැවරුණු රැකියාව
අළුයම පිබිඳී නගරයෙහි ජනයා අවදි කරනවා, දන් ආහාර පිළියෙල කිරීමට, කරත්ත ගෙන ඒමට හා
ගොනුන් බැඳීමට කාලය බව කියමින් ඝෝෂා කිරීමයි.
එක් උදෑසනක බිම්බිසාර රජතුමාට ඔහු ගේ කෑ ගැසීම ඇසිණි. කටහඬින් පුද්ගලයන් විනිශ්චය
කිරීමේ සමර්ථයකු වූ රජතෙම “මේ නම් මහා ධනවතකු ගේ කටහඬයැ’යි පැවසී ය. ඒ ඇසූ එක්
සේවිකාවක් ඒ ගැන සොයා බලා ‘ඒ ඉතා දුප්පත් අසරණයෙක් පමණි. දේවයන් වහන්ස’යි වාර්තා
කළේ ය. එහෙත් රජතුමා තව දින දෙකක් ම කියා සිටියේ ඒ නම් දුප්පත් අසරණයෙක් නොව මහා
ධනවතකු බවයි. නැවත ද පරීක්ෂාවක් කළ මුත් වාර්තා වූයේ ඔහු සුළු වැටුපකට සේවය කරන
දුප්පතකු බව පමණ ය. එයින් විස්මයට පත් සේවිකාව මේ ගැන පෞද්ගලිකව ම සොයා බලන්නට
රජතුමාගෙන් අවසර ගෙන සාමාන්‍ය දුප්පත් කතක් සේ වෙස් වලාගෙන තම දියණිය ද කැටිව
කම්කරුවන් අතර ට ගියා ය. තමන් සංචාරයක ආ බව පවසමින් ඔවුහු කුම්භඝෝෂක ගේ ගෙයි ලැගුම්
ගත් හ. එක් රැයකට නවාතැන් ඉල්ලා ගත් නමුත් දින කීපයක් එහි නවාතැන් ගැනීමට අවසර ලබා
ගත් හ. මේ අතරතුර නගරයේ එක්තරා උත්සවයකට හැම නිවසකින් ම එක්තරා මුදලක් අනිවාර්යයෙන්
ම දියයුතු බවට රජ තෙම නීතියක් පැනවීය.
එහෙත් කුම්භඝෝෂක ළඟ එතරම් මුදලක් නො වීය.
එහෙයින් අකැමැත්තෙන් වූව ද නිධානයෙන් රන් කාසියක් දෙකක් ගන්නට කුම්භඝෝෂකට සිදු
විණි. ඒවා බාර දෙන්නට බාර ගත් සේවිකාව ඒවා රජතුමා වෙත යවා, උත්සවයට තමා අත වූ මුදල්
දුන්නේ ය. ඉන් පසු ඕ රජතුමාට පණිවුඩයක් යවා කුම්භඝෝෂක රජවාසලට ගෙන්වන සේ ඉල්ලීමක්
කොට ඔහු එහි යන්නට පෙර තමාත් දියණියත් එහි ගොස් සිටියා ය. රජ වාසලදී රජතුමා
කුම්භඝෝෂකට කතා කොට කිසිම දඬුවමක් නො දෙන බවට පොරොන්දු වී ඇත්ත හෙළි කරන සේ ඉල්ලා
සිටියේ ය. ඒ කහවණු තමන් ගේ බව පිළිගත් හේ තමා මියගිය නගර සිටුතුමා ගේ පුත්‍රයා
බවත්, වසර දොළහකට පෙර තමාට වන ගත වන්නට වූ බවත් හෙළි කළේ ය. එමෙන් ම තම නිධාන ඇති
තැන් ද නො වළහා පැවස ීය. අන්තිමේ ඒ ධනය රජ වාසලට ගෙන්වා පරීක්ෂා කර බැලූ රජතුමා
ඔහුට සිටු පදවියක් පිරිනමා රජ දියණියක් ද විවාහ කරවා දුන්නේ ය. අනතුරුව ඔහු
වේළුවනාරාමයට කැඳවාගෙන ගිය රජතෙම භාග්‍යවතුන් වහන්සේට සියලු පුවත් දන්වා සිටියේ ය.
උට්ඨානවතො - උට්ඨාන වීර්යය ඇති
සතිමතො - සිහි නුවණින් ක්‍රියා කරන
සුචිකම්මස්ස - නිරවද්‍ය ක්‍රියා කලාපයක් ඇති
නිසම්මකාරිනො - විමසා බලා ක්‍රියා කරන
සඤ්ඤතස්ස - සංවර වූ
ච - සහ
ධම්මජීවිනො - ධර්මානුකූලව ජීවත් වෙන
අප්පමත්තස්ස - අප්‍රමාදී වූ පුද්ගලයා ගේ
යසො - කීර්තිය
අභිවඩ්ඪති – වර්ධනය වෙයි |