වප් පුර පසළොස්වක 2019.10.13
ජීවිතයට ආලෝකයක්
ඇසළ මස පුර පසළොස්වක පොහෝ දා සිට වප් පුර පසළොස්වක පොහෝ දින දක්වා ගෙවුණු තුන් මාසය
බෞද්ධ ජනතාවට ඉතාමත් සුවිශේෂී කාල සීමාව කි. භික්ෂූන් වහන්සේ ගිහි පින්වතුන්ගේ වස්
ආරාධනා පිළිගනිමින්. බණ භාවනා වඩමින්, අධ්‍යාත්මික දියුණුව ඔස්සේ උතුම් නිර්වාණය
අපේක්ෂා කරගනිමින් මේ කාලය පුරා කටයුතු කළහ. ගිහි පිරිස් ද නිරන්තරයෙන් විහාරස්ථානය
ඇසුරු කරමින් භික්ෂූන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරමින්, සිය ආධ්‍යාත්මික දියුණුව
සලසා ගත් හ. යම් පිරිසක් හැරෙන්නට මෙම කාලසීමාවේ සෑම බොදු නිවෙසක ම පාහේ මව්පිය දූ
දරුවන් එක්ව ගමේ විහාරස්ථානයත් සමඟ ගොඩනඟා ගත්තා වූ මේ සම්බන්ධතාවය තුළින් ලද
ආධ්‍යාත්මික ප්‍රබෝධය සුවිශේෂී ය. එය මේ කාල සීමාවට පමණක් සීමා නොකොට සිය ජීවිත
කාලය පුරාම අර්ථවත් ව පුරුදු පුහුණු කිරීමට බෞද්ධ ජනතාව කටයුතු කරන්නේ නම් ලද හැකි
ජීවිතාලෝකය මොන තරම් ද? ඒ ආලෝකය තමන් පමණක් නොව ගම ද රට ද ඒකාලෝක කරන්නේ ය.
ශ්‍රී සද්ධර්මය අපට උගන්වන්නේ මේ සමාජය තුළ යහපත් ව ජීවත්වීමට ය. තමන්ට ද අහිත නොවන
ලෙස, අනුන්ට ද අහිත නොවන ලෙස ජීවත්වන ක්‍රමවේදය ය. බෞද්ධයින් නම් නිසැකව ම ඒ සදහම්
මග යා යුතු ම ය. එය කඩකරමින් බෞද්ධ නාමයෙන් පෙනී සිටීම තමන්ට සේ ම, ලෝකයාට ද වංක
වීමකි. සැබෑ බෞද්ධයා අවංක ව ජීවත් වන්නෙකි. අප නිරන්තරයෙන් උත්සාහ කළ යුතු නියම
බෞද්ධයකු වීමට ය. එවිට මේ ජීවිතය සේ මතු සසර ජීවිතය ද සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත.
මඩෙහි එරුණු තැනැත්තා එහි ම රැඳී සිටියේ නම් අත්වන ඉරණම කුමක් ද? ඉන් ගොඩ එන්නට නම්
කවරෙකුගේ හෝ උදව් ඇවැසිම ය. මඩෙහි ම එරී සිටින්නෙකුට එය කළ නොහැක්කකි. ඔහු ගොඩගත
හැකි වන්නේ මඩෙහි නො එරුණ තැනැත්තෙකුට ය. මජ්ක්‍ධිම නිකායේ සල්ලේඛ සූත්‍රයේ දී
බුදුරජාණන් වහන්සේ චුන්ද නම් පුද්ගලයාට මේ පිළිබඳ ව දේශනා කොට තිබේ.
මිථ්‍යා දෘෂ්ඨික අදහස් ඇති , පාපයට ලැදි, පව ම අගය කරමින් එහි ම නිරත වන අය අප අතර
කෙතරම් ද? ජීවිතයේ සැබෑ අරුත නොදන්නා එවැන්නෝ මඩෙහි එරී සිටින පුද්ගලයින් හා සම ය.
සිය ආත්මාර්ථකාමී අදහස් මුදුන් පමුණුවා ගන්නට අයහපතෙහි ම, අකුසලයෙහි ම නිරතවන ඔවුහු
පාපයෙහි ම ගිලෙති. එවැන්නන් ඇසුරු කරන්නන්ට ද අත්වන ඉරණම ඒ හා සමාන ය.
පාපකාරී පිරිස් ඉන් මුදවා ගැනීමත්, එවැනි තත්ත්වයට ඇද නොවැටීමත් බෞද්ධයාගේ වගකීමකි.
උතුම් ශ්‍රී සද්ධර්මය අපට මඩෙහි නො එරී ජීවත්වන්නට මාර්ගෝපදේශ ලබා දෙයි. වස් කාලය
පුරා කල්‍යාණ මිත්‍ර භික්ෂූන් වහන්සේ වෙතින් ලද ධර්මානුශාසනා මනා සිහියෙන් සිහිපත්
කරන්නේ නම්, ඒ නිවැරැදි මග අවබෝධ කර ගැනීම අපහසු වන්නේ නැත.
සදාචාරවත්, ආධ්‍යාත්මික ගුණධර්මයන්ගෙන් සුපෝෂිත, මවට – පියාට , සහෝදර – සහෝදරියට,
වැඩිහිටියන්ට, පොදුවේ මේ මිනිස් සමාජයට, ජීවත්වන පරිසරයට, සතා සීපාවාට, ගහකොළට, ඇළට
– දොළට ආදරය කරන, ගෞරවය කරන සංවේදී සමාජයක අවශ්‍යතාව ඇතැම් විටෙක අපට වඩාත්
වැඩියෙන් දැනෙන්නේ අදැහැමි මග තෝරාගත් පිරිස් කැපී පෙනෙන්නට දරන උත්සාහය නිසා ය.
අභ්‍යන්තර පාරිශුද්ධිය පිරිහී, අපවිත්‍ර සිතිවිලිවලින් මඬනා ලද එවැන්නෝ නිසි මගට
නොගතහොත් සිදු වන්නේ අනර්ථයක් ම ය.
අම්මා, තාත්තා මඩෙහි එරී සිටිත් නම්, ආධ්‍යාත්මික පරිහානියට ගොදුරුවූ, මඩෙහි එරුණු
දරුවන් ගොඩගත නොහැකි ය. නැතිනම් ඒ පවුලේ යහපත් දරුවෙක් අයහපතට යොමු වීම වැළැක්විය
නො හැකිය. පවුල යනු සමාජයේ කුඩා ම ඒකකය යි. පවුල බිඳී ගියේ නම්, සමාජය ද බිඳී යාම
වැළැක්විය නො හැකිය. පාසලේ සිට සමාජයේ කුඩා වූ ද, විශාල වූ ද අනෙකුත් සියලු ආයතනයන්
හි විවිධ නිලතල, චරිත හා ආදේශ කළේ නම් ද තත්ත්වය එපරිදි ම ය.
තමා පිරිසුදු වී, සම්මතයෙහි පිහිටා සිටිමිනි, අනුන්ට ඔවා දිය යුතු වන්නේ. එහෙයින්
සිරි සදහම් මග දැන ඉගෙන තම තමන් පෞද්ගලිකව පිරිසුදු විය යුතු ය. සිරුරෙහි තැවරුණ
කුණු දුහුවිලි පිරිසුදු ජලයෙන් සෝදා හරින්නා සේ සිත දවන, තවන ලෝභ, දෝෂ, මෝහා දී
අකුසල සිතිවිලි අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල මූලයන්ගෙන් පාරිශුද්ධත්වයට පත්කර ගැනීමට
වෑයම් කළ යුතු ය. වස් කාලය පුරා අප උගත් දහම් මග ප්‍රායෝගික ව ජීවිතයට පුරුදු
පුහුණු කළ යුතු ය. මේ ජීවිතයටත්, පරලොව ජීවිතයටත් වැඩ සැලසෙන්නේ එවිට ය. |