[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිසා වැව අසල පිහිටි රාජකීය උද්‍යානය රන්මසු උයන

තිසා වැව අසල පිහිටි රාජකීය උද්‍යානය රන්මසු උයන

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්ෂයේණ

ශ්‍රී ලංකාවේ උද්‍යාන පිළිබඳ මුලින් ම දක්නට ලැබෙන්නේ මහින්දාගමනයෙන් පසුව ය. එහිදී රජුට අයත් ‘නන්දන’ නම් උයන පිළිබඳ තොරතුරු වංසකතාව හෙළි කරයි. එය ඇතුළු නුවරට යාබද ව තිබූ ක්‍රමවත් අයුරින් සකසන ලද උද්‍යානයක් බව පෙනී යන්නේ ,මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ ආරාම අංගයන් සැකසීම සඳහා උද්‍යානය පුරා සංචාරය කිරීම ගැන සඳහන් කර ඇති හෙයිනි.

මීට පසුව ජෝතිවන නමින් යුක්ත තවත් උද්‍යානයක් ඊට යාබද ව තිබූ බව වංසකතාවේ සඳහන් වේ. මේ සමඟම තිබූ තවත් ප්‍රසිද්ධ උද්‍යානයක් නම් මහමෙවුනාව යි. ලෝකයේ උද්‍යාන අතුරින් පුරාණ ලංකාවේ උද්‍යානවලට හිමිවන්නේ අද්විතීය ස්ථානය කි. මහමෙවුනාව මෙන් ම ජෝතිවනයත්, ආරාම සංකීර්ණ බවට පත්වීමෙන් අනතුරුව මූලික ලක්ෂණ අභාවයට ගියමුත්, සීගිරිය වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණයක නටබුන් අද ද දැක ගත හැකි ය. එයට අමතර ව මිහින්තලය, කළුදිය පොකුණ හා රන්මසු උයන ආදිය අනුරාධපුර රාජධානි සමයෙහි පැවති දර්ශනීය උද්‍යානවලට වර්තමාන නිදසුන් සපයයි.

(අනුරාධපුර පුරාණය – සංස්කාරක අම්බලන්තොට චන්දිම හිමි . පි. 150 - රත්නද්වීප ග්‍රන්ථ මාලාව – 2007)

පුරාණ ශ්‍රී ලංකාවේ නගර නිර්මාණයේ නියත අංගයක් ලෙස උද්‍යාන සැලකිය හැකි ය. ඒ අනුව ක්‍රිස්තු වර්ෂයට පෙර අනුරාධපුර අග නගරයේ තිබුණු රාජකීය උද්‍යාන කීපයක නම් දක්නට ලැබේ. රාජවර්ෂ පූර්ව (ක්‍රි.පූ.) 13 වන සියවසෙහි මුටසීව රජතුමා (දේවානම්පියතිස්ස රජතුමාගේ පියා) විසින් මහාමේඝවන උද්‍යානය නිර්මාණය කරන ලදී. එමෙන් ම නන්දන උයන සහ ජෝතිවන උයන ද එවැනි උද්‍යානයන් වේ. මේ සියලු උද්‍යාන දේවානම්පියතිස්ස රජතුමා විසින් මහා සංඝයා වහන්සේලාට පූජා කරන ලදී. මෙම උයන් විහාර භූමිය තුළ පිහිටා තිබුණි.

එම නිසාම රාජකීය උද්‍යාන සඳහා විකල්ප ස්ථානයක් පිළිබඳ අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ අනුව මහා විහාර භූමියේ දකුණුපස කොටස මේ සඳහා යොදා ගෙන ඇති බව ඉතා පැහැදිලි ය.

රාජ වර්ෂ දහවැනි සියවසට අයත් හතරවැනි මිහිඳු රජුගේ වෙස්සගිරි සෙල්ලිපියේ “රන්මසුඋයන”ලෙස මෙම උද්‍යානය හඳුන්වා ඇත. එහි අර්ථය වන්නේ “ස්වර්ණ මත්ස්‍යයන් සිටින උද්‍යානය යන්න යි. මෙකල අක්කර 40 පමණ භූමි ප්‍රමාණයක ඇති මෙම රන්මසු උයන පැරැණි ශ්‍රී ලංකාවේ උද්‍යාන ශිල්පය සඳහා වූ ඉතා විශිෂ්ට නිදසුන කි. මහාවනයෙන් වැඩී තිබුණු මෙම උයන මෙ රට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා විසින් 1901 දී නැවත සොයා ගන්නා ලදී. 1940 දී එහි සංරක්ෂණ කටයුතු ඇරඹී ය. මෙම උද්‍යානයේ විශේෂ ලක්ෂණ සාහිත්‍ය කෘතිවල විස්තර කර ඇති ඉන්දියානු උද්‍යාන ලක්ෂණ සමඟ සැසඳිය හැකි ය. පැරැණි ඉන්දියාවේ රාජකීය උද්‍යාන ලක්ෂණ කීපය කි. මානෙල් මල් වගාවට සහ ස්නානය කිරීමට පොකුණුූ එහි විය. කෘත්‍රිම කඳු, ගුහා, මල්පාත්ති, ලතා මණ්ඩප , කෙසෙල් ගෘහ, දෝල මණ්ඩප, චිත්‍ර ශාලා, විශ්‍රාම ශාලා, ආදිය විය. බිසෝවරුන් උදෙසා වෙනම සාදන ලද උද්‍යාන ද විය. ඒවා ප්‍රමද වන ලෙසින් හඳුන්වන ලදී.

රාජ වර්ෂ දෙවැනි සියවසේ රජ කළ වසභ රජු අනුරාධපුර නගරය අලංකාර කිරීම සඳහා හංසයන් සහිත කෘත්‍රිම පොකුණු නිර්මාණය කරවන ලද බවට ඓතිහාසික සාක්ෂි ඇත. එසේ වුවද අවාසනාවකට මෙන් රන්මසු උයන ලෙස සඳහන් වන මඟුල් උයන නිර්මාණය කළේ කවුරුන් විසින් ද? යන්න පිළිබඳ ඓතිහාසික වාර්තා අප සතුව නැත. ඉසුරුමුණි විහාරය (මේඝ ගිරි විහාරයට පිටුපසින් ඇත්තේ රන්මසු උයන ය. එයට ඉහළින් (ක්‍රි.පූ.)රාජවර්ෂ පූර්ව තුන් වන සියවසේ දී ගොඩනගනලද තිසාවැව ය. මේඝගිරි විහාරය පිටුපස ඇති මාවත ඔස්සේ තිසාවැවේ වෑ බැම්ම මතට නැගී මදක් දුර ගොස් පහළින් ඇති රන්මසු උයනට යා හැකි ය. තිසා වැවේ ජලය ප්‍රධාන සොරොව්ව හරහා රන්මසු උයනට යයි. එතැන් සිට කල ගෙයට (කෑලි ගෘහයට),උද්‍යානයේ පොකුණට සහ මහනෙල් පොකුණට ද ගොස් අවසානයේ ඉසුරුමුණි විහාරය (මේඝගිරි විහාරය) අවට ඇති කුඹුරුයායට ගලා බසී.

(පුරාණ අනුරාධපුරය) මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න – පි. 202- 203 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනය කි. – 1995)

පර්වත උද්‍යාන සැකසීම පිණිස ගෘහ නිර්මාණ ශිල්පීහු ඒ අවට විසිරී තිබුණූ පර්වත භාවිත කළ හ. අසල පිහිටි පර්වත දෙකක් යා කරන ලද ගල්පුවරුවක් මත ගොඩනැගිල්ලක් ඉදිකර ඇත. එම ගොඩනැගිල්ල දැනට බොහෝ විනාශ වී ඇත. මෙම ගිරිකුල දෙපසින් වූ ස්නානාගාර තුනකි. මේවායින් විශාල එක උතුරු දෙසින් පිහිටා තිබේ. එය අඩි 34 දිග අඩි 29 පළල ය. බටහිර කොටසෙහි කාමරයක ආකාරයට ඇති ආසනයක් සහිත වූ ගල්ලෙනකි. එම ගල මත නෙළුම් පොකුණක ඇතුන් ක්‍රීඩා කරන අන්දම දැක්වෙන අල්ප උන්නතව නෙළන ලද (පිහිටි ගලෙහි) මූර්ති කැටයමකි.

පර්වතයේ දකුණු දෙස සාදා ඇති කුඩා පියගැට පෙළ ගල මත සාරන ලද පොකුණ දෙසට විහිදී ඇත. එම පොකුණ අවට ඇති සිදුුරුවලින් පෙනී යන්නේ ඒවා ලී කණු සිටුවීමට සාදා ඇති බව කි. මෙම විලේ රන්මසුන් ඇතිකරන්නට ඇතැයි සිතිය හැකි ය. 1948 වර්ෂයේ දී එවක පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙම රන්මසු උයන සංරක්ෂණය කළ අන්දම ඉතා දීර්ඝ ලෙසින් විස්තර කර ඇතත්, ඒ සියලු කරුණු මෙහිදී ඉදිරිපත් කළ නොහැකි ය. දැන් මේ රාජකීය මගුල් උයනේ තත්ත්වය පෙර පැවැති තත්වයට කෙතරම් ආසන්න වන තරමට සකස්කර ඇද්දැයි කිවහොත් එහි අංගෝපාංග සාමාන්‍ය නරඹන්නාට වුවද පැහැදිලි වන තරම් ය. දැන් දිය අගලේ ජලය පිරී ඇති විට ඉවුරුවලට හානි නොවී වැඩි ජලය වශයෙන් වෙන්කළ භූමියෙහි දකුණු පැත්තේ –අඩි 253 දිග හා අඩි 55 පළල පුළුල් පොකුණකි. එහි ඉවුරුවලට ගල් අල්ලා තිබේ. ඉවුරු කණ්ඩි උඩ වැවුණු මහා ගස්වල මුල් නිසා සමහර ගල් ගැලවී තිබුණි.

(පුරාවිද්‍යා පර්යේෂණ – ආචාර්ය සෙනරත් පරණවිතාන පි. 45 විසිදුනු ප්‍රකාශන –2001)

දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරුට අසෝකමාලා හමුවූයේ මෙම උද්‍යානයේ දී බව ජනප්‍රවාදයක් පවතී.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා
ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]