දළදා ගමන් මාලිගාව
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක
අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ
රාජමහ විහාරාධිකාරී
පොළොන්නරුව
සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති
වේඬරුවේ
උපාලි නා හිමි
මෙම ලිපියෙහි පළමු කොටස නිකිණි පුර පසළොස්වක පෝදා (අගෝස්තු 14වනදා) පළවිය.
ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහරේ දවල් පෙරහර ආරම්භ වන්නේ අස්ගිරි මහා
විහාරයේ ගෙඩිගේ විහාරයෙනි. අවසාන රන්දෝලි පෙරහර දළදා මැදුරට ගෙවදීමෙන් පසුව පෙරහර
කරඬුව නැවත පෙරහරකින් අස්ගිරිය ගෙඩිගේ විහාරය වෙත වැඩම කරනු ලැබේ. අලි ඇතුන් සහිත
විසිතුරු පෙරහරකින් මධ්‍යම රාත්‍රියේ ම එම පෙරහර කරඬුව වැඩම කරන්නේ දිය කැපීමට පෙර
ය. ගෙඩිගේ විහාරයේ පෙරහර කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව දිය කැපුමට ගැටඹේ තොට
දක්වා පිටත් වේ. එම දිය කැපුමේ රාජකාරි කටයුතු බස්නායක නිලමේවරුන්ට පවරනු ලබන්නේ ද
මෙම විහාරස්ථානයේ දී ය. එම අවස්ථාවට අස්ගිරි මහානායක සවාමීන් වහන්සේ ප්‍රමුඛ දියවඩන
නිලමේතුමා සතර දේවාල බස්නායක නිලමේවරු, පිටිසර දේවාල බස්නායක නිලමේවරු, දළදා
මාලිගාවේ තේවාවේ නියුතු රාජකාරි පිරිස සහභාගි වේ. ගෙඩිගේ විහාරයේ රාත්‍රියේ තැන්පත්
කරනු ලබන පෙරහර කරඬුව ආපසු දළදා මාළිගාවට වැඩම කරනු ලබන්නේ පසුදින දවල් පෙරහර ආරම්භ
වන අවස්ථාවේ දී ය.
රත්නපුර කුරුවිට දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවරට වැඩම කළ පසු දළදා
මාළිගාවේ තැන්පත් කිරීමට පෙර පළමු දින රාත්‍රීයේ දළදා වහන්සේ තැන්පත් කර ඇත්තේ
ගෙඩිගේ රාජමහා විහාරේ ය. ඒ නිසා ගෙඩිගේ රාජමහා විහාරය අතීතයේ පටන් ප්‍රසිද්ධව ඇත්තේ
දළදා ගමන් මාළිගාව නමිනි. අනුරාධපුර යුගයේ පටන් ඒ ඒ රාජධානිවල දළදා වහන්සේ තැන්පත්
කිරීමට ඉදි කළ මාළිගා සහ විහාර බොහෝ ගණනක් ඇත. ඒ අතරින් දළදා වහන්සේ තැන්පත් කර
තිබූ විහාරයක් වශයෙන් ගෙඩිගේ රාජමහා විහාරයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. එනම් දළදා
වහන්සේ වැඩ සිටින ඓතිහාසික සෙංකඩගල නුවර දළදා මැදුර සිට වාර්ෂිකව පෙරහර කරඬුව
ගෙඩිගේ විහාරයට වැඩම කිරීමෙන් සජීවි සබඳතාවයක් අද දක්වා පැවතීමයි. එකී වරප්‍රසාදය
හිමිව ඇති සිරිලක පිහිටි එකම විහාරස්ථානය අස්ගිරි මහා විහාරයේ ගෙඩිගේ රාජමහා විහාරය
යි. පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීම හා බැඳි විශේෂ ගෞරවය එදිනට ගෙඩිගේ
විහාරය දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිගාව සේ පුද ලැබීමයි. ගෙඩිගේ විහාරයේ පෙරහර
කරඬුව තැන්පත් කර තිබෙන දවස පුරා සියලු තේවාවිධි සිදුකරන්නේ දළදා මාළිගාවේ පුද
සිරිත් පවත්වන ආකාරයෙනි.
ගෙඩිගේ විහාරය මහා පුණ්‍ය භූමියක් වශයෙන් වසරකට වරක් මෙසේ පුද ලැබීමේ මහා භාග්‍ය
පිළිබඳ සැලකීමේ දී මෙම කරුණ ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එනම් පෙරහර කරඬුව ගෙඩිගේ
විහාරයේ තැන්පත් කරන දිනයට දළදා වහන්සේ ගෙඩිගේ විහාරයෙහි වැඩ සිටින අයුරින් සලකා
දළදා මැදුරේ පිළියෙල කරන මුල් තැන් බුද්ධ පූජාව මාළිගාවේ සිට පෙරහරෙන් ගෙනවිත්
මාළිගාවේ මුල්තැන් පූජාව පූජා කරන අයුරින් පූජා කිරීමයි. එම අවස්ථාව පංචතූර්ය නාදය,
කවිකාර මඬුවේ දළදා වරුණ තුළින් තවදුරටත් දළදා මැදුරේ අසිරිය ගෙඩිගේ වෙහෙර තුළින් ද
මැනවින් ප්‍රකට වේ.
පෙරහර කරඬුව තැන්පත් කර තිබෙන රාත්‍රී කාලයෙත්, දවල් වරුවත් යන මුළු කාලය තුළ
ගෙඩිගේ විහාරයේ හේවිසි මණ්ඩපයේ සිට නොනවත්වා පවත්වනු ලබන හේවිසි නාදය ද දළදා වහන්සේ
තැන්පත්ව තිබූ ගෙඩිගේ විහාරයේ තැන්පත් පෙරහර කරඬුව වෙනුවෙන් සුවිශේෂ පූජාවකි. මෙම
හේවිසි පූජාව පවත්වනු ලබන්නේ ද දළදා මාළිගාවේ හේවිසි රාජකාරිය භාර ප්‍රධාන හේවිසි
වාදකයෝ ය.
ඉහත තොරතුරු අනුව අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය මහනුවර පිහිිටි දෙවන දළදා මැදුර සේ
සැලකිය යුතුª යි. ඊට හේතුව දළදා මැදුරේ සිදුකෙරෙන ඉපැරැණි පුද පූජා කටයුතු දළදා
මැදුරෙහි ම රාජකාරි පිරිස සහභාගි වී දළදා මැදුරෙන් පිටත දී කරනු ලබන එකම විහාරය
ගෙඩිගේ විහාරයයි. දළදා පෙරහර ආරම්භයේ පටන් වීදි සංචාරය කරනු ලබන්නේ ශ්‍රී දළදා
මැදුරෙන් පෙරහර කරඬුව වැඩමවමිනි. පෙරහර නිමකෙරෙන දවල් පෙරහර ආරම්භ වන්නේ ඓතිහාසික
ගෙඩිගේ වෙහෙරෙහි තැන්පත් පෙරහර කරඬුව පෙරටුකොට ගෙඩිගේ විහාරස්ථානයෙනි. ඒ අනුව දළදා
පෙරහරක් ගෙඩිගේ විහාරයෙන් ආරම්භ වීමද දළදා ගමන් මාළිගාව හෙවත් ගෙඩිගේ විහාරයට ඉමහත්
ගෞරවයකි.
කේ. බණ්ඩාරනායක |