[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා පෙරහරයි හෙළ සංස්කෘතියයි

දළදා පෙරහරයි හෙළ සංස්කෘතියයි

මෙම ලිපියෙහි පළමු කොටස නිකිණි පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය


අද පවත්වන දළදා පෙරහරට ආසන්නම රාජධානි සමය වන්නේ මහනුවර රාජ්‍ය සමය යි. දකුණු ඉන්දීය දේවවාදී මත බහුලව පැවැති එකල ඇත්තෙන්ම දළදා පෙරහර වශයෙන් නොව සිවුමහා දේවාල පෙරහර ලෙස යි පැවතී තිබී ඇත්තේ. මහනුවර රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අවදියෙහි මෙම දේවාල පෙරහරට ඇසළ පෙරහර සම්බන්ධ වී තිබෙනවා. මේ නිසා එතෙක් පැවති දේවපූජා අර්ථයට වඩා දන්තධාතුන් වහන්සේට කරන පෙරහරක් බවට ක්‍රමයෙන් මේ ඇසළ පෙරහර පත්වන්නට ආරම්භ වෙලා තිබෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා හා එතුමාට ඊට අවශ්‍ය සදුපදේශයන් ලබා දුන් අසරණසරණ සරණංකර සංඝරාජයන් වහන්සේ නිසා බව කියවෙනවා. කෙසේ වුව ත් ඇසළ පෙරහරට බෞද්ධාගමික අර්ථයක් දෙමින් එය දළදා වහන්සේට කරන උපහාර පූජාවක් බවට පත් කරලා තිබෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ විසින්. රජතුමා පළමුවරට අත්‍යලංකාර ලෙස සරසන ලද ඇත්රජකු පිට සර්වඥධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද රන්කරඬුවක් තැන්පත් කරලා එම කරඬුව ඒ දක්වා තමන් පාවිව්චි කරමින් තිබුණු වටිනා රන්සිවිලිගෙය ඊට පූජා කරලා තිබෙනවා. මේ සිද්ධියෙන් පසු ලංකාවේ ඇති වූ රජවරු රන්හිලි ගෙය තමන්ගේ පරිහරණයට ගෙන නැති බවත් ප්‍රකට කරුණක්. ඒ වගේ ම තමා මේ සිදුවීම් නිසා රන්හිලිගෙවල් පූජනීය වස්තු බවට පත් වුණා.

සංස්කෘතික වශයෙන් බලනකොට මහනුවර ඇසළ පෙරහරේ හෙවත් දළදා පෙරහරේ උදාරත්වයට හේතු වූ ප්‍රධාන කරුණක් වන්නේ ඊට එක්වන විචිත්‍රවත් අංග නිසයි. ඒ අංග අතර අලි ඇතුන් විශේෂ ස්ථානයක් ගන්නවා.

එමෙන් ම විවිධ නාට්‍යාංග ද මේ අතර වැදගත්කමක් ගන්නවා. ඉදිරියෙන් ම ගමන් කරන කසකරුවන් පෙරහර එන ආරංචිය ලබා දෙමින් පාර ඉඩකඩ ලබා දෙනවා. ඇත්තු අට දෙනෙක් ගමන් කිරීමෙන් පසු දෑලේ ඇතුන් සහිතව මනා අලංකාර ලෙස සැරසූ මංගල හස්තියා ගමන් කරන්නේ සාඩම්බර ලීිලාවෙන්. මේ හැම දෙයකින් අපේක්ෂා කර තිබෙන්නේ ජනතාව තුළ බුද්ධ භක්තිය හා ගෞරවය ඇති කරමින් සංයමයක් ඇති ජනතාවක් ඇති කිරීම යි. පෙරහර ධාතු කරඬුව සහිත ව මංගල හස්ති රජයා පාවාඩ මත ගමන් කරන විට බොදු ජනතාව ආසනවලින් නැගීසිටිමින් සාධුකාර දෙන්නේ මහත් ශ්‍රද්ධා භක්තියෙන්. මෙසේ මේ මහා ඇසළ පෙරහර මහනුවර නගරයේ පැවැත්වීමෙන් පසුව ප්‍රාදේශීය පරිවාර දේවාලවල පෙරහර පවත්වන්නේ ද දේව භක්තියට මුල් තැන දෙමින්. කෙසේ වුව ත් මේ පෙරහර නිසා ජනතාව තුළ සංස්කෘතික හා ආගමික ප්‍රබෝධයක් ඇති වෙනවා වගේ ම මහත් උද්දාමයක් ඇති වෙනවා.

මේ කුමන දෘෂ්ටියකින් බැලුවත් අද වනවිට මහනුවර ඇසළ පෙරහර ගෞරවයට පාත්‍ර වී තිබෙන්නේ දළදා වහන්සේ වෙනුවෙන් රන් දා කරඬුව සහිත ව මංගල හස්තිරාජයා පාවාඩ මත ගමන් කරමින් දළදා වහන්සේට කරන උත්තම පූජා පෙරහරක් වශයෙනු යි. සිංහල සංස්කෘතිය කියන්නේ ත් බෞද්ධ සංස්කෘතිය කියන්නේ ත්, ශ්‍රී ලාංකේය ආගමික වටපිටාව නිර්මාණය වන්නේ ත් බුදුරජාණන් වහන්සේගේ චරිතය හා සම්බන්ධ විවිධ ප්‍රවෘත්තීන් කේන්ද්‍ර කොට ගෙන නිසා ත් එය සාමාජික ජන ජීවිතයේ ම සංකලනයක් නිසා ත් දළදා පෙරහර එම හැම අංශයක් කෙරෙහි ම බලපෑම් ඇති කරන සුවිශේෂ මහා සංස්කෘතික මංගල්‍යයක් බව කියන්නට පුළුවනි.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]