මේ වස්සාන කාලයයි - 1:
ප්‍රායෝගික ජීවිතය හා සමාජය
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදහස් පන්සිය හැට තුන් වර්ෂයක් ගත වී ගෙන
යනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව අවුරුදු විස්සක් තුළ එනම්, පඨම සම්බෝධිය
කාලය තුළ කිසිදු විනය නීතියක් පනවා තිබුණේ නැහැ. ශාසනයෙහි ආරක්ෂාව පිණිසත්, භික්ෂු,
භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසකගේ ම ශාසනික ඇවතුම් පැවතුම්වල මාර්ගය
සැකසීම පිණිසත්, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් මඟ පිණිසත් උපකාරවන ආකාරයෙන්
විනය ශික්ෂා පද පැනවීම සිදුවන්නේ ඉන්පසුව යි.
පඨම සම්බෝධිය කාලය තුළ භාග්‍යවතුන් වහන්සේ විසින් සිදු කරනු ලැබුයේ ඕවාදපාතිමෝක්ෂ
දේශනාව යි.
“ඛන්ති පරමං තපෝ ති තික්කා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා” ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උතුම්
‘ඕවාදප්‍රතිමෝක්ෂය’ හෙවත් ධර්මය නැවත නැවත මෙනෙහි කරවමින්, ඒ උතුම් ධර්ම මාර්ගයේ
හැසිරෙන ලෙස භික්ෂූන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට, උපාසක, උපාසිකාවන්ට මඟ
පෙන්වා දෙනු ලැබූවා.
උතුම් තපස, ඉවසීම ලෙස මෙහි පෙන්නුම් කරනවා. ඉවසීම ලෙස , “ඛන්ති” නමින් දක්වන්නේ
නිවන් මාර්ගය ම යි. දුක, දුකට හේතුව, දුකෙන් මිදීම, දුකෙන් මිදීමේ මාර්ගය නම් වූ මේ
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස ඇති කර ගන්නා වූ හික්මීම, විදර්ශනා ඥානය ම
“ඛන්ති ඥාන” ලෙස පෙන්වා දිය හැකි ය. ‘පඨම සම්බෝධියෙන්’ අනතුරුව සිදුවන විනය ශික්ෂා
මාර්ග පිළිවෙළෙහි තවත් අතුරු අවස්ථාවකි. “වස්සූපනායික” ධර්ම මාර්ගය. එනම් වස්
විසීමේ ශික්ෂා පද පැනවීම යි.
මහා වග්ග පාලියට අනුව සඳහන් ධර්ම කතා කොට්ඨාසය පළමුව සඳහන් කරන්නට කැමැතියි. එවිට
සියලු දෙනාට ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් වූ ධර්ම මාර්ගය පළමුව තේරුම් ගෙන,
ඒ අනුව තමන්ට ගළපා ගන්නට පුළුවනි. ඒ ධර්ම කොට්ඨාසය කාලයට අනුව ගළපා ගන්නට පුළුවනි.
“අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං ද්වෙ මා භික්ඛවේ වස්සූපනායිකා” මහා වග්ග
පාලියේ දක්වන ආකාරයෙන් ප්‍රථම බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට වස්
විසීමේ ප්‍රඥප්තියක් නො පනවන ලදී. එහෙයින් භික්ෂුහූ ඉල් අව පෑළවිය පටන් මැදින් පුර
පසළොස්වක දක්වා, මේ අතර මාස හතරක් පමණ දින ඇති හේමන්ත කාලයෙහි දී ත්, මැදින් දින අව
පෑළවිය පටන් ඇසළ පුර පසළොස්වක් දක්වා අතර මාස හතරක් පමණ ඇති ග්‍රීෂ්ම කාලයෙහි ද,
ඇසළ අව පෑළවිය පටන් ඉල් පුර පසළොස්වක් දක්වා අතර මාස හතරක් පමණ ඇති වර්ෂා කාලයේ දී,
මෙසේ හේමන්ත, ගිම්හාන, වස්සාන යන තුන් ඍතුවෙහි ම සැරිසරා ධර්ම මාර්ගය කියාදී මෙහි
ත්, පිණ්ඩපාත චාරිකාවෙහිත් භික්ෂූන් වහන්සේලා හැසිරෙනවා.
ඒ කාලයේ බොහෝ මනුෂ්‍යයෝ මෙසේ ප්‍රශ්න නඟන්නට වුණා. කුමක් හෙයින් ශාක්‍ය පුත්‍ර වූ
ශ්‍රමණයෝ පණ ඇති තෘණ පැළෑටි තලමින්, පොඩිකරමින්, පාගමින්, නොයෙක් ආකාරයේ ක්ෂුද්‍ර
ප්‍රාණීන් තළමින්, ඔවුන් මත පා තබමින් ගමින් ගමට ඇවිදින්නාහු ද? අන්‍ය ශාසනවල
වෙසෙනා තවුසන් පවා මේ වස් මාස හතරක කාලය එක් තැනකට වී වාසය කරනවා. කුමක් හෙයින් මේ
ශාසනයේ භික්ෂූහු පමණක් එසේ අනුගමනය නොකරන්නේ ද? පක්ෂීහු පවා වර්ෂා කාලයෙහි ගස්
මුදුන්වල කැදලි බැඳගෙන එක්තැන්ව වසනවා. කුමක් හෙයින් භික්ෂූහු එසේ නො වෙසෙත් දැයි
මහත් උද්ඝෝෂණයක් සිදු කළා.
ඒ මනුෂ්‍යයන්ගේ නුගුණ කතා ඇසූ භික්ෂූන් වහන්සේලා ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළා.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙහි මුලින් සඳහන් කළ ශික්ෂා ප්‍රඥප්තියෙන් වස් විසීම
අනුදැන වදාළා. එනම් වස් විසීමට භික්ෂූන් වහන්සේලාට නියම කළා. එහි සරල අදහස මෙයයි.
මහණෙනි, වස්සාන කාලයෙහි වස් එළඹීමට අවසර දෙමි. මහණෙනි, පෙර වස් එළඹීම ය, පසු වස්
එළඹීම ය යැයි වස් එළඹීම් දෙකකි. ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹිය යුතු ය.
නිකිණි අව පෑළවිය දිනයෙහි පසු වස් එළඹිය යුතු ය.
වස්සාන කාලය විශේෂයෙන් ම ථේරවාදී බුදු දහම අනුගමනය කරමින් ලෝකයේ කොතැනක වාසය කළත්
සියලු උපසපන්, භික්ෂූන් වහන්සේලා විසින් අනුගමනය කරන ප්‍රඥප්තිය කි. ලංකාව වැනි
ආසියාතික ථේරවාදී බෞද්ධ රටවල එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දවස වගේ ම ඇසළ මාසයේ,
එනම් ජූලි මාසයේ පටන් මහ වැසි ඇද වැටීම ස්වභාවික යි. මෙය සාමාන්‍ය වචනයෙන්
හඳුන්වන්නේ මොර සූරන වැසි ලෙස හඳුන්වයි. වැස්ස, සුළඟ, ගහකොළ වේගයෙන් නැමීයෑම, කඩා
වැටීම ආදී වශයෙන් මෙය මොර සූරන වැස්ස කියන අදහසින් පෙන්වා දෙන්නට පුළුවනි. ඒ කාලය
තුළ භික්ෂූන් වහන්සේ පුරුදු පරිදිම පිණ්ඩපාත චාරිකාවෙහි හැසිරීමත් අවශ්‍ය විටක
ධර්මය කියාදීමත් සිදු වුණා. මෙයට හේතුවක් තිබුණි. එකල වර්තමානයේ මෙන් විහාරස්ථානවලට
හෝ ආරණ්‍යවලට ගොස් දායක දායිකාවන් විසින් දන් පිළිගැන්වීමක් බොහෝ සෙයින් සිදු
නොවුණි. භික්ෂුවකගේ දින චරියාවේ එක් කොටසක් වූයේ හිමිදිරියෙහි පිණ්ඩපාතයේ
හැසිරීමයි. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිත ගැන කියවන විට පවා එය පැහැදිලියි.
පෙරවරුවෙහි භාග්‍යවතුන් වහන්සේ පා සිවුරුගෙන පිණ්ඩපාතයේ වැඩි බවත්, දවල් කාලයේ
පිණ්ඩපාතයෙන් වැළකී, උන්වහන්සේ වනයකට, ගස් මුලකට වැඩ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටීම
හෝ සිවු පිරිසට ධර්ම දේශනා සිදු කළ බවත් පැහැදිලියි. ඉන් අදහස් කරන්නේ බුදුරජාණන්
වහන්සේ ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙහි හැසිරුණු බවයි. ඒ චාරිත්‍රය එසේ
ම අනුගමනය කරමින් වැසි කාලයේ දී ත් භික්ෂූන් වහන්සේ එසේ පිණ්ඩපාතයේ හැසිරුණා. ඒ වගේ
මඋන්වහන්සේලා අවශ්‍ය පරිදි දහම් මඟ දේශනා කළා.
- දීපා පෙරේරා |