නිකිණි පුර අටවක 2019.08.07
පිරිපුන් වූවොත්
ගුණ දම්...
අනුන්ගේ දුක, වේදනාව හඳුනන, කිසිවෙකුට කරදරයක් නොවී ජීවත්වන, සංවේදී ගුණ ඇති සමාජයක
අවශ්‍යතාව දැන් වඩ වඩාත් අවශ්‍ය වී ඇති සෙයක් හැඟේ. කාර්ය බහුලත්වය, තාක්ෂණයේ
වේගවත් දියුණුව, බල ලෝභය, අධික තණ්හාව ආදී සාධක සමඟ මිනිස්කම් ගිලිහී දිනෙන් දින
සිත් පිත් නැති යන්ත්‍ර සූත්‍ර වැනි මිනිසුන් නිර්මාණය වෙමින් පවතින සමාජයක් තුළින්
එවන් සංවේදී බවක් අපේක්ෂා කරනවා නම්, වහ වහා ම ඒ වෙනුවෙන් ක්‍රමානුකූල ක්‍රමවේදයකට
යා යුතුව තිබේ. ගෙවී ගිය දින කිහිපය තුළ වරින් වර අපට මාධ්‍ය වාර්තා ඔස්සේ අසන්නට,
දකින්නට ලැබුණු සිදුවීම්වල දැඩි අමානුෂිකත්වයක් ගැබ්ව තිබීම ඊට ආසන්නත ම හේතුව ය.
කිසිවෙකුගේ හව්හරණක් නො මැතිව, අඩුම තරමේ හිසට සෙවණක් හෝ නැති වෘද්ධ මිනිසෙකු මහමඟ
හැර කො තැනක දිවි ගෙවන්න ද? මැසි, මදුරු ගැහැට මදිවාට මිනිසුන්ගෙන් ද ඔහුට ගැහැට
වනවා නම්, ඒ අවනඩුව කියන්නට ද කෙනෙක් නැත.
දැඩි කුසගින්නේ සිටිය දී වුවද කෑමට ගන්නා, බත් පතෙන් කොටසක් කුරුලු ලෑල්ලට හෝ නො
දමා අනුභව නො කරන මිනිසුන් ජීවත් වූ හෙළ සමාජයට අන්‍යොන්‍ය උපකාරය ගැන අමුතුවෙන්
කියා දිය යුතු නොවේ. එතරම් සංවේදී සංස්කෘතියකින් , බුදු දහමින් සුපෝෂිත
සංස්කෘතියකින් අපි පොහොසත් වන්නෙමු. එහෙත් වරින්වර මෙවැනි සිදුවීම් වාර්තා වනවා නම්
අප ඒ ගැන ද අවදියෙන් සිටිය යුතුම ය. එක්කෝ මෙවැනි සිද්ධීන්ට මැදිහත්වන කෲරතර
පුද්ගලයින් මතට ඇබ්බැහි වූවන් විය හැකි ය. ඒ හැර දුර්වලයන් හමුවේ ඉතා පහත් තත්ත්වයට
ඇද වැටෙන්නට තරම් තිරශ්චීන විය හැකි කවර හේතුවක් නිසාදැයි සිතා ගන්නට පවා අපහසු ය.
මනුෂ්‍ය ඝාතන, සොරකම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ආදී අපරාධ, දුරාචාර බොහෝ දුරට
සිදුවන්නේ මතට ඇබ්බැහි වූවෝ වෙතිනි. මත්ද්‍රව්‍ය පිළිබඳව වත්මන් සමාජය තුළ දැඩි කතා
බහට ලක් වී ඇත්තේ එය විශාල උවදුරක් ව පාසල් දරුවන් ඇතුළු සමාජය ම බිලි ගන්නට අරඅදින
නිසා ය. සුළු අත්වැරැදීමකින්, රැවටීමකින් වුව ද විශේෂයෙන් සමාජය ගැන දැනුම් තේරුම්
නැති පිරිස් මේ උපක්‍රමශීලීන්ගේ ගොදුරු විය හැකි ය.
මෙහි දී මව්පිය, ගුරුවර, වැඩිහිටියන් සේ ම, ආගමික නායකයන්ට ද සමාජය වෙනුවෙන් විශාල
වගකීමක් පැවරේ. තමන්ගේ නිවෙසේ, ගම් ප්‍රදේශයේ එවැනි දුරාචාරයන්ට ගොදුරු වී සිටින අය
ඉන් වළක්වා ගැනීමට, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ඉලක්කය වී සිටින පිරිස් බේරා
ගැනීමට ඔවුන්ට ඇති හැකියාව ඉහළ ය. දරුවන්ගේ වෙනස වඩාත් ඉක්මනින් වැටහෙන්නේ
මව්පියන්ට ය. දරුවන් ගුණ ගරුකව හදාවඩා ගැනීමේ වැඩි වගකීමද මව්පියන්ට ය. පාසල,
නැණැති දරුවන් බිහි කරනවා සේ ම ජීවිතය ගැන ද දරුවන්ට ඉගැන්විය යුතු ය. තවමත් අපේ
දරුවන් වෙතින් ගුරු භක්තිය බැහැර වී නො මැත. එහෙයින් ගුරුවරුන්ට තම ශිෂ්‍යයින්ට
වඩාත් හොඳින් සමීප වීමට පුළුවන. කල්‍යාණ මිතුරන් වීමට පුළුවන.
ගමේ දායක කාරකාදීන් පිළිබඳව විමසිලිමත් ව, ගමට උවදුරක් වන ක්‍රියාකාරකම්, පුද්ගලයන්
පිළිබඳව අවධානයෙන් සිට ගම ආරක්ෂා කරන පින්වත් ස්වාමීන් වහන්සේ අපමණ වෙති.
උන්වහන්සේලාට සිය ශක්තියෙන්, ධෛර්යයෙන් උපකාරී වන්නට ගමේ දායක පිරිස් උනන්දු විය
යුතු ය. ඒ ගම දුරාචාරයෙන් රැක ගනු පිණිස ය. පුංචි දරුවන්, තරුණ දරුවන් රැක ගනු
පිණිස ය.
අතීතය හා සාපේක්ෂව බලන කල අසල්වැසියන්, ගම්වැසියන් අතර තිබූ සමීප බව දැන් දුරස්
වෙමින් තිබේ. ඇතැම් පවුල්තුළ මව්පිය දූ දරුවන් අතර පවා සමීපබව දුරු වෙමින් යයි.
ආගන්තුකයන් සේ ගෙවන ජීවතය තුළ ඔවුනොවුන් වෙනුවෙන් සංවේදිබවක් ගොඩ නැඟේ යැයි කෙසේ
නම් කිව හැකි ද? ඔවුනොවුන්ගේ දුක, වේදනාව, කෙසේ හඳුනා ගනී දැයි කිව හැකි ද? කාර්ය
බහුල බව, තාක්ෂණික මෙවලම් තුළ ම කාලය ගත කිරීම ඊට බලපාන ප්‍රධානතම සාධක ය. මිනිස්කම
ගිලිහී ගියේනම්, කවර තාක්ෂණික දියුණුවක් ලැබූව ද ඵලක් නැත. සමාජයක ඉදිරි පැවැත්ම
රඳා පවතින්නේ ම මිනිස්ගුණ දහම් මත ය. ඉන් බැහැර වූ තැන අවිනිශ්චිත බව, දුක,
සන්තාපය, හිරිහැර නො වැළක්විය හැකි ය. |