සිත රැකගත යුතු ඔබමය
රාජකීය පණ්ඩිත
පදියතලාවේ ඤාණවිමල හිමි
සිත පිළිබඳ බොහෝ ඉගැන්වීම් බුදුසමය තුළ අන්තර්ගත වේ. සිතක ස්වරූපය කෙසේදැයි ඔබෙන්
කවුරුන් හෝ ඇසුවහොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක් ද? එවැනි අවස්ථාවක දී ඔබට මතකයේ තිබේ
නම් බුදුරජාණන් වහන්සේ වරෙක දේශනා කළ ගාථා පාඨයක් සිහියට එනු ඇත.
ඒ අන් කිසිවක් නොව “දූරංගමං එකචරං - අසරීරං ගුහාසයං” ගාථාවයි. එමගින් සිත පිළිබඳ
ඉතා සරල අවබෝධයක් ලබා ගත හැකි ය. අද අප විමසීමට බඳුන් කරන්නේ තමන්ගේ සිත තමන්
විසින් ම ආරක්ෂා කරගත යුතුයි යන කාරණාවයි. එය ප්‍රකට කරමින් බුදුරජාණන් වහන්සේ
දේශනා කළ ගාථා ධර්මයක් ධම්මපද පාලියේ එයි. එය භික්ඛු වර්ගය තුළ අන්තර්ගත ය.
අත්තා හි අත්තනො නාථො
අත්තා හි අත්තනො ගතී
තස්මා සඤ්ඤමයත්තානං
අස්සං භද්‍රංච වාණිජො
ධම්ම පදයේ භික්ඛු වර්ගයේ අන්තර්ගත ගාථා සමූහයෙන් පෙන්වාදීමට අපේක්ෂා කොට ඇත්තේ
භික්ෂුවක සතුවිය යුතු වූ ගුණාංග පිළිබඳ පැහැදිලි කරනු පිණිස ය. එහෙත් භික්ඛු වර්ගයේ
අන්තර්ගත ගාථාවලින් කියැවෙන ධර්ම කාරණා භික්ෂූන් සඳහා පමණක් දේශනා කර ඇතැයි,
ගිහියනට කිසි වැදගත්කමක් නැතැයි ඉවත දැමිය නොහේ. එම ගාථාවලින් කියැවෙන, ලබාදෙන ධර්ම
කරුණු භික්ෂුවට මෙන්ම ඔබටත් එක සේ ම ජීවිතයට ළඟා කරගත හැකි ය. එම නිසා මෙකී දේශනා
භික්ෂූන් සඳහා පමණකි යනුවෙන් ලඝු කොට, ඉවත දැමීම බෞද්ධයනට ඔබින දෙයක් නොවේ.
මෙම ධර්ම දේශනාව සිදු කිරීම සඳහා හේතු කාරණා වූ සිදුවීම මෙහි දී අපි මුලින් ම
හඳුනාගෙන සිටිමු. එක්තරා භික්ෂුවක් මුලිකත්වයේ තබාගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව
දේශනා කොට ඇත. බුදුරදුන් අනේපිඬු සිටාණන් කරවා පූජා කළ ජේතවනාරාමයේ වැඩවසන සමයේ දී
එහි වැඩ වාසය කළ නංගලකුල නම් වූ භික්ෂුව මුල් කරගෙන මෙකී දේශනාව සිදු කර ඇත.
නංගලකුල භික්ෂුව පැවිදි වීමට පෙර දුක සේ ජීවත් වූ පුද්ගලයෙකි. ඔහු ජීවත් වූයේ
අනුන්ට බැලමෙහෙවරකම් කරමිනි. ඔහුගේ දුක්ඛිත ජීවිතය පිළිබඳ හඳුනාගත් එක්තරා මහතෙරුන්
වහන්සේ නමක් ඔහු මාර්ගයේ හමු වූ විටෙක මේ ගත කරන දුක්ඛිත ජීවිතයෙන් මිදී පැවිදි වී
නිවන් සුව ලැබීමට කැමති දැයි ඇසූ සේක. එය ශ්‍රවණය වීමත් සමග ඉතා සතුටුව කැමැත්ත
ප්‍රකාශ කළේ ය. ඒ නිසා එකී මහරහතන් වහන්සේ ඔහු වෙහෙරට කැඳවාගෙන ගොස් පැවිදි භාවය
ලබා දුන් සේක.
පැවිදි භාවයට පත් වූ මෙකී භික්ෂුවට තමන් ගත කළ පෙර ජීවිතය ගැන නිතර නිතර සිහිපත්
විය. ඔහු මීට පෙර සිදුකළ කර්මාන්ත පිළිබඳ, බලැමෙහෙවරකම් පිළිබඳ සිතෙන සැම වේලාවක ම
ඔහුගේ සිත සලිත වෙයි. මේ භික්ෂුව කෙසේ හෝ එකී අතීත ස්මරණ යටපත් කොටගෙන තම සිත
භාවනාවට යොමු කළේ ය. එසේ භාවනාවට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ටික කලක් ගතවීමට
මත්තෙන් උතුම් වූ අර්හත් ඵලයට පත් වූ සේක. මෙම සිදුවීම පාදක කරගෙනයි බුදුරජාණන්
වහන්සේ ඉහතින් දැක් වූ ගාථාව දේශනා කළේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහතින් දැක් වූ ගාථා පාඨයේ සරල අදහස හඳුනාගත යුතු ය.
එයින් කියැවෙන සරල අදහස වන්නේ ‘තමන්ට පිහිට තමා ම ය, අන් කිසිවෙක් පිහිටට සිටින්නේ
නැත. උතුම් අශ්ව පෝතකයෙක් ආරක්ෂා කොටගෙන එකී අශ්වයා රැකබලාගන්නා දක්ෂ වෙළෙන්දෙකු සේ
තමන්ගේ සිත තමා විසින් ම රැකගත යුතු යි” යන්න එමගින් ගෙන දෙන අදහස යි. මුලින් සඳහන්
කළ සේ ම, මෙමගින් කියැවෙන්නේ සිත පිළිබඳ බව ඔබට ඉතා හොඳින් දැන් වැටහෙනවා ඇත.
තමන්ගේ සිත තමන් විසින් ම රැකගන්නේ නැත්නම් තම සිත ආරක්ෂා කරගැනීම අන් අයෙකුට
පැවරිය හැකි ද? බුද්ධ ධර්මයට අනුව තමන්ගේ සිත අනුන්ට පවරා දිය නොහැකි ය. එනිසා ඔබ
කරන, කියන, සිතන දෑවල විපාක හොඳ නරක වශයෙන් භුක්ති විඳීමට සිදුවන්නේ ද ඔබටම ය.
බුදුරජාණන් වහන්සේ භාරතයේ පහළ වූ සමයේ එහි පැවති අනෙකුත් ආගමික දර්ශන ගත්කල්හි ඒවා
බොහෝ විට දෙවියන් හා සම්බන්ධ වූ ආගම් ය. පුද්ගලයා කරන කියන දැයෙහි විපාක නොව
දෙවියන්ගේ කැමැත්ත, අභිලාෂය අනුව පුද්ගලයාගේ ජීවිත යම් යම් වෙනස්කම්වලට බඳුන් කරන
බව ඔවුන්ගේ ඇදහීම විය. එනමුත් බෞද්ධ දර්ශනය තුළ එසේ ඉගැන්වීමක් නැත. තමන් කරන කියන
දේ හි විපාකය තමන් විසින් ම විඳගත යුතු බවයි බුදු දහමේ කියැවෙන්නේ. දේව ආගම් ඇදහූයේ
නම් දෙවියන් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයා වශයෙන් තබාගෙන විවිධ ක්‍රියා සිදුකරනු ඇත.
එහි දී ඔබ කරන කියන දෑහි වගකීම ඔබ දෙවියන් වෙත පවරනු ඇත. එය බෞද්ධ දර්ශනයට පටහැනි
ය. ඔබේ සිත මෙහෙයවා ඔබ කරන කියන දෙයින් ඇති කරගන්නා, උපදවාගන්නා විපාක කුමන අන්දමේ
ස්වභාවයක් ගත්තත් ඔබ විසින් ම එය සැප සේ හෝ දුක සේ භුක්ති විඳිය යුතු බව කියා දෙයි.
ඒ නිසා කරන, කියන, සිතන, සැම මොහොතක ම තමන්, තමන් ගැනම වගකීමක් දැරීමට යටත්ව සිටී.
ඔබ කරන කියන දේ වගකීම ඔබම දැරිය යුතු නිසා කර්මය රැස් කරගන්නේ ඔබ විසින් ම ය. එය
ස්වාධීන කාරණයකි. එනම් සමාජයේ සාමූහිකව කටයුතු කරනා කලත්, ඔබ කරන කියන දේවල්වලින්
ලැබෙන විපාක අනෙකාට පැවරීමේ හැකියාවක් ඔබට නැත. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ එහි
ඵලය තමන්ම ගත යුතු ය. අනෙක් දර්ශන අතර බුදු දහම ශ්‍රේෂ්ඨ වන්නේ මිනිසා මුලා නොකොට
නිසි දැක්මක් කරා ඔහු යොමු කරන බැවිනි.
අප සංසාර සාගරයට වැටුණේ කෙදිනකදැයි නිශ්චිතව කීමට හැකියාවක් අපට නැත. ඒ පිළිබඳ
සෙවීම ද අර්ථ ශූන්‍ය ක්‍රියාවකි. කළ යුතු වන්නේ ලැබූ ජීවිතය, සාංසාරික වශයෙන්
සැරිසරන තත්ත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීමයි. මේ සංසාර සාගරය ගැන, එහි කර්කෂ
භාවය ගැන ඔබ බොහෝ අවස්ථාවල දී ධර්ම දේශනා මඟින් අසා ඇත. පසුගිය ආත්ම භාවයන් හි දී
කළ කී දෑ අනුව අද මනුෂ්‍යයෙකුව උප්පත්තිය ලබා ඇත. මේ ආත්ම භවයේ දී පුණ්‍ය කර්මයෙන්
වැළකී, කුසල පක්ෂයෙන් වැළකී සමාජයට අහිත පිණිස හේතුවන දෑ කරන්නේ නම් ඊළඟ ආත්ම භාවය
කුමන තත්ත්වයකට පත්වේදැයි කාට කිවහැකිද? ඒ නිසා මේ ඝෝරතර සංසාරයෙන් මිදීම පිණිස අප
සැබෑ දැක්මකින් යුතුව කටයුතු කළ යුතු ම ය.
තමන් තමන් ගැන ම මුලින් ම සිතා බැලිය යුතු ය. එක්තරා අවස්ථාවක දී බුදුරජාණන් වහන්සේ
තමන්ට තමන් ආදරය කරන්නේ නම්, මනුෂ්‍ය ආත්ම භාවය ලැබූ මේ දිවියේ දී සැම අවස්ථාවක දී
ම පුණ්‍ය කර්ම සිදු කිරීම කෙරෙහි, කුසල කර්ම සිදු කිරීම කෙරෙහි සිත මෙහෙයවන බව
දක්වා ඇත. එය ධම්මපදයේ අත්ත වර්ගයේ දී,
අත්තානං චෙ පියං ඡඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො
යනාදි ලෙසින් එය මනාව පෙන්වා දී ඇත. ඒ නිසා ඔබ කරන කියන දෑ පිළිබඳ පෙරට වඩා
විමසිලිමත්ව එකී දෑ සිදු කරන්නේ නම්, අතිශයින් ම වැදගත් වනු නො අනුමාන ය. මේ සැමදේම
සිත මූලිකත්වයේ තබාගෙන සිදුවන බැවින් ඒ සැම අවස්ථාවක දී ම සිත රැක ගැනීමටත් වෙහෙසිය
යුතු ය.එහෙයින් දිනපතාම ඔබ කිනම් හෝ ක්‍රියාවක නියුක්තව සිටී. ගෙවෙන මොහොතක්
මොහොතක් පාසා ඔබගේ සිතෙහි විවිධාකාර හැඟීම් ඇති විය හැකි ය. එකී හැඟීම් විටෙක ලෝභය,
ද්වේශය, මෝහය යනාදී වූ එක් හැඟීමකින් හෝ එකී සමස්තයට මූලික විය හැකි ය. ඒ අනුව ඔබ
දිනක දී කරන කියන දෑ ඔබටවත් මෙතෙකැයි නිශ්චිතව කිවහැකි නොවේ.කෙසේ වුවත් ඔබ කරන කියන
දෑ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීමයි මෙහිදී වැදගත් වන්නේ. ඒ අනුව ඔබ නිසි
විමසිල්ලෙන් යුතුව දෛනික කටයුතු සිදු කරන්නේ නම්, ඔබ ඒ කරන දෑ දහමට අනුකූල වන්නේ
නම්, කෙදිනකවත් ජීවිතය පරිහානියට පත් වන්නේ නැත. දිවිමග එමගින් ආලෝකවත් වනු
කිසිවෙකුට වළකාලිය නොහැකි ය. එසේ හෙයින් කරන කියන දෑ පිළිබඳ යළි යළිත් සිතාබලා
කටයුතු කරන්න. ඒ අන් කිසිවක් නිසා නොව ඔබ විසින් කරගන්නා වූ කුසල අකුසල, පින් පව්
මෙ සෑම ක්‍රියාවක ම විපාක ඔබ විසින් ම ගෙවා දැමීමට සිදුවන බැවිනි. |