වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමි
රාජකීය පණ්ඩිත, සාහිත්‍ය චක්‍රවර්ති, මහෝපාධ්‍යාය, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය
වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණෝ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයාණන්
වහන්සේ ද, එහි ප්‍රථම උපකුලපති ධුරය හෙබවූ වියත් පඬිවරයාණන් වහන්සේ ද වෙති.
ගාලු දිස්ත්‍රික්කයේ වැලිවිට නම් ගම්මානයේ 1897 මැයි මස 23 වැනි දින වෛද්‍යාචාර්ය
දොන් ජොහානිස් කුමාරසිරි ජයවර්ධන මහතා සහ උණවටුන මල්වත්ත වලව්වට අයත් කෝදාගොඩ
අමරසිංහ හාමිනේ යන දම්පතීන්ට දාව චන්ද්‍රදාස දරුවා උපත ලැබී ය. ළමා කාලයේ දී
හීනටිගල පාසලින් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. සිංහල, පාලි, සංස්කෘත ආදී ප්‍රාචීන
භාෂාවන් ද ප්‍රගුණ කළ උන්වහන්සේ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිට ලංකාවෙන් ම
පළමුවෙනියා විය. ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් ගෞරව පන්ති සාමර්ථයක් ලැබී ය. 1917 දී
ගුරු හිමියන්ගේ උපදෙස් පරිදි සෝරත නා හිමියෝ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට
ඇතුළත්ව සිංහල, පාලි සංස්කෘත, ඉතිහාසය, තර්ක න්‍යාය, ව්‍යාකරණ, ඡන්දස් ආදී ශාස්ත්‍ර
විධීන් ද ධර්මය හා විනය පිළිබඳව ද ඥානයක් ලබා ගත්හ.
සෝරත සාමණේරයන් වහන්සේ ගුරු හිමියන්ගේ ද උපදෙස් පරිදි මහනුවර මල්වතු විහාරයේ උපෝසථ
සීමා මාලකයේ දී 1917 දී සුපරිශුද්ධෝප සම්පත්තිය ලැබී ය.
විද්‍යෝදය පිරිවෙනෙහි අවසාන වර්ෂයේ අධ්‍යයන කටයුතුවල නිරතවෙද්දී ම එකල විද්‍යෝදය
පරිවෙනාධිපති කහවේ ශ්‍රී රතනසාර නාහිමියන් විසින් 1922 දී සෝරත හිමියන් තත්
පිරිවෙනෙහි ආචාර්ය පදවියකට පත් කරන ලදී. 1923 දී ප්‍රාචීන පණ්ඩිතෝපාධිය උසස් ලෙස
සමත් ව උභයසේකර මුද්‍රිකාව ද දිනාගත් උන්වහන්සේ ගුරුවරයෙකු වශයෙන් ස්වකීය භූමිකාව
මැනවින් ප්‍රකට කළ අතර 1936 දී විද්‍යාධාර සභාවත්, එවකට පරිවෙණාධිපතිව වැඩවිසූ
ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය කහවේ ශ්‍රී රතනසාර නායක ස්වාමීන් වහන්සේගේ ත් අනුමැතිය
ඇතිව විද්‍යෝදය පිරිවෙනෙහි උප ප්‍රධාන ධුරයට පත් විය.
විද්‍යෝදය පිරිවෙනෙහි කුඩා කුටියක පොත් අතර සිර වී සිටිමින් ධර්ම ශාස්ත්‍රීය
ගවේෂණයෙහි ලා ස්වකීය කාලය, ශ්‍රමය, ධනය කැප කළ සෝරත හිමියෝ සිංහල භාෂාව හා
සාහිත්‍යය සුපෝෂණයට අතිමහත් මෙහෙවරක් ඉටු කළහ. සංස්කෘත ඡන්දස් ශාස්ත්‍රය පිළිබඳ
ග්‍රන්ථයක් වූ වෘත්තරත්නාකරය පැරැණි සිංහල ඡන්දස් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වූ එළු
සඳැස් ලකුණ සරල ව්‍යාඛ්‍යායනයක් ලියා “හෙළ සඳැස්” නමින් පළ කිරීමට ද කව්සිළුමිණ
ග්‍රන්ථයට ව්‍යාඛ්‍යානයක් ලෙස කව්සිළුමිණ කල්පලතා යන ග්‍රන්ථ ද උන්වහන්සේගේ
ශාස්ත්‍ර ඥානයේ තරම ප්‍රකට කරයි. සෝරත නාහිමියන් රචනා කර ඇති විශිෂ්ටතම කෘතිය වන්නේ
ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය යි. එය සිංහල සාහිත්‍යයේ සුපෝෂණයට නාහිමියන්ගෙන් සිදු වූ
අග්‍රගන්‍යම සේවාව යැයි කිවහොත් අතිශයෝක්තියක් නොවේ.
ස්වකීය ශාස්ත්‍රීය සේවය තවදුරටත් සෝභාමත් කළ උන්වහන්සේ පරවි සන්දේශය, අමාවතුර,
බුත්සරණ, දහම් සරණ, සඟ සරණ ආදී ග්‍රන්ථ ද දහම් සොඬ කව වැනි සාමාන්‍ය ග්‍රන්ථ ද
අවශ්‍ය අවස්ථාවල දී පරිකතා වැනි විස්තර දක්වමින් ද සංස්කරණය කරන ලදි.
වැලිවිටියේ සෝරත නාහිමියන්ගෙන් ශාසනික වශයෙන් සිදු වූ මෙහෙවර වෙනුවෙන්. උන්වහන්සේට
ශාසනික තනතුරු රාශියක්ම ලැබුණි. ගාලු පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරය හා මල්වතු
විහාරයේ උපාධ්‍යාය ධුරයන් ලැබූවද උන්වහන්සේ එම තනතුරුභාවිත නො කිරීමට තීරණය කළහ.
බද්දේගම පියරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු 1957 දී සෝරත නාහිමිපාණන් විද්‍යෝදය
පිරිවෙනෙහි පස්වන පරිවෙණාධිපති ධුරයට පත්වීම විද්‍යෝදය පිරිවෙන් ඉතිහාසයෙහි
සන්ධිස්ථානයක් බවට පත් විය. වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් විසින් සිදු කරන ලද
උත්කෘෂ්ට ම කාර්යභාරය වන්නේ විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කිරීම
යි. සිංහල භාෂාවෙන් ඉගෙනීමට විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල තත්ත්වයට පත්
කිරීම උත්කෘෂ්ට සේවාවකි. විජයානන්ද දහනායක එවක අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි අතර ඔහු
ඒ සඳහා නා හිමියන්ට පූර්ණ දායකත්වය ලබා දුන්හ.
විද්‍යෝදය පිරිවෙනෙහි කාමර අටක ආරම්භ කළ විශ්වවිද්‍යාලයේ ප්‍රමාණවත් ඉඩක් නොවූ
බැවින් ඊළඟ වර්ෂයේ දී ගංගොඩවිල නව ගොඩනැඟිලි සංකීර්ණයේ විශ්වවිද්‍යාල අධ්‍යයන
කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළහ. මුලින් ම කුඩා දේශන ශාලාවකින් හා කාමර කිහිපයකින්
යුත් ගොඩනැඟිල්ලක් තනන ලද අතර 1962. පෙබරවාරි 08 වන දින පැවැත් වූ උපාධි උත්සවය
බණ්ඩාරනායක ශාලාව පවතින ස්ථානයේ තාවකාලික ගොඩනැගිල්ලක පැවැත් වූ අතර වසර දෙකක්
ඇතුළත ප්‍රථම තුන්මහල් සුමංගල ශාලාව, ශ්‍රී ඥානේශ්වර ශාලාව හා උපකුලපති නිල නිවස
ආදී ගොඩනැගිලි නිර්මාණය විය.
රාජ්‍ය පරිපාලන අංශය විශ්වවිද්‍යාලයට හඳුන්වා දීම උන්වහන්සේගේ දුරදක්නා නුවණ ප්‍රකට
වන අතර එය වර්තමානය වනවිට ආසියාවේ හොඳම කළමනාකරණ පීඨය බවට පත් ව තිබේ.
විශ්වවිද්‍යාල පරිපාලකවරයකු ලෙස උන්වහන්සේ ශිෂ්‍යයන් කෙරෙහි ද නම්‍යශීලී ආකල්පයක්
දැරී ය. විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රතිමාව ඉදි
කිරීම සෝරත නාහිමියන් තුළ පැවති කෘතගුණ සැළකීමේ ගුණය ප්‍රකට කරන්නකි. තව ද
විශ්වවිද්‍යාල සංවර්ධනය සඳහා උපකුලපති අරමුදල නමින් ශිෂ්‍ය සුබසාධක අරමුදලක්
පිහිටුවා තමන්ට ලැබුණ දීමනාවෙන් රුපියල් දහස බැගින් මාසිකව පරිත්‍යාග කිරීම
ශිෂ්‍යයන් කෙරෙහි උන්වහන්සේ තුළ පැවති ආකල්පය ප්‍රකට කරන්නකි.
රටපුරා පිහිටි උසස් පිරිවෙන් ආයතන තෝරාගෙන ඒවා විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතන බවට
පත් කොට ඒවායින් බාහිර උපාධිය පිරිනැමීමට ක්‍රියා කළහ. ඉංග්‍රීසි අනිවාර්ය විෂයක්
බවට පත් කිරීමෙන් උන්වහන්සේගේ අනාගත දැක්ම ප්‍රකට වන අතර බෞද්ධ ශිෂ්ටාචාරය, පාලි හෝ
බුද්ධ ධර්මය අනිවාර්ය කිරීමෙන් සාම්ප්‍රදායික අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද
ප්‍රකට කෙරේ.
මෙපරිද්දෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලය පිහිටුවා සංවර්ධනය කිරීමේ කාර්යයට මුලපිරූ
නාහිමියෝ එම කාර්ය තවදුරටත් සාර්ථක කරගැනීමේ අටියෙන් විදේශ අත්දැකීම් ලබා ගැනීමට ද
උත්සුක වූහ. රුසියානු ආණ්ඩුවේ බෞද්ධ සංගමය මගින් කරන ලද ආරාධනාවකට අනුව රුසියාවට
වැඩම කිරීමට තීරණය කළේ විදේශ විශ්වවිද්‍යාල පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමේ
අටියෙනි. වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියෝ 1963 ජුලි මස 17 වන දින අපවත් වූහ.
ලක්දිව බුදු සසුනේ පුනර්ජීවනයට ද, භාෂා සාහිත්‍යයේ ප්‍රගමනයට ද, ශ්‍රී ලාංකේය
අධ්‍යාපනයේ චිරාත්කාලීන පැවැත්මට ද අමිල මෙහෙවරක් ඉටුකළ වැලිවිටියේ ශ්‍රී සෝරත නා
හිමියන්ගේ අපවත්වීම සම්බුදු සසුනට සිදු වූ පිරවිය නො හැකි පාඩුවකි. මෙයින් වසර
සියයක් ගත වූ කල්හි ද විදුදය හෙවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවත්නා තාක්කල්
සෝරත නාහිමියන්ගේ ශ්‍රී නාමය මිහිමත විරාජමානව වැජඹෙනු ඇත.
වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි
****
කොටවිල ශ්‍රී පේමාලෝක නා හිමි
දෙහිවල විද්‍යාවර්ධන පිරිවෙන් විහාරය, කොටවිල ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය සහ
සිංගප්පූරුවේ ආලෝක බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන් හහි අධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන
අධිකරණ සංඝනායක, ආචාර්ය කොටවිල ශ්‍රී පේමාලෝක නාහිමි දේශීය හා විදේශීය වශයෙන් උදාර
ශාසනික සේවාවන් රැසක නියුතු යතිවරයන් වහන්සේ නමකි.
මාතර කොටවිල නමැති පෞරාණික ගම් පියසේ විසූ පොඩිනෝනා රාමනායක මාතාවගේ හා ජේමිස්
අප්පුහාමි සේරසිංහ පතිරණ මහතාගේ පුත්‍ර රත්නයක් ලෙස 1940 ජූලි 10 වැනි දා ජන්මලාභය
ලැබූහ. 1956 ජුනි 15 වැනිදා ප්‍රව්‍රජ්‍යා භාවයට පත් වූයේ කොටවිල රතනපාල, කොටවිල
දීපානන්ද, කොටවිල පේමරතන යන නාහිමිවරුන් ගේ ආචාර්යත්වයෙනි. 1960 ජුනි 15 වැනිදා
මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදා වූහ.
කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි පරිවේණාධිපති ධූරය හෙබවූ සමයේ පෑළියගොඩ
විද්‍යාලංකාර මහ පිරිවෙණේ අධ්‍යාපනය ලැබූ පේමාලෝක හිමියෝ කුඩා අවධියේ දී ම ජයතිලක
ශිෂ්‍යත්වය ලැබීය. පේමාලෝක නාහිමියන්ගේ උදාර දිවිමගේ අනුස්මරණීය කාල පරිච්ඡේදයක්
වන්නේ මැලේසියාවට වැඩම කොට ආචාර්ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නාහියන් සමඟ දීර්ඝ
කාලයක් ධර්ම දූත සේවාවන් හි නිරත වීම යි. මැලේසියාවේ ක්වාලාලාම්පූර් බ්‍රික්පීල්ඩ්
බෞද්ධ විහාරයේ දහම් පාසලක් හා මැලේසියාව පුරා විහිදී යන පරිදි තරුණ බෞද්ධ සංගමයක්
ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ කොටවිල ශ්‍රී පේමාලෝක නා හිමියන්ය.
ඉංගී‍්‍රසි භාෂාවෙන් වටිනා ධර්ම ග්‍රන්ථ රැසක් රචනාකොට ලොව පුරා ප්‍රචලිත කරවීම
පේමාලෝක නාහිමියන් ගේ සේවාවන් අතර වඩාත් කැපී පෙනෙයි. එම ග්‍රන්ථ අතර මහ පිරිත්
පොතේ ඉංගී‍්‍රසි පරිවර්තනය ඇතුලුව ග්‍රන්ථ 30 ක් වෙයි.
කොටවිල ශ්‍රී පේමාලෝක නාහිමියන් 79 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගණේමුල්ල ආනන්ද බෝධි
ධර්මායතනයේ ඉදිකළ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ ජූලි 07 වනදා
නිරාවරණය කෙරිණි. එදින දවල් අර්ධ ශතාධික මහා සංඝ රත්නය විෂයෙහි සඟසතු මහා දානමය
පින්කමක් ද තත් විහාරාධිපති ශාස්ත්‍රපති පාතේගම සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි
පැවැත්වුණි.
ජූලි 10 දෙහිවල විද්‍යාවර්ධන පිරිවෙන් විහාරස්ථානයේ දී අටවිසි බුද්ධ පුජා පින්කමක්
පැවැත් වූ අතර ශාස්ත්‍රවේදී තිස්ස මහාරාමයේ චන්ද්‍රසිරි හිමියෝ එය මෙහෙය වූහ. එදින
රාත්‍රී 7.00 ශාස්ත්‍රපති පාතේගම සුමනරතන හිමියන් විසින් විශේෂ ධර්ම දේශනාවක්
පවත්වනු ලැබීය. ශාස්ත්‍රපති පරපාමුල්ලේ පියතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි දෙහිවල
විද්‍යාවර්ධන පිරිවෙන් විහාරස්ථ දායක සභාව, දීපානන්ද දහම් පාසල සහ සීල භාවනා සංසදයේ
දායකත්වයෙන් පින්කම් මාලාව පැවැත්වුණි.
ඌරුගමුවේ අස්සජී හිමි |