ඇසළ උදාවේ
අසිරිය
අස්ගිරි මහාවිහාරයෙහි උපාධ්‍යාය,
කාරක සංඝසභික
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
මෙම ලිපියේ
මුල් කොටස ඇසළ පුර පසළොස්වක පෝදා (ජූලි 16) පත්‍රයේ පළවිය.
තථාගතයන් වහන්සේ එදා තමන්වහන්සේ විසින් අවබෝධ කර ගත් උතුම් සිවුසස් දහම දුකින්
පෙළෙන අනන්ත සත්ව සමූහයාට අවබෝධ කර දී ඒ හැම සසර කතරින් එතෙර කරවීමට දහම් දෙසන ලෙස
සහම්පති මහා බ්‍රහ්මයා කළ ආරාධනාව පිළිගෙන ඒ පස්වග තවුසන් සොයා ගෙන බරණැස
ඉසිපතනාරාමයට වැඩම කළා.
එදා පළමුවන ධර්ම දේශනාව ලෙස පස්වග තවුසන්ට හා දෙවිබඹුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍ර
දේශනාව කර වදාළේ ඇසළ පුර පසළොස්වක පුන් පොහෝ දිනක යි. දුෂ්කර ක්‍රියා කරන කාලයේ
මහබෝසතාණන් වහන්සේට උපස්ථාන කළ පස්වග තවුසන් ඇතුළු දිව්‍ය බ්‍රහ්මයන්ට කරන ලද මෙම
දේශනාව අවසානයේ කොණ්ඩඤ්ඤ තවුස් තෙමේ සෝවාන් ඵලයෙහි පිහිටි අතර සෙසු හතර දෙනා
පිළිවෙළින් දින හතරක දී සෝවාන් වී අවසානයේ දී සියලුම පස්වග පිරිසට අනත්තලක්ඛණ
සූත්‍ර දේශනාව කිරීමෙන් රහත් බවට පත් වූවා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ඇසළ පුර
පසළොස්වක පොහෝ දින උන්වහන්සේගේ මංගල ධර්මදේශනාව පවත්වා එදින ප්‍රථම වස් කාලය එතැන්
සිට බරණැස ඉසිපතනාරාමයෙහි දී ආරම්භ කරමින් ඉදිරි වස් තුන්මාසය ගත කළෙත් එහිමයි.
ඉතින් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය මේ උතුම් දවස බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය
ආරම්භ කළ දවස වශයෙනුත් සලකා බලනවිට මේ දිනයේ විශේෂත්වය කැපී පෙනෙනවා.
සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත් වී වැඩි කල් යන්නට මත්තෙන් බුදුරජාණන් වහන්සේගේ
ගිහි පැවිදි ශ්‍රාවක පිරිස් දහස් ගණනින් වැඩි වෙන්නට වුණා. විශාල කීර්තියක් දඹදිව
මධ්‍ය දේශයේ පමණක් නොව ප්‍රත්‍යන්ත ප්‍රදේශවලත් පැතිරෙන්නට පටන් ගත්තා. බුදුරජාණන්
වහන්සේ ලොව පහළ වන අවධිය වනවිට විවිධ මතවාද ප්‍රකාශ කරමින් තමන්ට හිතවත් ව ක්‍රියා
කළ අනුගාමිකයන් රවටා ගෙන ලාභ ප්‍රයෝජන ලබමින් සිටි විශාල පිරිසක් සැබෑ සත්‍යය ලොවට
ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේගේ දේශනා නිසා පොදු ජනකොටස් අතර පිරිහීමට ලක්වෙමින්
සිටියා. බොහෝ බ්‍රාහ්මණ පණ්ඩිතයෝ බුදුරජාණන් වහන්සේගේ කීකරු ශ්‍රාවක පිරිස් බවට පත්
වුණා. මේ නිසා ඇතැම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට ද්‍රෝහිකම් කරමින්, බුදුරජාණන්
වහන්සේට නින්දා අපහාස කරමින්, සමහර විටෙක උන්වහන්සේගේ ජීවිතයට පවා විපත් කරන
අරමුණෙන් ක්‍රියා කළ අය ද මේ අතර සිටියා. සමහර තීර්ථකාදී පිරිස් මහත් මාන්නයෙන්
උන්වහන්සේට එරෙහි ව තම ශ්‍රාවක පිරිස්වලට වැරැදි මතවාද ඉදිරිපත් කරමින් ක්‍රියා
කළා.
මේ අතර තීර්ථකයන්ගේ මානය බිඳ හෙළමින්, බුද්ධ බලයේ ඇති අසිරිමත් බව පෙන්වා
තීර්ථකයන්ගේ මානය දුරු කිරීමට උන්වහන්සේ ගණ්ඩබ්බ වෘක්ෂ මුලයේ දී යමාමහ පෙළහර පෑවා.
ඒ දිනයත් ඇසළ පුර පසළොස්වක දිනයක් වීම ද මෙම පොහොය දිනයට එකතු වන තවත් වැදගත් සිදු
විමක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. එසේ යමාමහ පෙළහර පෑමෙන් සත්වන වස්කාලය ගත කිරීමට
තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළ අපේ බුදුරජාණන් වහන්සේ එදින ම තමන්වහන්සේගේ කෘතවේදී
ගුණය තම මෑණියන්ට දැක්වීම පිණිස, බෝසතාණන් වහන්සේ මෙලොව එළිය දුටු සත්වන දිනයේ
කළුරිය කළ මහාමායා දේවිය ඒ වනවිට තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘදිව්‍ය රාජව පහළ ව සිටි
නිසා ඒ උත්තමාවට අභිධර්මය දේශනා කිරීමට අපේ බුදුරජාණන් වහන්සේ විසින් පියවර ගනු
ලැබුවෙත් මේ ඇසළ පුර පසළොස්වක දිනක වීම ද අතිශයින් ඇගයීමට ලක් කළ යුතු තවත් වැදගත්
කරුණක් වෙනවා.
මේ අතර අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ එදා වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක බව
අපි කවුරුත් දන්නා කරුණකි. ඒ මෙයට වසර 2563 කට පෙරාතුව යි. ඉතින් බුදුරජාණන් වහන්සේ
පිරිනිවන් පෑමෙන් පස්සේ සංවේගයට පත් ව ක්‍රියා කළ ගිහිපැවිදි බොහෝ පිරිසක් සිටියා.
මේ අතර උන්වහන්සේගේ පරිනිර්වාණය නිසා දැන් තමන්ට නිදහසේ කැමැති විදියකට සුවපහසු
ලෙස, කාගෙන්වත් බලපෑමක්, තහනමක් නැතිව නිදහසේ කැමැති ආකාරයකට ජීවත් වන්නට පුළුවන්කම
තියෙනවා කියා සිතා මහත් සතුටින් ඒ ගැන කිය කියා මත් වූවන් සේ ක්‍රියා කළ පිරිස් ද
සිටියා. බුදුරජාණන් වහන්සේ වෙත ම පැවිදි වි සිටිය එවැනි භික්ෂුවක් තමා සුභද්‍ර කියා
කියන්නේ. ඉතින් මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සම්බන්ධ ව මෙැවනි අගෝචර
කථා කරමින් ඔහුට හිතවත් පිරිසක් ඒකරාශී කරගෙන පිරිසුදු ථේරීය භික්ෂු පරපුරට එරෙහි ව
සංවිධාන වෙන්නට පටන් ගත්තා. මේ කරුණ ඒ වනවිට ඈත පෙදෙසක ධුතංගධාරීව, හිම වනයෙහි කල්
ගෙවූ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේට දැනගන්නට ලැබිලා උන්වහන්සේ මහත් සංවේගයට පත්
වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා කෙටි දිනක් ගත වෙද්දී තත්වය මෙහෙම නම්, තව
කලක් යනවිට කෙතරම් වේගයෙන් මේ පිරිසුදු සම්බුදු සුසුන අපවිත්‍ර කරන පිරිස් මේ
භික්ෂු ශාසනයෙන් ම හට ගන්නට පුළුවන්කම ඇති බව තේරුම් ගෙන වහා ම ඒ තත්ත්වය තුරන්
කිරිම පිණිස එවකට රජකම් කළ අජාසත්ත රජතුමා මේ තත්වය පිළිබඳ දැනුවත් කරලා හැකි
ඉක්මනින් ධර්ම සංගායනාවක් පැවැත් වීමේ අවශ්‍යතාව අවධාරණය කළා. එවිට මේ ශාසනය දුසිල්
මහණුන්ගෙන් බේරා ගෙන පිරිසුදු බුද්ධ ධර්මය අභාවයට යන්නට නො දී එම පර්යාප්තිය
රැකගැනිම පිණිස ඉක්මන් පියවරක් ලෙස රජතුමාගේ අනුග්‍රහයෙන් ප්‍රථම ධර්ම සංගීතය
පැවැත්වීමට පියවර ගත්තා. මේ අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් හරියට ම මාස තුනක් ගිය
තැන එළඹුණු නිකිණි පුර පසළොස්වක දිනක යි. ඉතින් එදා ඒ නිකිණි පුරපසළොස්වක දින එම
උතුම් කටයුත්ත සිදු කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කිරීමට මහාකාශ්‍යප මහරහතන්
වහන්සේ ප්‍රධාන එදා වැඩ විසූ මහරහතන් වහන්සේලාත්, ආනන්ද හාමුදුරුවොත් එහි මූලික
පියවර වශයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම පිණිස, පෙර සූදානමක් ලෙස වස් එළඹීම
සිදු වූයේ ඇසළ පුර පසළොස්වක දිනක යි.
මීළඟට අපේ අවධානය යොමු කරන්නේ ලංකාවේ ශාසන ඉතිහාසය සම්බන්ධව ඇසළ පෝයෙහි තිබෙන
විශේෂත්වය ගැන යි. එහි දී ඉතා වැදගත් ම කරුණක් තමා ලංකාවේ බුදුසසුන පිහිටවූ අවධිය
හා සම්බන්ධ වන සීමා සම්මත විනය කර්මයක් සිදු කිරිම. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ
ශ්‍රී ලංකාවට වැඩම කළේ බු.ව. 236 වසරේ දී යි. ඒ පොසොන් පුර පසළොස්වක පොහෝ දා යි.
ඉතින් උන්වහන්සේ වැඩම කරලා මෙහි දේශනා කරපු සූත්‍ර දේශනා ඇතුළත් ධර්මදේශනා නිසා
මහජනතාව අපේ බුදුහාමුදුරුවන්ගේ උතුම් සද්ධර්මය මොන විදියේ ඉගැන්විමක් ද කියා වටහා
ගන්නට වැඩි කල් ගත වුණේ නැහැ. මේ නිසා ඉතා වේගයෙන් මේ රටේ බුදුදහම ව්‍යාප්ත වෙන්නට
පටන් ගත්තා. ඊට අවශ්‍ය කරන ආකාරයෙන් ම රජතුමාගේ අනුග්‍රහය ද නො අඩුව ලැබුණා. ඉතින්
මිහිඳුමාහිමියන් ඇතුළු මේ ප්‍රථම ධර්මදූත පිරිසට අවශ්‍ය විනය කර්ම සිදු කිරීම පිණිස
ඒ වනවිට සීමා ගෘහයක් නො වුණු නිසා පළමුවෙන් ම විනය සීමා සම්මතයක් සිදු කර ගැනීමේ
අවශ්‍යතාව නිසා ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරනු ලැබුවෙත් මෙම ඇසළ පුර පසළොස්වක පොහෝ
දින දා ක යි. ඛණ්ඩ සීමාව කියලා කියන්නේ විසි එක් නමක් හෝ ඊට අඩු උපසම්පන්න භික්ෂූන්
වහන්සේලා සංඛ්‍යාවකට විනය කර්ම කිරීමට තරම් ප්‍රමාණවත් කුඩා ප්‍රමාණයේ සීමාවකි. එය
මහා සිමාවක් තුළ පිහිටි කුඩා ප්‍රමාණයේ සීමාවක් ලෙස ද සලකනවා. එපමණක් නොව ඉන්
අනතුරුව අරිට්ඨ රාජකුමාරයා ඇතුළු පනස් හතරක් වූ යහළු පිරිසගේ පැවිදි උපසම්පදා විනය
කර්මය සිදු කරන ලද්දේ ත් තුම්බුරු සීමාවේ දී ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක දී ය. මේ
අතර දෙවන පෑතිස් රජතුමන් විසින් කණ්ටක නම් චෛත්‍යය කරවා, ඒ වටා අටසැටලෙන් කරවා පුදා
එම ලෙන්වල මිහිඳුමාහිමියන් ප්‍රමුඛ දෙසැටක් රහතන් වහන්සේලා විසින් ප්‍රථම වස් විසීම
ආරම්භ කරන ලද්දේත් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක දී ය.
රත්නමාලි චෛත්‍යය කර්මාන්තය සම්බන්ධ සුවිශේෂී ම වූයේ බු.ව. 283 වර්ෂයේ දී
දුටුගැමුණු මහරජතුමාගේ අනුග්‍රහයයෙන් එහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුවීම යි. මෙම
උත්තම සිද්ධිය සිදු වුණෙත් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක විම ඉතා වැදගත් වෙනවා. ඒ
විතරකුත් නොවෙයි මෙම රත්නමාලි චෛත්‍යයේ වැදගත් ම සිදු වීමක් ලෙස ශ්‍රද්ධාවෙන්
සිහිපත් කළ යුතු ධාතු නිදානෝත්සවය සිදු වුණෙත් උත්‍රසල නැකතින් ඇසළ පුර පසළොස්වක
පොහෝ දිනක ය. මෙම ධාතු නිධානය සිදු වූයේ අස්ිරිමත් බුද්ධ මහා ප්‍රාතිහාර්ය රැසක්
සිදු වෙමින් බව ද අප අසා තිබෙනවා. එදා නා ලොවින් ලංකාවට වැඩම කරවූ ධාතූන් වහන්සේලා
අහසට පැනනැගී බුද්ධකායශ්‍රීය මවා පාමින් පෙළහර දක්වා චෛත්‍ය ගර්භයේ තැන්පත් වූ කථා
පුවත මහත් සේ සැදැහවතුන්ගේ ශ්‍රද්ධා භක්තිය වැඩි දියුණු කරන අසිරිමත් සිදු වීමක්
ලෙස සලකනවා.
මේ අතර අපේ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක් තමා හේමමාලා හා දන්ත කුමරු යන
දෙදෙනා බු.ව. 847 වර්ෂයේ දී ලංකාවේ රජකම් කළ කිත්සිරිමෙවන් රජු දවස කළිඟු රට සිට
අපේ බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්තධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවා ගෙන
පැමිණීම. ඉතින් ඒ වැඩම වීමේ අවස්ථාවේ සිට මෙම පූජනිය උත්තම දළදා වහන්සේට උපහාර
පිණිස දළදා පෙරහර ආරම්භ කරලා රාජධානි මාරුවෙන අවස්ථාවන්හි පවා එය නො කඩ කොට ආරක්ෂා
කරමින් දළදා පෙරහර පවත්වනවා. මෙම පෙරහර අද දවසේ පවා කුඹල් පෙරහර හා රන්දෝලි පෙරහර
වශයෙන් පවත්වා මහපෙරහර ලෙස මහනුවර පවත්වන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය කේන්ද්‍ර
කර ගෙන යි. එපමණක් නොව ශ්‍රී ලාංකික ජනතාවගේ ගරුබුහුමනට පාත්‍ර වී පවතින නාථ,
ස්කන්ධකුමාර, පත්තිනි, කතරගම ආදි දෙවි දේවතාවන් ට පූජා උපහාර ලෙසත්, රටට වර්ෂාව හා
සමෘද්ධිය ප්‍රාර්ථනා කරමිනුත් පෙරහර පූජා උත්සව පවත්වන්නේත් ඇසළ පොහොය නිමිති කර
ගෙන යි. |