ධර්මය හා සමාන
ඖෂධයක් පවතී ද?
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනේ, අද අපි ප්‍රඥාවන්තයෙක් වන ආකාරය ගැන කතා කරමු. ප්‍රඥාව ලබා ගන්නා
ක්‍රම සතරක් තිබෙනවා. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය හා
ධම්මානුධම්ම පටිපදාව යනුවෙන් අද අපි සද්ධර්ම ශ්‍රවණය ගැන ඉගෙන ගනිමු.
සද්ධර්ම ශ්‍රවණය කියන්නේ හොඳින් බණ ඇසීමට යි. බණ ඇසීමෙන් ප්‍රඥාව දියුණු වෙනවා. මේ
ලෝකයේ දානයන් අතර වටිනාම දානය ධර්ම දානය බව දරුවන් දන්නවා නේද? මේ ලෝකයේ, අපායෙන්
බේරිලා, දිව්‍ය ලෝකයන්හි, බ්‍රහ්ම ලෝකයන්හි, කෙටියෙන් කීවොත් සුගති ලෝකවල බහුතරයක්
දෙනා උපත ලබා තිබෙන්නේ බණ ඇසීමෙන් තමයි. ඇයි දන්නවා ද? පින්කම් කරන්න නම්, පින්කම්
ගැන දැන
ගත යුතු නිස යි. පින් කරන සැටි දැන ගන්න නම් බණ අසන්නට ඕනෑ. ඒත් දරුවනේ, මේ
කාලේ නිතරම
බණ ඇසෙන නිසා බණවල ඒ තරම් වටිනාකමක් බොහෝ අයට දැනෙන්නේ නෑ. බණ දේශනා කරන
ස්ථානයන්හි කෑ කෝ ගසනවා, දඟලනවා. කතා කරමින් ඉන්නවා, ධර්මයට අගෞරව වන ලෙස
හැසිරෙනවා. ඒ ධර්මයේ වටිනාකම නො දන්නා නිසයි.
දරුවනේ, බණ ඇසෙන්නේ නැති, ධර්මය දන්නේ නැති කාලයන් තිබුණා. ඒ කාලයේ ඇතැම් රජවරු
ධර්මය සොයාගෙන අඹු දරුවන් පවා අතහැරියා. රාජ්‍ය අතහැරියා. අවසානයේ දී එක බණ පදයක්
අසන්නට ජීවිතයත් අතහැර යක්ෂයෙකුගේ කටට පැන්නා. දහම්සොඬ කතාව මතක ඇතිනේ. ඉතින් ධර්ම
ශ්‍රවණය කළා ම ප්‍රඥාව ලැබෙන්නේ කොහොම ද?
දරුවනේ, ධර්ම ශ්‍රවණය කළ විට ආනිශංස පහක් ලැබෙනවා. පළමු ආනිශංසය, ‘අස්සුතං සුණාති’
නො ඇසූ දෙයක් ම අසන්නට ලැබෙනවා. අසා නැති, දන්නේ නැති අලුත් දෙයක් දැන ගන්න
ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කරන විටයි.
දෙවැන්න, ‘සුතං පරියොද පෙති’ අසන ලද දේ ගැන පිරිසුදුව දැන ගන්නට හැකි වෙනවා. අඩු
තැන් පූරණය කර ගන්න ලැබෙනවා. ඒ කියන්නේ දරුවනේ, ඇසූ, දැනගත් දේ ගැන තවත් හොඳට දැන
ගන්න ලැබෙනවා. ඒ ධර්ම ශ්‍රවණයේ දෙවැනි ආනිශංසය.
‘කංඛා විතරති’ ඇසූ දේ පිළිබඳ යම් සැකයක් වේ නම්, ප්‍රශ්නයක් වේ නම් ඒ සැක දුරු කර
ගන්නට පුළුවන්කම ලැබෙන්නේත් හොඳින් බණ ඇසුවොත් තමයි.
සමහර විෂයය කරුණු ගැන දරුවන්ට මොනතරම් සැක ද? ගණන් නිවැරැදි ද? ප්‍රශ්නවලට පිළිතුරු
ලිව්වා හරියයි ද? මේ ආදී සැක දුරු කර ගන්නට වුවද, හොඳින් අසන්නට පුරුදු වෙන්න ඕනෑ.
සැක දුරුවීම ධර්ම ශ්‍රවණයේ තෙවැනි ආනිශංසය යි.
‘චිත්ත මත්ත පසීදතී’ හොඳින් බණ අසනවිට සිත පැහැදීමට පත් වෙනවා. ජීවිතයේ යහපත්
කටයුතු සාර්ථක වීමට නම් ඒ ගැන සිත පැහැදෙන්නට ඕනෑ. ඉගෙනීමේ දී නම් එහි දියුණුවට ඒ ඒ
විෂයය ගැන හොඳින් පැහැදෙන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ස්වාමීන්
වහන්සේ ගැන පැහැදෙන්නේ හොඳින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පමණයි.
‘දිට්ඨිං උජුං කරොති’ දැකීම, දැක්ම සෘජු වෙනවා. හොඳ නරක පෙනෙනවා. අපගේ අරමුණු, ඒ
අරමුණු කරා යන ආකාරය, වැරැදි හදා ගන්නා ආකාරය, වැඩිහිටියන් ගේ අවවාදවල වටිනාකම
තේරුම් ගත හැකි වන්නේ හොඳින් බණ ඇසුවොත් තමයි දරුවනේ.
බණ ඇසීම භාවනාවක්, භාවනාව කියන්නේ පින්කමක්. එහෙනම් බණ ඇසීම භාවනාමය පින්කමක්.
දරුවනේ, ඉවසීමත් සුවිශේෂී භාවනාවක්. ‘ඛන්ති පරමං තපො තිථික්ඛා’ ඉවසීම තමයි පරම තපස
වන්නේ. බණ ඇසීමෙන්, ධර්මය සාකච්ඡා කිරීමෙන් ඉවසීම පුරුදු වෙනවා. බණ ඇසීමෙන් සෝවාන්
වූ අය ගැන, රහත් වූ අය ගැන අසා තිබෙනවා නේද? ඒ විතරක් නෙවෙයි. ධර්මය දේශනා කරන
උතුම් පුද්ගලයා සමහර විට රහත් නො වුණත් දහම් ශ්‍රවණය කරන අයට රහත් වෙන්නට පුළුවන්.
අපට උපදෙස් දෙන අය ගැන සිතමු. සමහර විට ඒ අය බොහෝ වැරැදි වෙන්නට පුළුවන්. ඒත් ඒ
අයගෙනුත් උපදෙස් අරගෙන හැදෙන්නට පුළුවන්. කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ගැඹුරු ධර්මය
ඇසීමට කැමැති උපාසිකාවක් සිටියා. දවසක් කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් දහම් අසන්නට
බලාගෙන සිටියත්, එදින ධර්ම දේශනාවට වැඩම කළේ උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක්.
හැබැයි උන්වහන්සේ ගැඹුරින් ධර්මය දේශනා කළා. උපාසිකාවට ධර්ම දේශකයන් වහන්සේ කවුද
කියලා තේරුණේ නෑ. උපාසිකාව කියනවා ‘මට හොඳින් බණ තේරුණා’ කියලා. ඒ කියන්නේ උපාසිකාව
රහත් වුණා. පොඩි හාමුදුරුවන්ට මෙය ඇසුණා. ‘උපාසක අම්මට තේරුණා කියන්නේ, මම මොනවද
බණට කීවේ.’ කියලා උන්වහන්සේ කල්පනා කළා. ඒ ධර්මය ගැන සිතීමෙන් අතරමග දී ම රහත්
වුණා. සමහර අය සිතනවා මුළු ලෝකයම බණ අහන්නේ නෑ. අප විතරක් ඇයි බණ අහන්නේ. අප විතරක්
ඇයි හොඳ පැත්තට යන්නේ කියලා. දරුවනේ, මුළු ලෝකය ම එක පැත්තකට ගියත්, අප ධර්මය
පැත්තට පුරුදු වෙන්න ඕනෑ. එහිදී ලැබෙන සතුට නිරාමිශ පී‍්‍රතියක්. ඒ පී‍්‍රතිය
දැනෙන්නේ ප්‍රඥාවට. එය ලබා ගන්න මහන්සි වෙන්නට ඕනෑ. එසේ ලබන සතුට හරිම සන්සුන්.
එයින් ලැබෙන්නේ සහනකාරී ආරක්ෂාවක්. ඒ සතුට තුළ ඇඟට වෙහෙසක් නෑ.
“ධම්මො හවෙ රක්ඛති ධම්ම චාරි” කියන්නේත් එයටම යි. බණ ඇසුවොත් තමයි ධර්මානුකූල
ආරක්ෂාවක් ලැබෙන්නේ. පුංචි කාලේ සිටම බණ ඇසුවාම දිට්ඨධම්මවේදනීය වශයෙන් ම විපාක
ලැබෙනවා. දරුවනේ, ධර්මයට සිත යොමු කරන්න. එයින් පමණයි අපට ස්ථිර සැනසීමක් ලැබෙන්නේ.
පරලොව දී පමණක් නොවෙයි. මේ ලෝකයේ දී ත් සැනසීම ලැබෙනවා. ඒ නිසා නිතර මේ දහම් ලිපි
කියවා ධාරණය කරගන්නට පුරුදු වෙන්නට ඕනෑ.
- රමණී සුබසිංහ |