ගිහි පැවිදි පිළිවෙත්
ශක්තිමත් කරන
වස්සාන සමය
අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
ඓතිහාසික බදුලු මුතියංගණ
රාජමහා විහාරීය භාරකාර,
ආචාර්ය
මුරුද්දෙනියේ ධම්මරතන හිමි
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසටම ශාසනික වශයෙන් අතිශයින් ම
ඵලදායී කාල පරිච්ඡේදයක් වන්නේ වස්සාන සමය යි. අධ්‍යාත්මික දියුණුව කැමැති සියලුම
ශ්‍රාවක පිරිස විසින් ඒ සඳහා ප්‍රගුණ කළයුතු පිළිවෙත් අනුගමනය කිරීමත්, භාවනාවෙහි
නිරත වෙමින් කාලය ගෙවීමත් වස් කාලය තුළ සිදු වේ.
මෙසේ වස්සාන සමයක් බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද්දේ පැවිදි පිරිසට පමණක්
නොව ලෞකික දිවියක් ගෙවන ගිහි දායක පිරිසටද ධර්මානුකූල ජීවිතයක් ගෙවමින් සිය මෙලොව
හා පරලොව දිවිය යහපත්ව ගෙවීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දීම සඳහා ය. මෙවැනි
පුණ්‍ය කටයුතු සිදුකිරීමට තෝතැන්නක් බඳු වස්සාන සමය ඵලදායීව ගත කළ යුත්තේ කෙසේදැයි
යන්න විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ යි.
මිනිසුන්ටත්, සතා සිව්පාවුන්ටත්, ගහකොළටත්, සිය පැවැත්ම සඳහා අතිශයින් වැදගත් කාල
පරිච්ඡේදයක් වන්නේ වස්සාන සෘතුව යි. ගී‍්‍රස්ම සමය නිමාවත් සමඟ දැවෙමින් පැවැති
සොබාදහම ප්‍රාණවත් වන්නේ වස්සානයේ උදාවත් සමඟ යි. වස්සානයේ එළඹුමත් සමග අහස පුරා
විසිරී ඇති වැසි වළාකුළු සියලු දෙනාගේ නෙතට ගතට ප්‍රබෝධයක් ගෙන දෙයි. වර්ෂාවත් සමඟ
මුහුණ දියහැකි අභියෝගවලට මුහුණ දීමට මිනිස්සු ද, සතුන් ද ආහාර රැස් කර තබා ගනිමින්
අවශ්‍ය ප්‍රතිකර්ම යොදා ගනිති. මේ අතර භික්ෂුවට ද විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු
වේ. බුදුන් වහන්සේගේ කාලයේ දී තුන් සිවුරකින් යුතුව දිවි ගෙවන භික්ෂූන්ට තෙත් වූ
සිවුරු හා තෙත් වූ සිරුර ඇතිව කාලය ගෙවීමට සිදුවීමෙන් හා නිසි වාසස්ථානයක්
නොමැතිවීමෙන් පීඩාවට පත් වූ භික්ෂූන් වහන්සේ එයින් නිදහස් කර ගැනීමට වස්සාන සමය
අනුදැන වදාළහ. ඒ අනුව වස්සානය නිසා උදාවිය හැකි වෙනත් අභියෝග ද ජය ගනිමින් කටයුතු
කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැඟීම සඳහා බුදුන් වහන්සේ විසින් වස්සාන සමය අනුදැන වදාළහ.
භික්ෂූන් වහන්සේ නමකට සිය අධ්‍යාත්මික ජීවිතය දියුණුවට පත්කර ගැනීමට වස්සාන සමය
සුදුසුම කාලය යි. ආගමික කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට පිවිසීම සීමාසහිත කාලයක් වන
හෙයින් කාර්ය බහුල ජීවිතයෙන් බැහැර වීමට අවස්ථාව උදා වේ. එනිසා භික්ෂූන් වහන්සේලාට
සිය වාසස්ථානවලට වී සිය අධ්‍යාත්මික දියුණුවට අවැසි ප්‍රතිපත්තිමය කටයුතු ද,
අධ්‍යයන කටයුතු ද, ආගමික කටයුතු ද සිදුකරමින් ඵලදායී ලෙස වස් කාලය ගත කිරීමට
අවස්ථාව ලැබේ. එසේම වස් සමය තුළ සිව්පසයෙන් තමන් හට සංග්‍රහ කරන දායක පින්වතුන්ගේ
මෙලොව හා පරලොව ජීවිතය දියුණුවට පත්කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දීම ද
සිදුකළ හැකි වේ.
වස්සාන සමයක් උදාවන්නේ වර්ෂයකට එක් අවස්ථාවක් පමණි. එය ද විවිධ මූලික කරුණු
සම්පූර්ණවීමෙන් පසුව සිදුවේ. එනම් උපසම්පන්න භික්ෂූන්වහන්සේ නමක් ලැබීමත්,
උන්වහන්සේ නිසි පරිදි වස් එළඹීමත් මූලික වශයෙන් සිදුවිය යුතු වේ. වස් විසීමට අවශ්‍ය
සෙසු කටයුතු සම්පූර්ණ වන්නේ දායක පක්ෂයෙහි කැපවීම මත ය. එනම් වස් විසීමට සුදුසු
ස්ථානයක් පිළියෙළ කර දීම හෝ පවත්නා භික්ෂු වාසස්ථාන පිළිසකර කර දීමත් දායකයන්
විසින් සිදු කළ යුතු වේ. මෙවැනි අවස්ථාවක් දායකයන්ට සැමදාම නො ලැබේ. එනිසා මෙවැනි
ශාසනය වෙනුවෙන් කළහැකි දුර්ලභ අවස්ථාවෙන් ඵල නෙළා ගැනීම දායකයන් විසින් සිදු කර ගත
යුතු වේ.
වස් විසූ භික්ෂූන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන දායකයන් විසින් එය නොපිරිහෙළා
ඉටු කිරීමෙන් සාර්ථක ඵල නෙළා ගත හැකි වේ. වස් එළඹෙන භික්ෂූන් වහන්සේට වැසි සළුවක්
වශයෙන් සිවුරක් ලබා දීම පළමුව සිදුකර ගත හැකි පින්කමකි. මෙම පින්කම සිදුකර උසස් සැප
ලැබූ පිරිස් පිළිබඳව තොරතුරු බෞද්ධ සාහිත්‍යයෙහි නිරන්තරව සඳහන් වේ. නිදසුනක් ලෙස
එක්තරා ගමක උපන් පියෙක් දිඹුල් ලීයෙන් ගෙයක් සාදා අවුරුදු හතක් පසේ බුදුරජාණන්
වහන්සේ වස් සමාදන් කර වැසි සළු පිළිගන්වා උපස්ථානය කළේ ය. ඒ පිනෙන් ඔහු උපන් භවයක
දිව්‍ය සම්පත් ලැබුවේ ය. පහත් කුලවල නූපන්නේ ය. සැම දෙනාගේම ගෞරවයට සම්මානයට භාජනය
විය. මෙසේ විවිධ සැප සම්පත් ලැබුවේ ය. අවසානයේ කේතුමතී රාජධානියේ සංඛ නමින් සක්විති
රජු වී උපන්නේ ය. මෙසේ අපමණ සැප සම්පත් ලැබුයේ සිවුරු පිළිගන්වා වස් විසූ පිනෙන් බව
සද්ධර්මාලංකාරයෙහි සඳහන් වේ. මෙබඳු කතා සමුදායක් බෞද්ධ සාහිත්‍යයෙහි විවිධ ස්ථානවල
සඳහන් වේ.
වස්සාන සමය තුළ භික්ෂූන් වහන්සේලාට මෙන්ම ගිහි පින්වතුන්ට ද විවිධ පින්කම් රාශියක්
සිදුකර ගත හැකි වේ. නිරන්තරව පන්සලට ගොස් භික්ෂූන් වහන්සේට සිවුරු, දානය, සෙනසුන්
පිරිනමමින් අනුසස් උපදවා ගත හැකි ය. ඇතැම් අවස්ථාවල දායකයන්ට මෙවැනි දේ පිරිනැමීමට
අවශ්‍යතාව තිබුණත් භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීමට අපහසු වේ. නමුත් වස්සාන සමයෙහි
භික්ෂූන් වහන්සේලා එක් ස්ථානයක රැඳී සිටින නිසා උන්වහන්සේලා සොයා යාම අවශ්‍ය නොවේ.
එබැවින් සිව්පසයෙන් උපස්ථාන කරමින් භික්ෂූන් වහන්සේලා රැක බලා ගැනීම ශාසනික වශයෙන්
ඉතාමත් වටිනා පින්කමකි. ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්හි නිරත වෙමින් ශාසනික ජීවිතයක්
ගෙවන භික්ෂූන් වහන්සේලාට සැලකීමෙන් දායකයන් ද ශාසනික උරුමයෙහි කොටස්කරුවන් බවට
පත්වී සැමදාම සැප හා සොම්නස ළඟාකරන සත්පුරුෂයෙකු වීමේ භාග්‍ය උදා වේ.
දායකයන්ගේ සිව්පසයෙන් අනුග්‍රහ ලබන වස් විසූ භික්ෂූන් වහන්සේලා එකී දායකයන්ගේ
අධ්‍යාත්මික දියුණුව උදා කිරීම සඳහා විවිධාකාරයෙන් අනුශාසනා කරති. බුදුන් වහන්සේගේ
ධර්මය සැමදා අසන්නට නො ලැබේ. එය අසන්නට ලැබෙන්නේ සාංසාරික වශයෙන් ගෙවූ සත්පුරුෂ
ජීවිතේ අග්‍රගණ්‍ය ඵලයක් වශයෙනි. වර්තමාන සමාජයෙහි ලෝකයෙහි වෙසෙන ජනයාගේ ප්‍රමාණය
අසංඛ්‍යෙය ය. නමුත් බුදුන් වහන්සේගේ ධර්මය අසන, පිළිපදින ජනයා ඉතාමත් සුළු
ප්‍රමාණයක් වේ. සෙසු ජනයා මිථ්‍යා විශ්වාසයන්ගෙන් යුක්තව කාලය ගෙවමින් කටයුතු කරති.
ඒ අනුව අපට දිනපතා සෑම මොහොතකම ධර්මය දෙසවනට පැමිණෙයි. භික්ෂූන් වහන්සේ නිරතුරුව
නෙත ගැටෙයි. බුදුන් වහන්සේ පා පහස ලැබූ මේ පින්බිම ශ්‍රී සද්ධර්මයෙන් රැව්
පිළිරැව් දෙයි. එනිසා බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් අඩුවක් නොමැත. මෙම වස්සාන
සමයෙහිදී එම ධර්ම ශ්‍රවණය කර සිය මෙලොව හා පරලොව දිවිය සුවපත් කර ගැනීම බෞද්ධ
ජනයාගේ යුතුකමක් වන්නේ ය. ධර්මය ඇසීම, ඇසූ ධර්මයෙහි අර්ථ නැවත නැවත මෙනෙහි කිරීම,
ඒවා සිත්හි ධාරණය කර ගැනීම දියුණුව කැමැති ජනයා විසින් කළයුතු බව බුදුන් වහන්සේගේ
අවවාදය යි. එසේ සිදු කිරීමෙන් අධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් යුතු සත්පුරුෂයෙකු බවට
පැමිණෙයි.
බෞද්ධයෙකු යනු බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බවට පැමිණි අයෙකි. එබඳු පුද්ගලයෙකුට සිය
ජීවිතෙහි අතපසු වූ ක්‍රියාවන් සිදුකර ගැනීමට ලැබෙන වටිනා අවස්ථාව වස්සාන සමය යි.
බුදුන් වහන්සේගේ ධර්මය පිළිපදින්නෙකු තුළ අධ්‍යාත්මික ගුණාංග රාශියක් තිබිය යුතු ය.
භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීම, භික්ෂූන් වහන්සේ රැක බලා ගැනීම, භික්ෂූන්
වහන්සේට අපහාස නොකිරීම, භික්ෂූන් වහන්සේට ගෞරව දැක්වීම, ධර්මය සන්තානගතව පවත්වාගෙන
යමින් යහගුණ වර්ධනය කර ගැනීම, කරුණාව, මෛත්‍රීය, පරහිතකාමීත්වය, සදාචාරය යන
ගුණධර්මවලින් පරිපූර්ණ වීම එකී සත්පුරුෂ ලක්ෂණයන්ගෙන් කිහිපයකි. බෞද්ධයා කියන නාමය
නාමිකව දරාගෙන පහත් වැඩ කිරීම අසත්පුරුෂයකුගේ ලක්ෂණයකි. ඔහුගේ ගමන ඒකාන්තයෙන්ම
අපායගාමී වේ. ඔහු කායිකව වැහැරුණු අයෙක් බවට පත් වේ. මෙකී දුර්වල චර්යාවන්ගෙන්
බැහැර වූ උසස් සත්පුරුෂයෙකු වීමට වස්සාන සමය යොදාගත හැකි ය. අපේ දුටුගැමුණු,
පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ නරපතීහු වස්සාන සමයේ වටිනාකම් දැනගෙන බොහෝ පින්කම් කළ
බව මහාවංශයෙහි කරුණු ඇතුළත් වේ.
මෙසේ සාර්ථකව වස්සාන සමයක් ගිහි පැවිදි දෙපිරිස විසින් ම සිදු කිරීමෙන් අනතුරුව
තෙමසක් ඇවෑමෙන් මේ සසුනෙහි වටිනාම පින්කම වන කඨින පින්කම සිදුකිරීමට අවස්ථාව උදා
වේ. කාලය ඉතාමත් ඉක්මනින් ගෙවී යයි. ඒ අනුව වහ වහා පින්කම් සිදුකර අධ්‍යාත්මික
ප්‍රගතිය උදාකර ගනිමින් උසස් භික්ෂූන් වහන්සේ නමක් වීමටත්, නිවැරැදි පිළිවෙත් ඇති
ගුණවත් බෞද්ධයෙකු වීමටත් මෙම වස් කාලය අර්ථාන්විතව යොදා ගනිමු. |