[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

“අයං වස්සාන කාලෝ”

“අයං වස්සාන කාලෝ”

‘අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තුං’ තථාගත බුදුරජාණන් වහන්සේ වස්සාන සමයෙහි නොහොත් වර්ෂා කාලයෙහි වස් සමාදන් වන ලෙස තම ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරා ඇත. දඹදිව වැසි කාලයට, ඒ සාර මාසය තුළම අඛන්ඩව අඩු වැඩි වශයෙන් වර්ෂාව පවතී.

මෙම වැසි සමයෙහි මිනිසුන් පමණක් නොව සෑම සත්ත්වයෙක් ම වැස්සෙන් බේරීම පිණිස - තම තමන්ගේ පහසුවට අනුකූලව සුදුසු තැන් තෝරාගෙන ආරක්ෂාවීම සිරිත ය. කුරා කූහුඹුවන් පවා මේ වැසි සමය තුළ ආරක්ෂා සහිතව ජීවත්විය යුතු බැවින් මාස ගණනාවක සිට තමන්ගේ ආහාර රැස්කර ගැනීම සහ සුදුසු කූඩු සහ ගුහා සකස්කර ගැනීම සිරිතකි.

දඹදිව විසූ තීර්ථක - නිඝණ්ඨ - ජෛන - ආජීවක - පරිබ්‍රාජික - තාපස ආදී විවිධ ආගමික සිරිත් විරිත් අනුව ජීවත්වන පූජක පිරිස ද මේ වැසි සමය ගත කිරීමට විවේකස්ථාන සොයාකියා ගෙන එහි වෙසෙති. එදා බුදුරදුන් දවස සිටි අන්‍ය ආගමික පූජකවරු ද වැසි කාලය තුළ ආරක්ෂාව පිණිසත් - ගමන් බිමන් යාමේදීත් පණුවන් සහ කෘමීන් පෑගී මරණයට පත්වන නිසා ඔවුහු වැසි සමය තුළ එකම ස්ථානයක වාසය කිරීමට පුරුදු වූහ. එයින් තමන්ගෙන් ප්‍රාණඝාතමය අකුසලයක් සිදු නොවන බව සිතා ගැනීම එයට හේතුවයි.

භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ වනවිට මෙබඳු සිකපදයක් අනුමත කොට නොතිබුණු බැවින් භික්ෂූන් වහන්සේලා මේ වැසි සමයෙහි අතන මෙතන ඇවිදීම නවත්වා - එක තැනක විසීමේ ඇති වටිනාකම පිළිබඳව සැදැහැවත් බෞද්ධයෝ ද බුදුරදුන්ට සැලකර සිටියහ.

එකී ඉල්ලීම ද පිළිගත් භාග්‍යවතුන් වහන්සේ කාරණා කාරණා සත්‍ය බැවින් “අනුජානාමි භික්ඛවේ - වස්සානේ වස්සං උපගන්තුං” යන සික පදය මහා සංඝයා වහන්සේට අනුමත කළ සේක. එහි ඇති වටිනාකම පිළිබඳව ද කරුණු පැහැදිළි කළහ.

මේ අනුව භික්ෂූන් වහන්සේලා වැසි සමය තුළ අතන - මෙතන ඇවිදීමෙන් - ගමන් බිමන් යාමෙන් වැළකී - පිළිවෙතට මුල් තැන දී වාසය කිරීමේ ඇති අගනා බව පැහැදිලි කරමින් එහි උසස් බව දක්වාලීම නිසා මේ වස් විසීමේ චාරිත්‍රය භික්ෂූන් වහන්සේලා ද ආරම්භ කරන ලදහ.

තමන්ට වස් කාලය තුළ තැනක් නොමැති නම් දායකයන්ට දැනුම් දී වැස්සෙන් - පින්නෙන් නොතෙමී, - පීඩාවට පත් නොවී ජීවත්වීමට සුදුසු තැනක් පිළිබඳව කතිකා කරගැනීමේ ප්‍රථිඵලයක් වශයෙන් භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව සහිතව ගල්ගුහාවල විසීමද, නැත්නම් ආරක්ෂිත ගස් බෙනවල විසීම ද එක් පියස්සක් සහිත තැනක් හෝ පියසි දෙකක් ඇති - එනම් වහලය සහිත පැලක් ද සකස්කර ගත හැකි ය. සැදැහැවත් දායක භවතුන් විසින් උළු සෙවිලි කළ - වහලයක් සහිත - බිත්තිවලින් ආවරණය වූ නිවසක ද - ඊටත් වඩා පහසුකම් ඇති තැනක ද වස් විසිය හැකි ය.

දායකයින්ගෙන් ලැබෙන අනුග්‍රහය එයට ප්‍රමුඛ වේ. ආරාධනා කිරීමට දායක භවතෙක් නැතත් - ඉහත කී කරුණු ඇතුව සුදුසුකම් තිබෙන තැනක් සොයා කියා ගෙන වස්කාලය ගතකළ හැකි ය. “ඉමස්මිං විහාරේ - ඉමං තේමාසං වස්සං උපේමී - ඉධ වස්සං උපේමී” යනුවෙන් තෙවිටක් බුදුවදන මෙනෙහි කොට - බුදුරදුන් වදාළ පරිදි “මම මේ තුන් මාසය තුළ මෙම ගල් ගුහාවෙහි - පැල්පතෙහි - ගස් බෙනෙහි - ආරාමයෙහි - වස් සමාදන් වෙමි” යි සිතාගෙන ඉහත සඳහන් වස් අධිෂ්ඨානය කරගත යුතු ය.

වැස්සෙන් ආරක්ෂාවීම පිණිසත්, - නීරෝගිතාවය රැකගනු පිණිසත් - වැහි කාලයට තණ-මඩ-වැලි-පස් මතින් මතුවන කුඩා ක්ෂුද්‍ර ප්‍රාණින් පෑගී මිය යාමෙන් වැළකීම

පිණිසත් උන්වහන්සේලා එක තැනක විසු අතර, ඒ කාලය තුළ තමන් අති උදාර ප්‍රතිපදාවන් ද පිරූ සේක. රහත් වීමට අදාළ පරිදි තමන් දැනකියාගත් භාවනා ක්‍රමයක් නිතර දෙවේලේ වැඩීම ඒ උදාර ගුණධර්මයයි.

කවර භාවනාවක් කරතත් පළමුවෙන් ම - සියලු සතුන්ගේ සැප පහසුව පිණිස හේතුවන පරිදි මෛත්‍රී භාවනාව වැඩිය යුතු ය. සැමටම මුල්වන්නේ සිතෙහි මෛත්‍රී සහගත බවයි. ක්‍රෝධය - කෝපය - වෛරය - පලිගැනීම් ආදියෙන් තොරව - සැමටම සෙතක් - සැපතක් වේවා යි කියන පරම මෛත්‍රිය පුරුද්දක් වශයෙන් සිතේ නිතර වඩන විට පවු අදහස් පහළ නොවේ. තමන්ට සැපතක් වේවා යි සිතා ආරම්භ කරන මෛත්‍රිය අසල සිටින කියන අයටද - ගමට ද - පළාතට ද - රටට ද - ලෝකයාට ද සැපතක් ම - සැනසීමක් ම ලැබේවා යි පිරුණු කරුණාවෙන් යුතුව සැමට සෙත් පැතිය යුතු ය.

ඉන් අනතුරුව වචනය ද නම්‍යශීලි ලෙස භාවිත කළ යුතු ය. කාහටවත් රිදෙන කියන සිත් බිඳීිම් ගෙනදෙන සැර පරුෂ වචන වලින් ද වැළකිය යුතුය. සිරිතක් වශයෙන් ම එවැනි අදහස් වලට ඉඩ නොලැබෙන පරිදි - වචනය ද - කථාව ද සකස් කරගත යුතු ය. ඉන් අනතුරුව තමන්ගේ ශරීරය - නොහොත් කය ද තව කෙනෙකුට කිසිදු අයුරකින් පීඩාවක් නොවන පරිදි පවත්වාගත යුතු ය. මෙවන් අයුරින් භික්ෂූන් වහන්සේ නමකට අයත් උදාර පිළිවෙත් පුරා ගැනීමට ද එදා භික්ෂුන් වහන්සේලා මේ වස් කාලය යොදා ගත්හ. පසු කාලීනව වස්සාන සමය බෙහෙවින්ම අදාළ වූයේ භික්ෂූන් වහන්සේලා එක් ස්ථානයක වෙසෙමින් පිළිවෙත් පිරීමට ය. භික්ෂූන් වහන්සේලා පිළිවෙත් පුරන කාලය බැවින් මේ වස්සාන සමය තුළ - සැදැහැවත් බෞද්ධ ජනයා ද උන්වහන්සේලාට පිණ්ඩපාත - සේනාසන - ගිලාන ප්‍රත්‍යය නොහොත් බෙහෙත් හේත් වලින් ඇප උපස්ථාන කිරීම තම පුරුද්දක් කර ගත්හ. ඒ චාරිත්‍රය දැනුදු පවතී.

මේ අනුව චීවර පූජාව ගැන සඳහන් නොවන්නේ වස්සාන සමය නිමවීමෙන් පසු භික්ෂූන් වහන්සේලාට කඨින චීවරය ප්‍රමුඛ කොට අවශේෂ සිවුරු ආදිය පූජාකරන බැවිනි. මෙයින් පැහැදිලි වන්නේ පෙරකී පරිදි වස්සාන සමය භික්ෂූන් වහන්සේලා තැන්පත්ව වෙසෙමින් දිනපතා කෙරෙන ඇවැත් - දෙසීම් ආදිය කරමින් සෑම සුළු වරදකින් හෝ වැළකී පිළිවෙත් ගරුකරමින් වාසය කිරීම තම ප්‍රතිපදාව කරගත් නිසා ය.

ඒ කාලය තුළ මේ බව දන්නා දායක දායිකාවෝ උන්වහන්සේලාට පුද පූජා කරමින් සංග්‍රහ කරති. එසේම දායකයන් ද භික්ෂූන් වහන්සේලාට පිටතට යාමට සිදුවන ආරාධනාවෝ නොකරති. දැනට ඒ සිරිත අභාවයට ගොස් ඇත. නිතර පිටතට ගොස් ආපසු පන්සලට පැමිණිය හැකි වාහන පහසුකම් සැලසීම එයට හේතුවක් වී තිබේ. කෙසේ වෙතත්, භික්ෂූන් වහන්සේලාවන අප විසින් ධර්මයටම මුල්තැන දී විහාරයට පැමිණෙන දායක භවතුනට - දැනුදු පන්සල්වල සවස් යාමයේ සිදුකරන පරිදි - ආගමික වතාවත්වලට තම කාල සටහන සකස්කරගත යුතු ය.

මේ අනුව අපට පැහැදිලි වන්නේ අද ජන සමාජය සහ ලෝකය දියුණු වී ඇති බැවින් - වනාන්තර - ගල් ගුහා - ගස් බෙණ නොසෙව්වාට නේවාසික ස්ථාන පන්සල් වශයෙන් ව්‍යාප්තවී ඇති බව ය. කෙසේ නමුත් භික්ෂූන් වහන්සේ තමන්ටම අයත් ප්‍රතිපත්ති නිසි පරිදි වඩා වර්ධනය කරගැනීම කළයුතු උදාරම ප්‍රතිපදාව බව සලකා මේ වස් තුන් මාසය හැකිතාක් දුරට විනය නීතියටම අනුකූලව රැකගැනීමට අධිෂ්ඨාන කරගත යුතු ය. එය ලබාගත් මහණකමින් නෙළාගන්නා උපරිම ප්‍රතිඵලය වන්නේ ය. සැදැහැවතුන් ද ඊට උචිත වන අයුරින් ඇප උපස්ථාන කොට කුසල් දම් වලින් තමන්ගේ පුණ්‍ය ශක්තිය වඩ වඩාත් දියුණු කරගත යුතු ය. අප ගිහි පැවිදි දෙපක්ෂයම මේ උදාර ගුණ දම් වඩා වර්ධනය කර ගැනීම - ගමට - දේශයට - රටට - ලෝකයට සිදු කරනු ලබන යුතුකම ද වන්නේ ය. එය මහා පින්කමක් ද වන්නේ ය. නිවනට යන මාර්ගයද එයමැයි.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.48 ට ලබයි. 17 වන දා බදාදා පූර්ව භාග 03.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 25 වන දා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]