[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පැන විසඳුම් ජයග්‍රාහිකාව

සිරි දළදා පෙරහර

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් ශ්‍රී දළදා මාලිගාව මූලිකත්වයෙන් පවත්වන ඇසළ පෙරහර දෙස් විදෙස් කා අතරත් ගෞරවයට පාත්‍රවිය. මුල්ම පෙරහර සංකල්පය කිත්සිරිමෙවන් රජ දවස දළදා වහන්සේ මෙරටට වැඩම වූ දවසේ සිට ආරම්භ විය. මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සියමෙන් පැමිණි උපාලි තෙරුන්ගේ හා වැලිවිට සඟරජ මාහිමිගේ උපදෙස් මත ඇසළ පෙරහර දළදා පෙරහර බවට පත්විය. වර්තමාන දළදා පෙරහර සමඟ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල පෙරහර ද ඒකාබද්ධ වී ඇත. මේ නිසා දළදා පෙරහර කලාත්මක හා සංස්කෘතිය අතින් වැදගත් වේ. ඇසළ පෙරහර කප් සිටුවීමෙන් ආරම්භ වේ. ඉන්පසු කුඹල් පෙරහර ආරම්භ වී දින පහකට පසු රන්දෝලි පෙරහර ආරම්භ වේ. එය අංග සම්පූර්ණ පෙරහරක් ලෙස දින සතරක් රාත්‍රියේ වීථි සංචාරය කරයි. කසකරුවන්, ගිනි බෝලකරුවන් මෙන්ම පෙරමුණේ රාළ, ගජනායක නිලමේ යන සාම්ප්‍රදායික නිලමෙවරු හා ඉන්පසු කොඩිකරුවන් හා විචිත්‍ර නැටුම් කණ්ඩායම් ගමන් කරයි. දළදා කරඬුව රැගෙන යන මංගල හස්තිරාජයාට පසුව දියවඩන නිලමේතුමාගේ උදාර ගමන් විලාශය දැකගත හැක. මාලිගා පෙරහරට පසු නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල පෙරහර ගමන් කරයි. එහි ද ඒ ඒ දේවාලවලට ආවේණික සංස්කෘතික අංග ඇත. බෞද්ධයන් වන අප කවුරුත් ගෞරව කරන දළදා පෙරහර අපේ අභිමානය ලොවට කියාපාන විචිත්‍රවත් අංගයකි.

****

ඇසළ පොහොය...

ඇසළ සඳෙන් කිඹුල්වතම නැහැවී යයි
පුන් සඳ වන් රාහුලයන් උපත ලබයි
සිදුහත් කුමරුට අනියත බව වැටහෙයි
කන්ථක ඡන්න සමඟින් මැදුරෙන් පිටවෙයි

බුදුහිමියන් මඟ වැඩම කරන්නේ
ඉසිපතනයේ මල් විකසිත වන්නේ
දම්සක් පැවතුම් දෙසුම ඇසෙන්නේ
පස්වග මහණුන් රහතුන් වන්නේ

දඹදිව් හි මහා යුද ඇතිවෙනවා
හේමමාලා දන්ත කුමරුන් පැමිණෙනවා
වාම දළදා හිමියන් සිරසෙහි දිදුලනවා
ලක්දිවයින දම් දිවයින වෙනවා

****

සිදුහත් කුමරුගේ කතාව

සතර පෙර නිමිති දැක කළකිරි සිටි සිදුහත් කුමරු ඇසළ පෝය දිනයක ගිහි ගෙයින් නික්ම අබිනික්මන් කිරීමට පෙර බිසව වූ යශෝධරා දේවියට එදිනම රාහුල නමින් පුතකු උපන්නා. කුමරු රාහුලෝ ජාතෝ බන්ධන ජාතං කියලා පැවසුවා. (රාහුලයෙක් උපන්නා, බැඳීමක් ඇති වුණා.) සිදුහත් කුමරා රාහුල කුමරා හා දේවිය යශෝධරාවන් දෙස බලා කන්ථක අසු පිට නැගී චන්න ඇමැති සමඟ මාලිගයෙන් පිට වුණේ අද වැනි පොහෝ දිනකයි. උන්වහන්සේ අපට විමුක්තිය සොයා දීමටයි සැපසම්පත් අත හැරියේ.

 

 

 

 

****

දින දින දිනේවා

කසහඬ ඇරඹෙයි බෙරහඬ පැතිරෙයි
සිරි දළදා පෙරහර එනවා
වම් ශ්‍රී දළදා හිමි තුන් ලොවටම
මෙත් කරුණාදිය දෙනවා

වෙස් පන්තේරුද වේවැල් කඩු ගැමි
නැටුම් ගොඩයි ලස්සනට දිලී
මුල් දින පහ තුළ කුඹල් පෙරහරයි
අවසන පෙරහර රන්දෝලී

රටට දැයට බුද්ධාලම්භන පී‍්‍රතිය
ඇති කරවයි දළදා සාධු
මමත් සැදැහයෙන් වැඳ පිළිගන්නම්
ඇසළ පෝ දිනේ පෙරහර සාධු

****

දළදා පෙරහර

බුදු හිමි චරිතයේ නොමැකෙන පිය සටහන්
පොදුජන හදවතේ පොපියයි ඒ දිනයන්
ඇසළ සැණකෙළිය ඇරඹින එම අටියෙන්
දියත පතළ දළදා පෙරහර ඉහළින්

කසහඬ සක්හඬ බෙරහඬ මුසු සාධු නදින් දළදා හිමි පුදති
දද කොඩි සේසත් මුර අවි නංවා වීර ගතින් දළදා හිමි පුදති
දරු දැරියෝ බොදු ගී නද පතුරා ගුවන කරා දළදා හිමි පුදති
සැදැහැ දනෝ බුදුගුණ ගී ගයමින් දළදා හිමි සමිඳුන් පුදතී

දස අත විදුලිය පරයා පන්දම් එළියෙන් බැබළෙන සුර විමනා
මංගල ඇත්රජු කරඬුව හිස මත පාවඩ පිට පියවර තබනා
ආවේනික ගැමි නැටුම් කලාවෙන් කලඑළි බසිනා සැටි සොබනා
හෙළ බොදු සිතකට ඔප් නැංවූ නව රැඟුමන් ඇත මන බඳිනා

****

අසිරිමත් මංගල්‍යය

හෙළයේ අසිරිමත් මංගල්‍යය ලෙසින් වන්දනීය ගෞරව බහුමානයට පාත්‍රවන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඉංගී‍්‍රසි පාලන සමයේ දී 1815 මැයි 3 වැනි දින පැවැත්වුණ බව සඳහන් ය. දළදා මාලිගයේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මංගල්‍යයන් අතුරින් වසරේ ඇසළ, නිකිණි මාසවල යෙදෙන මහා මංගල්‍යය ඇසළ පෙරහර මංගල්‍යය යි.

සිරිලක සතර දෙසින් සැදැහැවතුන් ලක්ෂ ගණනින් මෙන්ම විදෙස් සංචාරකයන් පුරා දින එකොළහක් තිස්සේ මහනුවර වීදිවල රැස් කරවන මේ පෙරහර මංගල්‍යය සැබැවින් ම සංස්කෘතික සංදර්ශනයකි. දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් මෙන්ම නොව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දෙවිවරුන් උදෙසා ද පවත්වනු ලබන මහා උත්සවයකි. ඉපැරැණි චාරිත්‍රයක් වන කප් සිටුවීම මඟින් පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරයි.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.48 ට ලබයි. 17 වන දා බදාදා පූර්ව භාග 03.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 25 වන දා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]