[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර

ජාතික අභිමානය හා ශ්‍රේෂ්ඨ සංස්කෘතිය මුළු ලොවට ම විදහා දක්වන රජරට මහා බොදු මංගල්‍යය ලෙසට හඳුන්වන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා මහා පෙරහර 23 වන වරටත් මෙම ජූලි මස 15 -16 යන දිනයන් හි අනුරාධපුර පින්බිමේ දී අතිමහත් අත්‍යලංකාරයෙන් පැවැත්වේ.

මෙම මහා පෙරහර ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමි, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත හා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු හා උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශී‍්‍ර බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියන්ගේ ද, අටමස්ථානයට අයත් විහාරාධිකාරි හිමිවරුන් ප්‍රධාන තෛ‍්‍රනිකායක මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ උපදෙස් අනුව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර මහතා ප්‍රධාන පළාත් සභාව ඇතුළු සියලුම රාජ්‍ය අංශයන්හි දායකත්වයෙන් සංවිධානය කරනු ලබයි.

කාලිංග දේශයේ රජවරු ගරු බුහුමන් පෙරදැරිව දළදා වහන්සේ ආරක්ෂා කළත් බුදුදහමට එරෙහි වූවෝ දළදා වහන්සේ විනාශ කර දැමීමට ඇතැම් කොටස් උත්සාහ දැරීම නිසා ගුහසීව රජු දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා ලක්දිවට වැඩම කිරීමට පියවරගෙන ඇත.

එවකට අනුරාධපුර රාජධානියෙහි මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජදවස (ක්‍රි.ව. 301-308) දඹදිව කළිඟු රට රජකළ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු දඹකොළ පටුනෙන් බැස ශ්‍රී ලංකාවට දළදා වහන්සේ වැඩම කරවන ලදී. අනුරාධපුර වයඹ දිග පිහිටි මේඝ විහාරයට දළදා වහන්සේ වැඩම කළ බව දැනගත් කිත්සිරි මෙවන් රජු එහි ගොස් දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය දැක සුදු අසුන් යෙදු විශේෂ පූජණීය රථයකින් දළදා වහන්සේ ඇතුලු නුවර වඩා හිඳුවා එහි භාරකාරත්වය අභයගිරි විහාරයෙහි උත්තර මූලයට භාරදී වාර්ෂිකව පෙරහර පැවැත් වූ බව ජිනකාලිමාලි පූජාවලිය යන ග්‍රන්ථවලින් මෙන්ම මහා වංශයෙන් ද පෙන්නුම් කරයි. කිත්සිරි මෙවන් රජ දවසින් පසුව ශ්‍රී දළදා පෙරහර වංශ කථාවට නව පිටුවක් සරසවමින් අනුරාධපුර ඇතුලිනුවර ශුද්ධ නගරයේ පෙරහර ආරම්භ කෙරිණි. එයට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතිය මගින් 1982 වසරේ දිවා පෙරහරක් ආරම්භ කරන ලදී. පෞරාණික සම්ප්‍රදායන්ට සහ සංස්කෘතික ලක්ෂණයන්ට අනුව පෙරහර සියලුම අංග සැලසුම් කර තිබීම මෙහි විශේෂ ලක්ෂණයකි.

එදා පෙරහර සම්බන්ධව අලියකු පිට නැගුනු පණිවිඩකරුවෙකු විසින් රට වැසියාට දැනුම් දුන් ක්‍රමය වෙනුවට අද අණබෙරකරුවෙකු ලවා හෝ වත්මන් සමාජ රටාවට අනුව විවිධ මාර්ග ඔස්සේ ජනතාව දැනුවත් කිරීම සිදුකෙරේ. තවද එදා පෙරහර ගමන් මාර්ගයේ තැනින් තැන ජාතක කථා රංගනයෙන් ප්‍රදර්ශනය කළ අතර, අද එම ජාතක කථා චක්‍රයට නගන ලද පැතිකඩ පෙරහරේ ගමන් කරවනු ලබයි.

අලි , ඇතුන්. කොඩි සේසත්, පංචතූර්ය නාද, උඩරට පහතරට සංස්කෘතික නැටුම් ද සබරගමු සම්ප්‍රදායික නැටුම් ද , හේවිසි, පන්තේරු, වෙස් හා සවරන් කසකරුවන්, ගිනිබෝල හා පන්දම් කරකවන්නන්, කෝල්මුර කණ්ඩායම් ලී කෙලි, කෝලම් නැටුම්, මල්, බයිසිකල්කරුවන් . දව්ල හා තම්මැට්ටන්කරුවන්, බෞද්ධ ධජ. පෙරමුණේ ධජ ඇතුළු විවිධාංග රැසක් පෙරහර අලංකාරවත් කරවමින් ගමන් කරවන අතර, ඉතා අලංකාරවත් අන්දමින් සරසන ලද රන්සිවි ගෙය තුළ තැන්පත් කළ සධාතුක කරඬුව හස්තිරාජයකු පිට පෙරහර මධ්‍යයේ ගමන් කරවනුයේ අතිමහත් අභිමානවත් අයුරිනි. මේ සමඟ දේවාල පෙරහරද ගමන් කරවන අතර, පෙරහරේ නිලමේවරු පෙරමුණේ රාළ ඉතිහාසය හා එහි ප්‍රෞඪත්වය පිළිබිඹු කරන සංස්කෘතික අංග සිය ගණනකින් මෙම මහා පෙරහර අභිමානවත් වනු ඇත.

ජූලි මස 15 වන දින අනුරාධපුර ඇතුල්නුවර කේන්ද්‍ර කරගෙන හා ජුලි 16 දින අනුරාධපුර නව නගරය කේන්ද්‍ර කර ගෙන පෙරහර වීදි සංචාරය කරනු ඇත.

අනුරාධපුර ඓතිහාසික හෙළ බොදු සංස්කෘතිය හා සභ්‍යත්වය අනාගත පරපුරට දායාද කරන මෙම මහා පෙරහර ප්‍රථම දිනයේ දී (15) ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස නැගෙනහිර වාහල්කඩ දොරටුව අභියස දී පස්වරු 7.30 උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා විසින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කරඬුව හස්තිරාජයා මත රන්සිවිගෙය තුළ තැන්පත් කිරීමෙන් පෙරහර ආරම්භ කරනු ඇත.

අනතුරුව බෝ සමිඳුවටා ඇති නව පෙරහර මාවත ඔස්සේ ගමන් කරන පෙරහර රුවන්වැලි මහා සෑ රදුන් අභියස පෙත්මග දිගේ ගමන් කරන පැරැණි රෝහල් හන්දිය දක්වා ගමන් කරනු ඇත. පසුව අනුරාධපුර ඇතුල්නුවර සංඝමිත්තා මාවතේ පිහිටි ප්‍රථම හා පැරැණිම දළදා මාලිගාව වෙතට පුද පූජා පිළිවෙත් පැවැත්වීමෙන් පසුව ථූපාරාම චෛත්‍ය අභියසින්, අනුලා මාවත ඔස්සේ වයි හන්දියෙන් දකුණට හරවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘති ප්‍රධාන කාර්යාලය අභියසින් අභයගිරි විහාර මළුවට ගෙවදීමෙන් ප්‍රථම දින පෙරහැර අවසන් වනු ඇත.

දෙවන දින (ජූලි 16) දින පෙරහර සුපුරුදු පරිදි ප්‍රථම දින ආරම්භක ස්ථානයෙන් ම ආරම්භ කර ශ්‍රී මහා බෝධි මාර්ගය ඔස්සේ සිංහ කනුව වටරවුම දුම්රිය නගරය පෙදෙස මාර්කට් හන්දියෙන් දකුණට හරවා මෛත්‍රීපාල සේනානායක මාවත (මහවීදිය) බැංකු පෙදෙස වටරවුමෙන් දකුණට හරවා ජයන්ති මාවත, සිංහ කණුව වටරවුමෙන් වමට හරවා ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ මහ බෝ මළුවට ගෙවදීමෙන් මෙවර ඓතිහාසික අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර නිමාවට පත්වනු ඇත.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.48 ට ලබයි. 17 වන දා බදාදා පූර්ව භාග 03.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 25 වන දා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]