අපරාධයට සුදුසු දඬුවම
ශ්‍රී ලංකා රාමඤ්ඤ
මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ
ප්‍රධාන සංඝනායක,
ආචාර්ය
ඕමල්පේ
සෝභිත නා හිමි
මත්කුඩු, ඇතුළු මත්ද්‍රව්‍ය සමාජය පුරා පැතිරයාම මෙකල බරපතළම අපරාධයක් බවට පත් ව
ඇත. මනුෂ්‍ය ඝාතනයක දී සිදු වන්නේ ඒ මොහොතේ ම යම් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් කිරීම
ය.
එහෙත් මත්ද්‍රව්‍ය මිනිසා මරණය වෙත ගෙන යන්නේ ක්‍රමයෙනි. ඊට ඇබ්බැහි වූ පුද්ගලයාගේ
සියලු ම ධන සම්පත්, සමාජ කීර්තිය, පවුලේ පරිහානිය ද විනාශය කරා ගෙන යමිනි. සමාජගත
මේ දුරාචාරය නිසා අද වන විට රාජ්‍ය ආදායමින් විශාල කොටසක් ඒ වෙනුවෙන් වැය කරන්නට
සිදුව ඇත. මේ නිසා වර්තමාන සමාජයේ අපරාධ අතර මත්කුඩු ජාවාරාම වඩාත් හානිදායක
අපරාධයක් බවට පත්ව ඇත.
මේ නිසාම ලොව බොහෝ රටවල මෙම උවදුර නැති කිරීම සඳහා දැඩි නීති පනවා ඇත. මත්කුඩු
ග්‍රෑම් දෙක හමාරක් වැනි සුළු ප්‍රමාණයක් ළඟ තබා ගැනීම පවා මරණ දඬුවමට යටත් කිරීමට
හේතුවකි. ලෝකය මේ අපරාධය පිළිබඳ ව මොන තරම් අවධානයකින් සිටිනවාද ? යන්න එයින් ම
පැහැදිලි ය.
බෞද්ධ ඉගැන්වීම් අනුව මත්කුඩු, මත්ද්‍රව්‍ය භාවිතය අයත් වන්නේ පස්වැනි ශික්ෂා
පදයටය. ‘සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී’ මතට, මදයට, පමාවට හේතුවන මධ්‍යසාර,
මත්කුඩු හෝ වෙනත් මත් ද්‍රව්‍ය භාවිතය බෞද්ධ චර්යාධර්මයන් අතර සම්පූර්ණයෙන් ම
ප්‍රතික්ෂේපිතය. සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය ආදී
සූත්‍ර දේශනාවන්හි මත්ද්‍රව්‍ය භාවිතයේ හානිකර බව, ඒවායෙහි ප්‍රතිවිපාක පිළිබඳ මනා
විග්‍රහයක් අන්තර්ගත ය.
මත්ද්‍රව්‍ය පිළිබඳ මෙතරම් අවධානය යොමු කරවීමට හේතුව ඒවායින් සිදුවන පුද්ගල
පරිහානියත් ඉන් ඔබ්බට ගිය සමාජ පරිහානියත් ඉතා විශාල වන නිසා ය. පුද්ගල වශයෙන් මෙන්
ම, පොදුවේ සමාජමය වශයෙන්ද සෞඛ්‍යය, ආර්ථිකය, සදාචාරය පිරිහීමේ ප්‍රධානතම සාධකය මත්
ද්‍රව්‍ය භාවිතයයි. එය ජන සමාජයක පැවැත්මට අදාළ මුල සිඳ බිඳ දමයි.
“මූලං ඛනති අත්තනො” මේ දුරාචාරය තමන් විසින් තමන්ගේ මූල හාරා ගැනීම වැනි චර්යාවකි.
තමන් පය ගසා සිටින තැන තමන් විසින්ම හාරා ගන්නවා වැනි ක්‍රියාවකි. තවත් සරලව කියනවා
නම් තමන්ගේ වල තමන් විසින් ම කපා ගනු ලැබීමකි.
අද වන විට වාර්තා වන තොරතුරුවලට අනුව රුපියල් ශතවලට ඇති කෑදරකම නිසා අහිංසක පාසල්
දරුවන් පවා මෙම අපරාධයට ගොදුරු කරගන්නට කූඨ ව්‍යාපාරිකයන් විවිධ ක්‍රියාමාර්ග ගන්නා
ආකාරය පෙනේ. ළමා විය, තරුණ විය, වැඩිහිටි විය යැයි වෙනසක් නොවේ. මතට ඇබ්බැහි වූයේ
නම් රටක ජාතියක අවාසනාව ද, අවසානය ද එයම වන්නේ ය. එසේ නම්, ජනතාවාදී, ජනහිතකාමී,
යහපාලන රාජ්‍යයක ප්‍රධානතම වගකීම වන්නේ මේ විනාශය වැළැක්වීම ය. ඒ සඳහා ගත යුතු ඉහළම
ක්‍රියාමාර්ගය ගැනීමය. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ජන සමාජය තුළ පාලකයෙක්
හෙවත් රජෙක් බිහි වන්නේ ජනතාවගේ ආරක්ෂාව පිණිස ය. වැඩි ජනතාවකගේ කැමැත්තෙන් ‘මහා
සම්මත’ යනුවෙන් පාලකයෙක් තෝරා ගනී. ඔහුට පැවරෙන වගකීම හා යුතුකම වන්නේ මහජනතාවගේ
දේපළ, ජීවිත සුරැකීම හා ආරක්ෂාව සැලසීම ය. ඒ සඳහා ජනතාව තමන් උපයන දෙයින් කොටසක්
රජුට ලබා දේ. තෝරාගනු ලබන පුද්ගලයා තමන්ගේ යුතුකම ඉටු කරන්නේ නම් ඔහුට ‘ජනදාස’ යන
නම භාවිත විය. ඒ, ජනතාවට සේවය කරන්නා යන අර්ථයෙනි.ඒ අනුව ජනතාවගේ ආරක්ෂාව, පැවැත්ම
තහවුරු විය. එහිදී සමාජ සුබ සාධනය හා සාමය වෙනුවෙන් වැරැදි කරුවන්ට දඬුවම් දීම,
වරදින් මුදවාලීම ද රජුට පැවරිණ. තමන්ගේ ජනතාවට යහපතක් වන්නේ මේ, මේ කරුණු අනුව බව
රජතුමා සිතනවා නම්, ඒ අනුව නීති සම්පාදනය විය. එහි ප්‍රධාන අරමුණ ජනතාවගේ හිත සුව
සැලසීමයි. වැරැදි කරුවන්ට දඬුවම් කිරීම හා වරද පිටු දැකීම, යහපත් ජනතාවගේ සාමකාමී
පැවැත්ම ස්ථාවර කිරීම එම නීති ක්‍රියාත්මක කිරීමේ පදනමයි. රජුට නීති ක්‍රියාත්මක
කිරීමට අවසරය ලැබී ඇත්තේ මේ පරමාර්ථ යටතේ ය.
ලංකාවේ මත්කුඩු හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් සම්බන්ධයෙන් ගෙන යන
ක්‍රියාමාර්ගය පිළිබඳව වර්තමානයේ කතාබහට ලක් කැරේ. මෙම දඬුවම් කිසිවෙකුට තනිවම දිය
හැකි නොවේ. ව්‍යවස්ථාපිත නීතියෙනි දඬුවම් ලබා දෙන්නේ. ජනතා නායකයා වෙතින් සිදු
කෙරෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම ය. ඒ අනුව එවැනි දඬුවමකදී දඬුවම් නියම කරන ජන
නායකයාට හෝ ක්‍රියාත්මක කරන අදාළ නිලධාරියාට පෞද්ගලිකව පාප විපාකයක් නොලැබේ. කුමක්
හෙයින් ද ඔවුන්ගේ ව්‍යායාමය බහුජන හිත පිණිස, බහුජන සුව පිණිස වන නිසා ය. කළ යුතු
සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම ය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ‘අස්ස දම්ම
සාරථී’ නම් අසුන් පුහුණු කරන්නෙක් සිටියේ ය. ඔහු එම කාර්යයෙහිලා බොහෝ දක්ෂ ය. මුළු
රටම ඔහුගේ පුහුණුව පිළිගනී. රටේ රජු පවා කැමැති ඔහු විසින් පුහුණු කරන ලද අසුන්ට ය.
බුදුරජාණන් වහන්සේ දිනක් මෙසේ දක්ෂ ලෙස අසුන් පුහුණු කරන්නේ කෙසේදැයි ඔහුගෙන් ඇසුවේ
ය.
ඒ අවස්ථාවේ අසුන් පුහුණු කරන ආකාරය පියවරෙන් පියවර පහදා දුන් පුහුණුකරු එම
ක්‍රමයන්ගෙන් හික්මවිය නොහැකි අශ්වයන් වේ නම් ඒ සතුන් අකැමැත්තෙන් වුවද මරා දමන බව
පැවසී ය. ඒ නොහික්මුණු අශ්වයෙක් වේ නම් අශ්ව රැළම හික්මවාගත නොහැකිවන නිසා ය.
මෙහිදී බුදුරජාණන් වහන්සේ “අස්සදම්ම සාරථී” ගේ ක්‍රමවේදයම භික්ෂු ශාසනය වෙනුවෙන් ද
ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන්හ. අස්වයන් මරා දැමුවද සම්බුද්ධ ශාසනයේ දී මරා දමනවා
යැයි කියන්නේ නෙරපා හැරීම වන බවද දේශනා කළහ. ජන සමාජයක් නිවැරැදිව පවත්වාගෙන යාමට ඒ
ඒ සමාජ සංස්ථාව මගින් යම් නීති පද්ධතියක් ක්‍රියාත්මක කරනවා නම් බුදුරජාණන් වහන්සේ
ඒ ගැන කතා කළේ නැත. නිහඬ වූහ. බුද්ධ කාලීනව ඒ ඒ ප්‍රදේශ පාලනය කළ රජවරු විවිධ
දඬුවම් ක්‍රම ක්‍රියාත්මක කළහ. බුදුරජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කිරීම හෝ විවාදයට
ලක් කිරීම සිදු නොකළහ. නිහඬව සිටියහ. ඒ රජුගේ නීති ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථය
යහපත් සමාජයක් නිර්මාණය කිරීම වන නිසා ය.
‘සබ්බෙ තසන්ති දණ්ඩස්ස’ සියලු සත්ත්වයෝ දඬුවමට බිය වෙති. මහා අපරාධ කරුවන්, සොර
තක්කඩියන්, දූෂකයන්, භීෂකයන් ආදී මේ කවරෙක් වුව ද දඬුවමට බිය ය. එවැන්නෝ බිය
ගැන්විය ද යුතු ය. ඒ සමාජ යහපතට ය. තර්ජනයෙහි, බිය ගැන්වීමෙහි, දඬුවමෙහි පරමාර්ථය
සමාජ යහපත නම් , එහි වරදක් නැත. එහි දී සිදු කෙරෙන්නේ වරදකරුවා තුළ බිය ඉපදවීමත්,
බලා සිටින අය තුළ පාඩමක් ඉගැන්වීමත් ය. මත්කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා
ගත හැකි ඉහළම ක්‍රියා මාර්ග ගැනීම කාලීනව ඉතාම වැදගත් ය. සමාජයේ සෞඛ්‍ය සම්පන්න
බවට, සදාචාර වර්ධනයට, ආර්ථික සංවර්ධනයට, සංස්කෘතිය රැක ගැනීමට, මිනිසා ආරක්ෂා කර
ගැනීමට එවැනි අපරාධ කරුවන්ට ඉහළම දඬුවම් ලබා දිය යුතු ම ය.මානව හිමිකම් මුවාවෙන් හෝ
වෙනයම් අරමුණු වෙනුවෙන් අපරාධකරුවන්ගේ, දූෂකයන්ගේ හිමිකම් ගැන කතා කළහොත් සිදුවන්නේ
අපරාධ කරුවන්ට, දූෂකයන්ට තැන දී යහපත් මිනිසුන්ට විනාශ මුඛයට යන්නට ය.
- රමණී සුබසිංහ |