ගැටුමට මුල මිනිස් සිත ය
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
බුදු දහම අනුව සමාජය වනාහි පරිණාමය ට පත්වන්න කි. ආදියෙහි පැවැති ස්වභාවය සමාජය තුළ
කෙමෙන් නැති වූ අතර, ගැටුම් උපදවන විෂමතා කෙමෙන් ඇතිවිය. එය ඇරඹෙන්නේ මිනිස් සිතෙහි
ඇතිකරගත් විකෘති හේතුවෙනි. එනම්. දේශනාවෙහි දැක්වෙන පරිදි ‘එක්තරා ලෝල ස්වභාවය ඇති
සත්ත්වයෙකු නිවෙන්නා වූ හුණු කිරි මත ඇති යොදයක් මෙන් දිය මත්තෙහි පැවති රස පොළව,
භවත්නි, මේ කිමෙක් දැ? යි ඇඟිල්ලෙන් ගෙන දිව ගෑමත්, ඔහුට එය පි‍්‍රයවීමෙන් තෘෂ්ණාව
ඔහු සිතට බැස ගැන්මත්, සෙසු සත්වයන් ඔහු අනුකරණය කිරීමත් මුල්කොටගෙන ය.
“පරිණාමීය ක්‍රියාවලියේ මුල් අවස්ථාවේ දී ම තෘෂ්ණාව මගින් සිදු කෙරෙන කේන්ද්‍රීය
කාර්යය මෙහිදී වැදගත් වශයෙන් සනිටුහන් කරගත යුතු ය . බුදුසමයට අනුව මූලික වූ ද,
කේන්ද්‍රීය වූ ද , නරක ම දෙය නම් ,පාපය නම් තෘෂ්ණාව යි. තෘෂ්ණාව , එනම් මෙම මූලික
පාපය ක්‍රියාත්මක කිරීම නිසා පුද්ගලයෝ මානසික වශයෙන් මෙන් ම, භෞතික වශයෙන් ද
පරිහානියට පත්වන්නට පටන් ගනිති. (අග්ගඤ්ඤ සූත්‍රය)
මෙසේ ගැටුම් ඇති වන්නේ බාහිර වූ සාමාජික හේතු මත ම නොවේ. එහිලා සන්තානගත විකෘතීන් ද
මූලික වන්නේ ය යන ඉහත කී බෞද්ධ පැහැදිලි කිරීම ප්‍රකාශ වන තවත් දේශනාවක මෙසේ සඳහන්
වෙයි.
“මහණෙනි, කාමයන් හේතුකොටගෙන , කාමයන් මූල කාරණය කොටගෙන, කාමයන් කරුණු කොටගෙන,
කාමයන්ගේ ම හේතුවෙන් රජහු ද, රජුන් සමඟ විවාද කරත්. ක්ෂත්‍රියයෝ ද ක්ෂත්‍රියයන් සමඟ
විවාද කරත්. බමුණෝ ද බමුණන් සමඟ විවාද කරත්. ගැහැවියෝ ද ගැහැවියන් සමඟ විවාද කරත්.
මව ද පුතු සමඟ විවාද කරයි. පුතා ද මව සමඟ විවාද කරයි. පියා ද පුතා සමඟ විවාද කරයි.
පුතා ද පියා සමඟ විවාද කරයි. සහෝදරයා ද සහෝදරයා සමඟ විවාද කරයි. සහෝදරාය ද සහෝදරිය
සමඟ විවාද කරයි. සහෝදරිය ද සහෝදරයා සමඟ විවාද කරයි. මෙසේ ඔවුහු කළහ විග්‍රහ
විවාදයන්ට පැමිණියාහු ඔවුනොවුන්ට අතින් ද පහර දෙති. කැටකැබිලිත්තෙන් ද පහර දෙති.
මුගුරුවලින් ද පහර දෙති. සැත්වලින් ද පහර දෙති. එහි දී මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර
දුකට ද පැමිණෙති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය තමා විසින් ම දැක්ක යුතු ය. මේ දුක් රැස
කාමය මූලකාරණය කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විඳිනු ලබන කල්හි, අඩයවියට හෙලනු
ලබන කල්හි, කඩු ඔබනොබ පෙරළෙන කල්හි,කඩුව හා පලිහ ගෙන දුනු හියවුරු බැඳගෙන දෙපසින්
රැස්ව රණබිමට වදිත්. ඊතලවලින් ද විදිත්. අඩයටියෙන් ද විදිත්. කදුයන ගොම ද ඉසිත්,
ශතදත්තයෙනුදු මඩිත්, කඩුවෙන් ද හිස් සිඳිත්. එහිදී ඔහු මරණයට ද පැමිණෙයි. මරණමාත්‍ර
වූ දුකට ද පැමිණෙයි’” (මහා දුක්ඛකන්ධ සූත්‍රය)
පටිච්චසමුප්පාදය දකින්නා බුදුදහම දකියි. බුදුදහම දකින්නා පටිච්චසමුප්පාදය දකියි”
මිනිසා ඉදිරියේ ඇති සියලු ප්‍රශ්න ඉක්මවා සිටින මහා ප්‍රශ්නය නම් සසර දුක ය.
ජාති,ජරා, ව්‍යාධි, මරණාදී වශයෙන් දැක්වෙන එකී සසර දුකෙහි සමුදය, එනම් හටගැන්ම ද,
නිරෝධය, එනම් නිවාරණය ද හේතු ප්‍රත්‍යාකාරයෙන් හා හේතු ප්‍රත්‍ය නිරෝධයෙන් හෙළිදරව්
කරන බෞද්ධ මූලධර්මය නම් පටිච්චසමුප්පාදය යි.
“මහණෙනි, මම චේතනාවට කර්මය යැයි කියමි. සිතින් ද, කයින්ද වචනයෙන් ද සිතා මතා (චේතනා
පූර්වංගමව) කර්ම කරනු ලැබේ” යන ප්‍රකට බුද්ධ වචනය සිහිගන්වමින්, හේතු ප්‍රත්‍යාකාරය
අනුව සමාජය තුළ කලහ, විග්ගහ, විවාද හටගන්නා අයුරු බුදුදහම පෙන්වා දෙන්නේ මෙසේ ය.
“වින්දනය (සංවේදනය) ප්‍රත්‍ය කොට තණ්හාව උපදියි. තණ්හාව ප්‍රත්‍ය කොට අරමුණු සොයා
යාම වේ. සෙවීමෙන් ලැබීම වේ. ලැබීමෙන් විතර්ක විනිශ්චය (අරමුණෙහි ඉටු අනිටු බව
විතර්කයෙන් නිශ්චය කිරීම, ඇගැයීම) වේ. විනිශ්චය නිසා ඡන්දරාගය (ඇල්ම) උපදියි.
එමගින් (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මගේ යැයි අත්පත් කරගැනීම) වේ. අයත් කරගැනීම නිසා
මසුරු බව වේ. මසුරු බව නිසා රැක්ම වේ. රැක්ම කරණකොටගෙන ( ගැටුම් උදෙසා) දඬු මුගුරු
ගැනීම, අවි දැරීම්, කලහ , විග්ගහ( විරුද්ධ වීම්) විවාද, තෝ, තෝ යැයි චෝදනා කිරීම්
(ඇනුම් බැනුම්) කේලාම් මුසා බිත්‍රම් ආදි නානාවිධ අකුසල ධර්මයෝ පහළවෙත්. (මහා නිදාන
සූත්‍රය)
ඉහත උපුටා දක්වන ලද බුද්ධ දේශනාවල දී මෙන්ම මෙහිදී ද සන්තානගත විකෘතීන් පාදක කොටගෙන
මිනිසුන් ගැටුම් මෙන් ම ගැටුම්වලට තුඩුදෙන අනේකවිධ ක්‍රියාකාරකම්වල ද නිරත වන අයුරු
පෙන්වා දී තිබේ. ගැටුම හුදෙක් බාහිර සිදුවීමක් ම නොවේ. කායික වාචසික ක්‍රියාවක් ම
නොවේ. එය මිනිස් සිත ම ප්‍රභවස්තාන කොට පවත්නේ ය, යන්න මෙම දේශනාවෙන් ද පෙන්වා දී
ඇත. ගැටුමෙහි මහා විදානය මිනිස් සිතිවිලි ය.
අන්තවාදීව දෘෂ්ටිගතිකව උපන් වාද විවාද තර්ක විතර්කවලින් බුද්ධකාලීන භාරතය තුළ
විද්‍යමාන වූ බුද්ධි ඝට්ටනය පාලි සූත්‍රාන්තයන් ඇසුරින් මැනවින් හඳුනාගත හැකි ය.
දිට්ඨි ,වාද, අන්ත, උපාදානාදී ව්‍යවහාරයන් මගින් හඳුන්වා ඇති විවිධ ආගමික දාර්ශනික
මතවාද, ස්ථාවර මෙන්ම ඒවාට එළඹීම පිණිස සාම්ප්‍රදායික ශ්‍රැතියම සපුරා ප්‍රමාණවත් ය.
බුද්ධිමය තර්කය ම සපුරා ප්‍රමාණවත් ය. ලෞකික අභිඥාමය ප්‍රත්‍යක්ෂය ම ප්‍රමාණවත්
යැයි සලකා ගත් මහණ බමුණන් එකල විසූ බව පෙනේ. ඔවුහු නිබඳව ම ගැටුණෝ ය. තම තමන් ගත්
මතය ම, දෘෂ්ටියම සත්‍යය ය. සෙසු සියලු මතවාද, දෘෂ්ටිවාද සපුරා අසත්‍යය යැයි හේතු
දක්මින් වාචිකව ගැටුණෝ ය. තම තම නැණ පමණින් නිගමනවලට එළඹ, තම තමන්ගේ නිගමනය ම
පරාමර්ශනය කරමින් තර්ක විතර්ක කළෝ ය. එයින් උපන්නේ බුද්ධි ඝට්ටනයකි. දාර්ශනික
කලහයෙකි. නිත්‍ය වු ආත්මයක් ඇත. එය ම සත්‍යය ය. අන් සියල්ල අසත්‍යය යැයි ශාස්වත
දෘෂ්ටිය ගත් මහණ බමුණෝ, නිත්‍ය වූ ආත්මයක් නැත. සියල්ල මරණයෙන් කෙළවර වේ. යැයි
ආශාස්වත දෘෂ්ටිය ගත් මහණ බමුණන් හා වාද වශයෙන් ගැටුණෝ ය. එසේම අශාස්වත දෘෂ්ටි ගත්තෝ
ද ශාස්වත දෘෂ්ටි ගත්තවුන් හා ප්‍රතිවිරුද්ධව ගැටුණෝ ය. එකී අන්තවාදී වූ, එකිනෙකට
ප්‍රතිපක්ෂ වූ, ප්‍රමුඛ වූ, දෘෂ්ටි දෙකට අනුගත වූ දෘෂ්ටිවාද රැසක් පැවතිණ. එම
දෘෂ්ටි ගත්තෝ ද, ගැටෙමින් හැසිරුණෝ ය. ස්ව දෘෂ්ටියෙහි ම එල්බගත් ඔවුහු ඇතෙකුගේ අඟ
පසඟ වෙන් වෙන්ව අත ගෑ ජාත්‍යන්ධයින් මෙන් ඒකංගදස්සී වූවෝ එකිනෙකාට එරෙහි ව ඇති මාගේ
මතය ම සත්‍යය ය. අන් අයගේ මත අසත්‍යය යැයි වාද කළෝ ය. මුව සැතින් එකිනෙකාට පහරදුන්
ඔවුහු අවසානයේ දී ප්‍රතිවාදීව එකිනෙකාට මිටින්ද ගැසූහ. සමකාලීනව මතවාදී ගැටුම්
ඇතිකරගත් ඒ මහණ බමුණන් එසේ ඇතා අතගා බලා වාද කරමින් ගැටුණු ජාත්‍යන්ධයින්ට සමාන
යැයි බුදුසමය කියයි. පෙළ දහම හෙළිකරන සමකාලීන මහණ බමුණන් අතර පැවැති මේ ගැටුම්
බුද්ධිමය ගැටුම් ලෙස හැඳින්විය හැකි ය. ඒවා උපන්නේ බුද්ධිය, තර්කනය ඇසුරු කොටගෙන ය.
නො එසේ නම්, ශ්‍රැති සම්පාදය හෝ නිත්‍යාත්මයක් ඇතැයි පිළිගනිමින් චිත්ත සමාධියෙන්
පුබ්බේනිවාසානුස්සති ඤාණය උපදවා, ඇතැයි පිළිගත් ආත්මයේ අතීතය සොයා යාමට (පූර්වාන්ත
කල්පනයට) හෝ එලෙසින්ම දිබ්බචක්ඛු ඤාණය ඇතැයි පිළිගත් ආත්මයේ අනාගතය සොයා යාමට
(අපරාන්ත කල්පනයට) යොමු වීමෙනි, (චූල සකුලුදායි සූත්‍රය)
සමාජගත ගැටුම් ඇති වීමට තුඩු දෙන දේශපාලනික හා ආර්ථික හේතු යුක්තීන් ද ඇති බව
බුදුසමය පෙන්වා දෙයි. අකාර්යක්ෂම, අවිධිමත් රාජ්‍ය පාලනය ද, ඒ හේතුවෙන් මතුවන සමාජ
ආර්ථික ගැටලු ආදිය ද ප්‍රජාව තුළ සාමය, සහජීවනය හා සමානත්වය නැතිකරන අයුරුත්,
එමගින් අනේකාකාර වූ ගැටුම් ජනිත වන අයුරුත් බුද්ධ දේශනාවල දැක්වෙයි.
ගැටුම් නිරාකරණය අරබයා බුදුසමයෙන් ලද හැකි ආලෝකය ද සැබැවින් ම සිත්ගන්නා සුළු ය.
හේතු ප්‍රත්‍යාකාරයෙන් හටගන්නා සියල්ල හේතුප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වන්නේ ය” යන
පටිච්චසමුප්පාද න්‍යාය අනුව ඉහත දැක්වූ පරිදි අධ්‍යාත්මික වූ තණ්හාව , කාමය ආදි
හේතු පාදක කොටගෙන උපදනා අනේකවිධ වු සමාගජත ගැටුම් ද එම හේතු ප්‍රත්‍ය නිරෝධයෙන්
නැතිවෙයි. ඒ අනුව ස්ථානගත වූත්, සමාජගත වූත් සියලු ආකාරයේ මානව ගැටුම් උපදවන මූලික
විසඳුම අධ්‍යාත්මික ය. එනම් රාග, ද්වේශ, මෝහාදී අනේකවිධ දුර්විපාක උදාකරන සියලු
ගැටුම් උපදවා පාපී අකුසල විතර්කයන් පරදවාලමින් කුසල විතර්කයන් මිනිස් සිත් තුළ
සංවර්ධනය කිරීම ය. සියලු මානව ක්‍රියාකාරකම්වලට මිනිස් මනස ම දෙටු ය. පෙරටු ය.
පවිටු මනසින් කළ කී දැ පසුපස දුක ම හඹා එයි. පිරිසුදු මනසින් කළ කී දැ පසුපස සැපතම
ඇදී එයි. යමක් නොවඩන ලද්දේ ද (අභාවිත ද) එයින් අනර්ථය ම සැලසෙන්නේ ය. එයින් අභාවිත
සිත තරම් අවැඩ සලන කිසිවක් මම නොදකිමි. යමක් වැඩිදියුණු කරන ලද්දේ ද (භාවිත ද)
එයින් අර්ථය ම සැලසෙයි. එසේ අර්ථය සැලසෙන දේ අතරින් භාවිත සිත තරම් වු අන් දහමක් ද
මම නොදකිමි. මේ බුද්ධ වචනය යි. සොරෙක්, වෛරක්කාරයෙක් එබඳු ම වූ සොරෙකුට, ,
වෛරකරන්නෙකුට සිදුකරන අයහපතට වඩා අයහපතක්, නොවැඩු සිත නිසා වන්නේ ය. මව්පියන් හෝ
ඤාතීන් කරන යහපතට වැඩි යහපතක් වඩන ලද සිත සිදුකරයි. මේ අනුව ඉහත කී පරිදි ගැටුමට
තුඩුදෙන සිත් සැබැවින් ම නොවැඩූ සිත් ය. කෙලෙස් වසඟ වූයේ ය. ගැටුම් නිමා වන්නේ වඩන
ලද කෙලෙස් මළ නැති සිත් සතන් ඇති කල්හි ය. වෛරයෙන් වෛරය, නොසන්සිඳෙයි. අවෛරයෙන් ම
සන්සිඳෙයි. ගැටුම එතැනින් ම නිමාවන්නේ ය. එය සනාතන දහම යි. |