පොසොන් අමාවක 2019.07.02
ජීවන පැවතුම් අතරට...
‘දියුණුව‘ ජීවිතයේ බොහෝ වාරයක් සිතට නැගෙන අදහසකි. කතාබහට ලක් කැරෙන මාතෘකාවකි.
එහෙත් ‘දියුණුව‘ පටලවා ගත්තෝ ද වෙති. ධනය, බලය, නිලය ගැන ම සිතන්නෝ ඒ අතර බොහෝ
වෙති. ජීවිතයක සැබෑ දියුණුව නම් අධ්‍යාත්මික වශයෙන් ද, භෞතික වශයෙන් ද ලබන්නා වූ
සංවර්ධනය යි. ජීවිත සමූහයකින් සැදුම්ලත් සමාජයක, රටක සංවර්ධනය යනු ද එයම ය. කෙනෙක්
මේ දෙඅංශයෙන් ම පිරිහෙනවා නම්, එය පුද්ගල වශයෙන් මෙන් ම සමාජමය වශයෙන් ද අවැඩදායක
ය. පුද්ගල සංවර්ධනයෙහි ලා රටක සමාජයීය, ආර්ථික, දේශපාලනමය, සංස්කෘතිකමය ස්වභාවය
විශේෂ බලපෑමක් කළ හැකි වුව ද, දියුණුව ළඟා කර ගැනීමෙහිලා වැඩි වගකීම සේ ම,
හැකියාවක් ඇත්තේ ද තමන්ටම ය. අධ්‍යාත්මික හා භෞතික සංවර්ධනයෙහිලා පෞද්ගලික වශයෙන්
පැවරෙන කාර්යභාරය වෙසෙස් ය. හිත ඇත්නම් පත කුඩා නො වන්නා සේ අධ්‍යාපනය, ආර්ථිකය,
සහයෝගීතාව අද ඕනෑම අංශයක දියුණුව ළඟා කර ගැන්ම අපහසු නොවන්නේ ය. එහෙත් එහි දී,
ශිල්පීය ශඛ්‍යතාව, උනන්දුව, උත්සාහය හා කැපකිරීම, කැපවීම අත්‍යවශ්‍ය ය.
මේ ඕනෑම අංශයක දියුණුව රඳා පවත්නා තවත් වැදගත් ම සාධකයක් වන්නේ විනය යි. හික්මීම,
ශික්ෂණය යනු ද ඊට සමාන අර්ථ ය. මහා මංගල සූත්‍රයේ අවධාරණය කරන ලෙස
බාහු සච්චංච සිප්පඤ්ච - විනයො ච සුසික්ඛිතො
සුභාසිතාච යා වාචා - එතං මංගල මුත්තමං
බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්පයෙහි නිපුණත්වය ද, මනාකොට හික්මවන ලද විනය ද,
යහපත් වචනය ද උතුම් මංගල කරුණු ය. දෙලොව ම දියුණුව සලසන්නේ ය.
මිනිස් දරුවා විනයවත් කළ යුතු කුඩා වියේදී ම ය. විනයෙන් පිරිහුණු කල හේ
අධ්‍යාපනයෙන් ඉදිරියට යතැයි කිව නොහැකි ය. කලාතුරකින් එසේ අධ්‍යාපනයෙන් ඉහළට ගිය
ඇතැම් පිරිස් වෙතින් මානුෂීය ගුණධර්ම, විනය, ශික්ෂණය ගිලිහී ගිය අවස්ථා අපි
කොතෙකුත් අත්දකිමු.
අල්ලස, දූෂණය, බොරුව, වංචාව, රාජකාරිය පැහැර හැරීම, ආයතනයේ දී අනුන්ට අනර්ථය ම
කිරීම, ආදී බොහෝ හැසිරීම් විනය පිරිහීමේ ලකුණු ය. ඉන් ගම්‍ය වන්නේ උසස් අධ්‍යාපනයක්
ලැබූව ද චරිත පාරිශුද්ධිය අතින් ඒ පුද්ගලයා සෘණාත්මක බව ය. උදුම්මාගත් සිතින්, පුහු
ආටෝපයෙන් කටයුතු කරන එවැන්නෝ තමන් ද නොදැනීම ගමන් කරන්නේ පරිහානියටම ය. එහි බලපෑම
මුළු මහත් සමාජයටම ය. සරලව කියනවා නම් විනයක් නැති පවුල, ගම, රට, ජාතිය පිරිහෙන්නේ
ම ය.
වැඩිහිටියන් බොහෝවිට විනය බලාපොරොත්තු වන්නේ බාල පරම්පරාවෙනි. ඔවුන්ගේ ගමන, බිමන,
ඇඳුම, පැළඳුම, කතා බහ, හැසිරීම මේ සියල්ල වැඩිහිටියන්ගේ නිරීක්ෂණයට ලක්වන්නේ බොහෝ
අවස්ථාවන්හි චෝදනාත්මකව ය. එහෙත් මනුෂ්‍ය දරුවාගේ ස්වභාවය අනුකරණයයි. එසේනම් වරද,
වගකීම බාලයන්ගේ (වයසින්) නොව වැඩිහිටියන්ගේ ම ය. හරහට ගමන් කරන කකුළු මව තම දරුවන්ට
කෙළින් යන්නට උගන්වන්නා සේ ය, මෙවැනි වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපය. දරුවන් ඉදිරියේ
කතා බහ කරන වචනයක පවා විනය ගිලිහී ගියේ නම් ඔවුන් යහපත් වචන ඉගෙන ගන්නේ කෙසේද?
ගෘහයේ, ගෙමිදුලේ අපිළිවෙළ නො හික්මීමේ ලක්ෂණ ය. මහපාරේ නිවැරැදිව ගමන් කරන්නට නොදනී
නම්, අවිචාරවත් ලෙස වාහනය පදවනවා නම් ඒ, නො හික්මීමේ ලකුණු ය. ආහාර ගන්නා තැන ඉඳුල්
විසුරුවනවා නම් ඒ අවිනය යි.
කාරා දමන කෙළ පිඩ මහ මග යනෙන මිනිසුන්ට පිළිකුල් දැනවෙන සේ ඉවතලනවා නම්, ගෙදර දිරන
නො දිරන අපද්‍රව්‍ය මහ මඟ හෙළනවා නම් ඒ අවිනීත යි.
ජීවන පැවතුම් අතර, මේ තරම් හික්මීමක්වත් ඇතිකරගත නොහැකි නම්, බෞද්ධයන් වන අපට නිවන්
දොර දුර ය. මොනතරම් පුද පූජා, මහා පින්කම් කළද ඒ අපිරිසුදු සිතින් නම් නිෂ්ප්‍රයෝජන
ය. තමන් තුළ ඒ මූලික ප්‍රතිපත්තියවත් වියයුතු ය. නො එසේ නම් ලෝභ, ද්වේශ, මෝහාදී
අකුසල මූල ප්‍රහීණ කර සසර දුක නැති කිරීම කළ නොහැකි ය. |