විඩූඩභ කුමාර වස්තුව
ත්‍රිපිටක ග්රන්ථ පරිවර්තන මණ්ඩලයේ
ලේකම් (බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව)
කේ.කේ. සුගතපාල
“මේ වාසභඛත්තියාගේ පුතා වාඩි වී හුන් පුටුව“ යැයි බැණ බැණ කිරිවලින් සෝදමින්
සිටින විට අමතකව ගිය ආයුධයක් ආපසු ගෙන යාමට පැමිණි විඩූඩභගේ එක් සේවකයකුට මෙය ඇසී ඒ
පිළිබඳ සියලු තොරතුරු ප්‍රශ්න කොට අසා දැනගෙන ආපසු ගොස් කුමරුට සියල්ල කීවේ ය ."
“පුප්ඵානිහෙව පචිනන්තං ඛ්‍යාසත්ත මනසං නරං
සුත්තං ගාමං මහොඝොව මච්චු ආදාය ගච්ඡති”
වර්ණ ගන්ධාදී මල් නෙළා, රැස් කරනා මල්කරුවකු, මෙන් මේ ලෝකයෙහි රූප ශබ්දා දී පස්කම්
සැප සොයා යන, එහි තදින් ඇලුනු සිත් ඇති සත්ත්වයා සපල නො වූ, අදහස් ඇතිව ම නිදා සිටි
ගමක් මහා දිය පහරකින් මහමුහුදට ගෙන යන්නා සේ පස්කම්හි ඇලුනු, පස්කම් පතන මිනිසුන්
මරණය විසින් සතර අපාය නමැති මහමුහුදට ඇදගෙන යනු ලබයි.
දූතයෝ ගොස් ශාක්‍යයන්ගෙන් දැරියක් ඉල්ලා සිටි විට ඔවුහු රැස්ව ‘පසේනදී කොසොල් රජ මහ
බලවතෙකි. අපෙන් දැරියක් නො දුන්නමෝ නම් අප හා යුද වැදී විනාශයක් කරන්නෝ ය. එහෙත් රජ
අප කුලයට නො ගැළපෙන්නෙකි”යි යන කතා මතුව ආවේ ය. මහානාම ශාක්‍යයන් “මගේ දාසියකගේ කුස
උපන් රූමත් දැරියක් සිටී. දාසි භාවයක් ඇයගෙන් නො පෙනේ. ඇය දෙමු යයි” කීවේ ය.
සියල්ලෝ කැමති වූවෝ ය.
ඒ බව දූතයන්ට දැන්වූ විට තම රජුගේ නියමය අනුව ඇය කාගේදැයි ඔවුහු ඇසූහ. බුදුරජාණන්
වහන්සේගේ සුළු පිය අමිතෝදන ශාක්‍යයන්ගේ පුත් මහානාම ශාක්‍යයන්ගේ දියණිය
“වාසුලදත්තා” යි කියවයි කීහ. රජු වෙත ගොස් දූතයෝ ඒ බව දැන්වූහ . “එසේ නම් වහා
කැඳවාගෙන එවයි,” අණ කළමුත් ශාක්‍යයෝ බොහෝ මායා දන්නෝ ය. දාසි කෙල්ලක් එවන්නටත් බැරි
නැත. එහෙයින් පියාණන් හා එක් පිඟානෙහි බත් කන්නීදැයි බලා එවයි . ආපසු යැවී ය.
ශාක්‍යයන්ට ඒ බව දූතයෝ දැන්වූ විට වාසුලදත්තාව අඳුම් ආයිත්තම්වලින් සරසවා කෑම කන
වේලෙහි ළඟට කැඳවා එක පිඟානෙහි කන අයුරු හඟවන පරිදි කටයුතු කොට දූතයන් වෙත ඇය බාර
දුන්නේ ය. රජු සතුටින් වාසුලදත්තා පිළිගෙන පන්සියයක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට අගබිසෝ
තනතුරෙහි තැබී ය. නොබෝ කලකින් ඇය පුතකු බිහි කළා ය. ඒ බව ශාක්‍ය මිත්තණියන්ට පණිවුඩ
යවා පුතුට නමක් ද දැනගෙන එන ලෙස නියම කළේය. එහි ගිය ඇමැතියා මදක් බිහිරි ය.
මිත්තණියගෙන් කුමරුට නමක් විමසූ විට ඇය පුතෙක් නො වදාම ඇය අපට දිවි දුන්හ. දැන් ඇය
රජුට ඉතා වල්ලභ ය. ඉතා පි‍්‍රයයි කීවූ ය. බිහිරි ඇමැතිට මෙයින් ඇසුනේ “වල්ලභ” යන
වචනය පමණකි. එයද පැහැදිලිව නොවේ. ඔහුට එය සිත්හි රැඳුනේ ‘විඩූඩභ” වශයෙනි. ආපසු
පැමිණි ඇමැතියා රජු ට මෙසේ කී විට කුලයට අයත් කුලය පිළිබඳ පැරැණි නමක් විය යුතුයැයි
සිතා කුමරුට “විඩූඩභ” යයි නම් කළේ ය.
මෙසේ කාලය ගෙවී යන්නේ බුදුරජාණන් වහන්සේගේ පි‍්‍රයභාවය සමීප කරවා ගැනීමේ අදහසින්
ළදුරු වියේ දී ම කුමරුට සේනාපති තනතුර දුන්හ. කුමරු මෙසේ වැඩෙන්නේ අනෙක් කුමරුන් හා
එක්ව කෙළි සෙල්ලම් කරද්දී මෙම ඇත්පැටවා ,බෝනික්කා, රථයාදී සෙල්ලම් බඩු ඔහුට
පෙන්වමින් මෙය අපේ සීයා, ලොකු තාත්තා, ආච්චි, කුඩා මව දුන් බව මේ කුමරුට පෙන්වමින්
ඒ අය කියන්නට වූ විට. කුමරු තම මෑණියන්ගෙන් ඔහුගේ සීයා, ආච්චි ගැන විමසී ය. “පුතේ ඒ
අය ශාක්‍යයෝ ය. සිටින්නේ බොහෝ ඈත ය. අපි දවසක යමුයි” කියමින් කල් යවන්නේ සොළොස්
හැවිරිදි වියේදී ඔහුගේ මේ ගමන සිදුවිය. වාසභඛත්තියා පුතුගේ මේ පැමිණීම. ශාක්‍යයන්ට
කල්තියා දන්වා යැවුවා ය. මහානාම පිය රජු ඇතුළු සියලු ශාක්‍යයෝ විඩූඩභ කුමරු
පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කොට ශාක්‍ය බාලයන් ලවා හෝ මොහුට වැඳීම වළක්වා
ගැනීමේ සිතින් බාලයෝ සියල්ල බැහැරට යවා වැඩිහිටි සියල්ලෝ කිඹුල්වත්පුර සන්ථාගාර
ශාලාවට රැස්ව ඔහු මහත්සේ පිළිගත්හ. මේ සීයා, මේ ආච්චි,මාමා, බාප්පා. සුළු මව්
වශයෙන් හඳුන්වා දෙන්නේ ඔවුන් සියල්ලට විඩූඩහ සෙන්පති තරුණ කුමරු වැන්දේ ය. එවිට ම
“මට වැඳිය හැකි බාලයෝ මෙහි නැද්දයි” කළ විමසීමට අනුව ඔවුන් සියල්ල නුවරින් බැහැර
ගොස් ඇති බව කියා විඩූඩභ කුමරුට උසස් ලෙසින් සැලකිලි කළහ. කීප දවසක් එහි නැවතී සිටි
ඔහු පෙරළා පැමිණියේ ය.
මේ අතර එක් දාසියක් විඩූඩහ කුමරු පැමිණ වාඩි වී හුන් පුටුව එළියට ගෙන “මේ
වාසභඛත්තියාගේ පුතා වාඩි වී හුන් පුටුව“ යැයි බැණ බැණ කිරිවලින් සෝදමින් සිටින විට
අමතකව ගිය ආයුධයක් ආපසු ගෙන යාමට පැමිණි විඩූඩභගේ එක් සේවකයකුට මෙය ඇසී ඒ පිළිබඳ
සියලු තොරතුරු ප්‍රශ්න කොට අසා දැනගෙන ආපසු ගොස් කුමරුට සියල්ල කීවේ ය . එහි දී
සියලු පිරිස් මේ කරුණු දැනගෙන මහත් ඝෝෂා කරන්නට වූවෝ ය. “මූලා මා හුන් පුටුව සෝදා
වන්නෙමි’යි කුමරු සිතා ගත්තේ ය. අමාත්‍යයෝ සැවැත් නුවරට පැමිණි පසු කොසොල් රජුට ද
මේ පුවත දැන්වූහ. රජ තෙමේද දාසියකගේ දුවක් මට දුන්නේ’යි කෝප වී වාසභඛත්තියාට හා
ඇයගේ පුතුට දුන් තනතුරු ආපසු ගෙන දාස දාසියන්ට හිමි යමක් වේද, එපමණට දෙවී ය. පසු
දිනක බුදුරජාණන් වහන්සේ රජගෙට වැඩම කළ සේක් රජු සියලු තතු තථාගතයන් වහන්සේට දැන්වූ
විට භාග්‍යවතුන් වහන්සේද ශාක්‍යයන්ගේ එම ක්‍රියාව අනුමත නො කරන සේක්හ. මහරජ, එහෙත්
වාසභඛත්තියා ද පිය පසින් රජ දුවක, රජගෙයි අභිෂේක ලද්දියක විඩූඩභ ද, රජකුට ම දාව
උපන්නෙකියි ආදි වශයෙන් “කට්ඨහාරි ජාතකය” ද ගෙන දහම් දෙසූවිට “පිය පරපුරම පමණකැයි”
සතුටුව මවත්, පුතාත් කැඳවා නැවතත් ඒ ඒ තනතුරු දෙ වූයේ ය.
මේ අතර රජුගේ මිත්‍ර බන්දුල මහ සෙනෙවියාගේ භාර්යාව වූයේ කුසිනාරාවෙහි මල්ලිකා ය.
ඇයගේ මව ද මල්ලිකාම නමින් වූවා ය. කලක් යනතුරු මල්ලිකාවට දරුවන් නො වූ හෙයින්
බන්දුලයන් ඇය තමන්ගේ කුලගෙට යන ලෙස පිටත් කර හැරියේ ය. නිවෙසින් පිටවූ ඇය
බුදුරජාණන් වහන්සේ දැක වැඳ යා යුතුයි සිතා වෙහෙරට ගියවිට තොරතුරු අසා දැන “ආපසු
මහසෙනෙවි ගෙටම යව“යි වදාළහ. ඒ වචනයෙන් සතුටුව ආපසු ගියවිට බන්දුල තෙමේ ද ආපසු ආවේ
ඇයිදැයි ඇසූ කල තථාගතයන් වහන්සේ ගමන වැළැක්වූ බව කීවා ය. දූර්දර්ශී බුදුරජාණන්
වහන්සේ අපගේ ඉදිරි කාලය දැක මෙවැන්නක් කරන්නට ඇතැයි, ඔහු ද සොම්නසට පැමිණ ඇය
පිළිගත්තේ ය. වැඩි දවස් නොයාදීම ගැබ් ඇත්තී වූ ඇය දොළදුක් වී සැමියාට ඒ බව දැන්වූවා
ය. දොළදුක කවරේදැයි විමසූවිට “ලිච්ඡවී රජුන් 7007 හා ඔවුන්ගේ එපමණ බිසෝවරුන් ස්නානය
කරන අභිසේකයන්ට දිය ගන්නා මඟුල් පොකුණට බැස දිය නා පැන් බොන්න යයි” කී විට රථය ගෙන
දහසක් දෙනා විසින් එසවිය යුතු දුන්න ද, ඊතල සහිතව රථයෙහි දමාගෙන යහළු මහලී
ලිච්ඡවීන්ගේ ගෙය ළඟින්ම විසල් පුරයට ඇතුල්වූහ. පොකුණට බැස බිසව හා තමාද නා නැවැත
රථයට ගොඩ වූයේ සියලු මුරකාවල් පලවා හරිමින් ය. රැකවල්හු ලිච්ඡවීන්ට කාරණාව දැන්වූහ.
එයට කිපී ලිච්ඡවීහු 500 රථ 500 කට නැගී බන්දුල මහසෙනෙවි හඹා ගියහ. පසු පසින් එන
පිරිස දුටු බන්දුල මල්ලිකාවෝ තම සැමියාට ඒ බව කී විට ඒ එන රථ සියල්ල එක් රථයක් සේ
දකින විට මට කියවයි දැන්වී ය.
බිසව එසේ වූ විට කියත්ම තම රථයේ රැහැන් මල්ලිකාට දී ඉදිරියට දක්වන ලෙස කියා කරත්තයේ
සිටම දුන්න ගෙන හෙණ හඬක ශබ්ද පතුරුවමින් දුන්නෙන් මුදාහල විස සහිත හීය පන්සියයක්
ලිච්ඡවීන් එකවර මරා දැමීමට සමත් විය. පසුව බන්දුල මහ සෙනෙවි මල්ලිකාවන් සමඟ සැවැත්
නුවරට පැමිණියේ ය. මෙසේ දොළදුක් සංසිඳවා මල්ලිකාවෝ දහසය වරකට නිවුන් දරුවන් දෙතිසක්
බිහි කළා ය. මේ දරුවෝ සියල්ල ද සියලු ශිල්ප දාරා ශක්තිමත් දක්ෂ රණවිරුවෝ බවට
පත්වූවෝ ය. එකෙකාට දහස දහස බැගින් පිරිවර ද වූහ. පියා සමඟ මේ සියල්ලෝ රජ මිදුලට
රැස්වූ විට ඔවුන්ගෙන් ම මිදුල පිරී යන්නෝ ය.
(බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව මරණය අනියම් මොහොතක සිදුවන්නකි. ඒ බව
සිහිකරමින් සිටීම මරණ අනුස්සතිය යි. එලෙසින් සිහි කරන්නෝ පවින් වැලකෙති. යහපතෙහි
හැසිරෙති. පරලොවක් ඇති බව පිළිගන්නන් හෙයින් යහපත් ලෙසින්ම කල් ගෙවති. මෙසේ නො
සිතන්නෝ බොහෝ බොරු කියති. ආත්මාර්ථකාමීහු ය. බලය. නිලය, පදවිය නිත්‍යයයි සලකා තම
වචනය , තම කි‍්‍රයාව හා සිතිවිලි හසුරුවයි. කර්මඵල නො අදහති. එහෙයින්ම විපාක සහත
පරලොවක් හා නැවැත උපතක් ගැන නො සිතා තුන්දොර හසුරුවති. |