වෙසක් අමාවක 2019.06.02
වගකීම
සමාජයක පරිහානිය හෝ දියුණුව තීරණය වන්නේ එහි ජීවත්වන අයගේ හැසිරීම් හා
ක්‍රියාකාරීකම් මත ය. ජීවත්වන පරිසරය, ආගම, සංස්කෘතිය,අධ්‍යාපන මට්ටම ආදි කරුණු මත
එම පුද්ගල හැසිරීම් හා ක්‍රියාකලාපයන් තීරණය වන්නේ ය. තමන් ද පරිහානියට ගොස් සමාජය
ද විනාශ කරන්නෝ පතිරූපදේශ වාසය අහිමි, මිථ්‍යා දෘෂ්ඨික අදහස් ඇති, ඒ මතවාද හා
බැඳුණු සංස්කෘතින් හි දිවි ගෙවන, නිවැරැදි අධ්‍යාපනයට යොමු නො වූවෝ ය.
සාමය ,සංහිඳියාව, එකමුතුකම දෙදරා යන්නේ එවැනි වසලගති ඇති පිරිස් විසින් මෙහෙයවනු
ලබන සමාජයන් හි ය. සාමකාමි ජීවන රටාව, දරුවන්ගේ මතු අනාගතය, රටේ දියුණුව අපේක්ෂා
කරන කවරෙකු වුව ද ඒ වසල ගති දුරලා තමන් ද. අන්‍යයන් ද මානුෂීය ගුණධර්ම ඇති අය බවට
පත් කිරීමට උත්සාහවත් විය යුතු ම ය. ගිනිගත් සමාජයක් සුවපත් වන්නේ එවිට ය.
ඒ වගකීම හා බැඳුණු ක්‍රියාවලිය සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළින් ආරම්භ විය යුතු ය.
මෙහි දී පවුලේ වැඩිහිටියන්ට පැවරෙන වගකීම විශාල ය. ඔවුන් අනුව ම යන බාලයන් පිරිසක්
එහි සිටින බැවිනි. එවිට පවුලෙන් ගමට, ගමෙන් පළාතට, පළාතෙන් රටට ඒ ආදර්ශය පැතිරී යනු
ඇත.
රාගයෙන්, ද්වේශයෙන් ,මෝහයෙන් දැවෙන තාක්, එවැනි අකුසල මූලයන්ගෙන් දැවෙන සිතින්
තීරණයන්ට එළඹෙන තාක් වසල ගති දුරලනු ව්‍යාජයකි. බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේ දී
පුද්ගලයකු වසලයකු කරන ගති තිස්තුනක් දේශනා කොට වදාළහ. එහි සමාජය පීඩාවට පත් කරන වසල
ගති පසළොසක් ඇතුළත් ය. වර්තමානයේ ඒ සියල්ල අඩුවකින් තොරව ක්‍රියාත්මක වන බවට උදාහරණ
සහිතව ම අනන්තවත් දකින්නට ලැබේ.
පොදුවේ ගත් කල විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් වෙසෙන රටක මෙවැනි වසලගති වර්ධනය
වුවහොත් වන හානිය ප්‍රමාණය කළ නොහැකි ය. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නැති වා
සේ අපගේ වටිනාකම්, හරපද්ධතීන් විනාශ වන්නට ඉඩ දී ඒ ගැන පශ්චත්තාප වූවාට ඒ වැරැදි
නිවැරැදි වන්නේ නැත. අප තවමත් ප්‍රමාද නැත. ඉදිරිය මානුෂීය ගුණධර්මයන්ගෙන් පෝෂණය කර
ගන්නට එක් එක් පුද්ගල වශයෙන් දෘෂ්ඨියක් ඇති කර ගත යුතුව ඇත. සමාජය විනාශයට පත්වන
වසලගති ඇසුරෙන් දයාවෙන් තොරව හිංසාවේ යෙදීම, අනුන් නොමග යැවීමට වැරැදි උපදෙස් දීම,
බොරු කියා අනුන් මුලා කොට ලාභ ප්‍රයෝජන ගැනීම, බුදුරදුන්ගේ ශ්‍රාවකයන්ට නින්දා
කිරීම යන කරුණු කිහිපය පමණක් ඉතා කාලීන වශයෙන් සලකා මෙහිදී අවධාරණය කෙරේ.
පරෝපකාරයෙන් තොර හිංසාකාරී පීඩාකාරි සමාජය ජීවත්වීමට සුදුසු නොවේ. අනුන්ට
පීඩාකිරීමෙන් ලබන සැනසීම කුමක් ද?
එමඟින් කෙනෙක් යම් ලාභයක් අපේක්ෂා කරන්නේ වුව ද සැබෑ මානසික තෘප්තියක් අත්පත් කරගත
නොහැකි ය. හිංසාකාරි, පීඩාකාරි, මරණ බිය, සොර සතුරු බිය පිරුණු පරිසරය සියලු යහපත්
ක්‍රියා කාරකම්වලින් අඩපණ ය. අවිනිශ්චිතතාව මැද දිවි ගෙවන්නට සිදුවීම තුළ කටකතා
පැතිරීම, අවස්ථාවාදීන් නිර්මාණය වීම, සත්‍ය ඉස්මතු වීමට ඉඩ නො දීම නිසා තව තවත්
ගැටලු උද්ගතවීම වැළැක්විය නොහැකි ය. එය පරිහානියේ ලක්ෂණයකි.
මග නො දැන නො මග යාම අතුරේ යාමක් හා සම ය. කවර මොහොතක විනාශයක්, කරදරයක් වේ දැයි
කිව නොහැකි ය. සමහරු යම් ලාභාපේක්ෂාවෙන් ආර්ය ශ්‍රාවකයන් විවේචනය කරනු පෙනේ. එය
සමාජයක් පරිහානියට ගෙන යන කරුණකි. ජාති ආගම් භේදයකින් තොරව මේ සියලු පාපයන්ගෙන්
මිදීමේ මග බුදු දහම තුළ අන්තර්ගත ය. මේ සා ගැටලු ඒවා ක්‍රියාවේ නො යෙදෙවීම නිසා ය.
එකිනෙකාට ඇඟිලි දිගු කිරීමෙන් පලක් නැත. සම්බුදු දහමේ ඉගැන්වෙන ධර්ම කාරණා
බෙදීමකින් තොරව සාමකාමී සමාජයක් බිහි කිරීම සඳහා ඉවහල් කරගත හැකි ය. පාලන තන්ත්‍රයේ
සිට සෑම වගකිව යුත්තක් ම ඒ සඳහා අප්‍රමාදී විය යුතු ය. මව්පිය , ගුරුවර, ආගමික
නායකයන් ආදි ලෙස විවිධ චරිත නියෝජනය කරන්නන්ට පැවරෙන වගකීම ද සුළුපටු නැත. නො පමාව
ක්‍රියාත්මක නො වුණේ නම් විනාශකාරිකම් නිසා වන කළු පැල්ලම් ඉතිහාසයට එක්වනවා පමණක්
නොව වර්තමානයට, අනාගතයට ද ඉතිරි කරන්නේ කඩතොළු වූ බිඳී විසුරුණු අසංතෘෂ්ඨික
අසංතෘප්ත සමාජයකි. අපගේ දරුවන්ට ද ඒ අමිහිරි කටුකත්වයට මුහුණ දෙන්නට සිදුවීම
වැළැක්විය නොහැකි ය. |